UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ක්‍රි.පූ. තුන්වැනි සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම්වල සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ සංකේත භාවිතා කරමිනි. බුද්ධ පරිනිර්වාණය නිරූපණය කිරීම සඳහා කලාකරුවා යොදාගත් සංකේතය කුමක්දැයි පැහැදිලි කරන්න.

පිළිතුර - සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ගෞරවාදරයට ජීවමානව වැඩ සිටි සමයේ සිටම පාත්‍ර වූහ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේ සංකේතවත් කළේ සංකේත තුනකිනි.එනම් දාගැබ් වහන්සේ හෙවත් චෛත්‍යය, බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ ය. බුද්ධ පරිනිර්වාණය සඳහා යොදා ගත් සංකේතය දාගැබ් වහන්සේ හෙවත් චෛත්‍යරාජයාණන් වහන්සේ ය.

ප්‍රශ්නය - බෞද්ධාගමික ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්ව නිර්මාණයකි ස්ථූප නිර්මාණය හෙවත් චෛත්‍ය නිර්මාණය. මෙම නිර්මාණ ශිල්පයේ විවිධ අංග පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර - මෙරට මුල් කාලයේ ඉදිකරන ලද විශාල දාගැබ් ඉන්දියාවේ විශාලතම ස්ථූපයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වූයේ වී නමුත් ස්වරූපයෙන් ඒවා දඹදිව ස්ථූපයන්ට වඩා වෙනස්ව ගියේ ඉතා ස්වල්ප වශයෙනි. ලංකාවේ දාගැබ්වලට මුල් ආදර්ශ ලැබෙන්නට ඇත්තේ භාරතයේ සාංචි ස්ථූපයෙනි. සාංචි ස්ථූපය මහින්ද මහ රහතන් වහන්සේගේ ජාත භූමිය වූ විදිසා නගරය ආසන්නයේ වූ බැවින් ඒ පිළිබඳ විශිෂ්ට අත්දැකීම් උන්වහන්සේට තිබෙන්නට ඇත. වර්තමානයේ මෙන්ම පුරාණයේ ද දාගැබක වැදගත් අංගය වූයේ අර්ධ ගෝලාකාර ගර්භයි. සාංචියේ අර්ධ ගෝලාකාර ගර්භයේ පාදම වටා ඇත්තේ එක් ‘මෙධියක්’ හෙවත් පේසා වළල්ලකි. එහෙත් ලංකාවේ දාගැබ්වල අර්ධ ගෝලාකාර ගර්භය නැගී සිටියේ එක මත එක පිහිටි ක්‍රමයෙන් කුඩා වන පේසා වළලු තුනක් මතයි. සාංචියේ මෙධිය වටා ගල් ගරාදි වැටකි. ගර්භය මුදුනෙහි ‘හර්මිකා’ නමින් හැඳින්වෙන හතරැස් කොටුවයි. සාංචියේ හතරැස් කොටුව වටා ද ගල් ගරාදි වැටකි. ලංකාවේ චෛත්‍ය වල ගඩොලින් කළ හතරැස් කොටුවේ බිත්තිවල බදාමයෙන් කළ තීරුවලින් ‘වැටක’ ස්වරූපය පෙන්වා තිබේ. හතරැස් කොටුවෙහි මධ්‍යයෙහි සිටුවන ලද ගලින් කළ යෂ්ටියකි. සාංචියෙහි ඇති මේ ලක්‍ෂණය ලංකාවේ පැරැණි ස්ථූපවල ද තිබුණු බව සොයා ගෙන තිබේ. යෂ්ටිය මත ගලින් කළ ඡත්‍රයකි. ලංකාවේ ස්ථූපවල මේ ලක්‍ෂණය පසුකාලයේ දී ඡත්‍රාවලියකට පරිවර්තනය වී තිබේ. චෛත්‍ය පිළිබඳව සඳහන් කරන විවිධ ආකෘති පිළිබඳව ද දැනගත යුතු ය.

එනම්,

1. ඝණ්ඨාකාර – ගණ්ඨාවක හැඩරුව
2. ඝඨාකාර – කළගෙඩියක හැඩරුව
3. බුබ්බුලාකාර – දිය බුබුලක හැඩරුව
4. ධාන්‍යාකාර – වී ගොඩක හැඩරුව
5. අම්ලාකාර - නෙල්ලි ගෙඩියක හැඩරුව
6. පද්මාකාර - නෙළුම් මලක හැඩරුව වශයෙන් ආකාර ගනියි.

ප්‍රශ්නය - ‘චේතියඝර’ නමින් හැඳින්වෙන පූජනීය ගෘහ නිර්මාණය කුමක්ද? පැහැදිලි කරන්න.

පිළිතුර - බෞද්ධ ගෘහ නිර්මාණ කලාවට අයත් තවත් විශිෂ්ටතම නිර්මාණයකි, ‘චේතියඝර’ නමින් හැඳින්වන ස්ථූපය ආශි‍්‍රත නිර්මාණය, ‘ඝර’ යනු ගෘහය හෙවත් ගෙය යන තේරුම දෙන එම ගොඩනැඟිල්ල චෛත්‍ය වටා ඉදිකරන ලද්දකි. ඉපැරැණි යුගයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍යයන් සඳහා ඒවා ආවරණය කරමින් සෑදු ගෙවල් තිබූ බව අනුරාධපුරයේ ථූපාරාමය, ලංකාරාමය හා මිහින්තලේ, අටමස්ථාන චෛත්‍යය වටා දැනට ඉතිරි වී ඇති ගල් කුළුණු පේළිවලින් සිතා, ගත හැකි යි. ථූපාරාමය වැනි දාගැබ් මාහැඟි නිර්මාණයන් වශයෙන් සැලකීමට එක් හේතුවක් නම් ඒවා වටා කේන්ද්‍රගතව පිහිටා ඇති මෙම ගල් කුළුණු පෙළවල් ය.

ප්‍රශ්නය - බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් විශේෂිත ගොඩනැඟිලි දෙකක් නම් ‘වටදාගෙවල්’ හා ‘බෝධිඝර’ යන නමින් හඳුන්වන ගොඩනැඟිලි විශේෂයන් ය. මේ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - චේතියඝර සංකල්පය ම තව දුරටත් සංවර්ධනය වූ අවස්ථාවක් කුඩා ධාතු ගර්භයක් වටකර නිර්මාණය වූ වෘත්තාකාර අලංකාර ගොඩනැඟිලි විශේෂයකින් හඳුනා ගත හැකි ය. තමන්කඩුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය නම් ස්ථානයහි දී සොයා ගත් වටදාගෙය කදිම නිදර්ශනයකි. පුරාණ ‘මණ්ඩලගිරි’ විහාර නමින් හැඳින්වෙන මෙය ක්‍රිස්තු පූර්ව කාලයට අයත් වෙතත් මෙහි පැරැණි චෛත්‍යය වටා නිර්මාණය කොට ඇති දැනට දක්නට ලැබෙන වටදාගෙය අයත් වන්නේ සිව්වැනි අග්බෝ රජුගේ කාලයට ය. මැදිරිගිරිය වටදාගෙය සමාන කෘති දෙකක් පොළොන්නරුවේ වටදාගෙය හා තිරියාය වටදාගෙයයි.

ප්‍රශ්නය - පැරැණි දඹදිව බුදුසමය ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු වූ කරුණු මොනවාද?

පිළිතුර - බුදුසමය පැරැණි දඹදිව ඉතා ඉක්මණින් ජනපි‍්‍රයතාවයට බෙහෙවින් ම හේතු වූයේ බුදුරජාණන් වහන්සේගේ අසම සම චරිත ශක්තිය හා ශ්‍රාවකයන් වහන්සේගේ සාමග්‍රියයි. බුදුරජාණන් වහන්සේ එවකට දඹදිව සිටි අන්‍ය ශාස්තෘවරුන් මෙන් අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙන් ද ජන සමාජය යහමගට හැරවූහ. තමන් වහන්සේට ලැබුණු අනේකවිධ සැප සම්පත් හැර දමා පැවිදිකමේ අනුසස් පැහැදිලි කළහ. උන්වහන්සේ තණ්හාව ලෝභය වැනි දෑ අයහපත් ලෙස දේශනා කළේ තමන් සතු ගේ දොර අඹුදරුවන් ආදීන් හැර දැමීමෙන් අනතුරුව ක්‍රෝධය අයහපත් බව දැක් වූයේ දෙව්දත් වැනි දුර්දාන්තයන්ගේ තාඩන පීඩන ඉවසමිනි. මානය හෙළා දැක්කේ වෙනසක් නොමැති ව අනේපිඬු වැනි මහ ධනවතුන්ගේ පටන් දුගී දුප්පතුන්ගේ වුව ද ගෙවල්වලින් පිඬුසිඟා වඩිමිනි. ඤණයේ ප්‍රතිමූර්තියක් බඳු ශාරිපුත්‍ර වැනි ශ්‍රාවකයින් භික්‍ෂූන්ට උසස් තම ආධ්‍යාත්මික තත්ත්වයන් ගෙන දීමට සමත් මොග්ගල්ලාන වැනි ශ්‍රාවකයන් විචිත්‍ර ධර්මධරයකු වශයෙන් පෙනී සිටි මහා කච්චායන වැනි ශ්‍රාවකයක් විචිත්‍ර ධර්මකථිකයන් වශයෙන් ප්‍රකට වූ මන්නාතිපුත්ත පුණ්ණ වැනි ශ්‍රාවකයන් හා බහුශ්‍රැතයන්ගෙන් අග්‍ර වූ ආනන්ද වැනි ශ්‍රාවකයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය දී බුදු සමය ඉක්මන් ව්‍යාප්තිය අරුමයක් නොවී ය.

ප්‍රශ්නය - සමාජය පිළිබඳ ව බෞද්ධ මතය පැහැදිලි කරන්න.

පිළිතුර - බුදුසමය අතාර්තික සමාජ ක්‍රමයක පැවැති අඬුලුහුඬුකම් සම්පූර්ණ කිරීම සඳහා කලක් තිස්සේ සකස් වූ සමාජ පරිසරයක පහළ වූවකි. සමකාලීන පරිසරයක පහළ වූවකි. සමකාලීන පරිසරය තුළ පැවැති සම්මත චර්යා ධර්මවලින් පෝෂණය ලබා සර්වකාලීන දෘෂ්ටියක් ඉන් සමාජයට දානය කෙරිණි. එය මුළුමනින් ම ලෝකෝත්තර දහමක් නුවූව ද මුළුමනින්ම ලෞකික දහමක් ද නොවී ය. බමුණු මතවාදයන්ගෙන් උකහා ගත් ආත්මවාදයක් හෝ කිසියම් දෙයකට ඇළුම් කොට එය සදාකාලික යයි සිතන ශාස්වත දෘෂ්ටියක් ද නොවී ය. එහි දාර්ශනික අංශයක් ද ජීවන දර්ශන මාර්ගයක් ද අන්තර්ගත විය. මේ තත්ත්ව දෙක යටතේ සමාජය පිළිබඳ ව බෞද්ධ මතය හඳුනාගත හැකි ය. ‘මන උස්සතාතාය මනුස්සානං’ යනුවෙන් බුදු සමයෙහි මිනිසා හැඳින්වෙයි. එවිට මනස උසස් වූ පුද්ගලයින් රාශියකින් සකස් වන සමාජයක සාමූහික ඒකාබද්ධතාවයක් දක්නට ඇත. එසේ හෙයින් එම සමාජය තුළ සෑම සාමාජිකයෙක් ම සතු යුතුකම හා අයිතිවාසිකම් සම තත්ත්වයක් උසුලයි. මෙම සමාන යුතුකම් හා අයිතිවාසිකම අතරෙන් දිව යන ජීවමාන බලවේගය වූ කලී සමානාත්මතාවය පිළිබඳ සංකල්පයයි.

සූත්‍ර පිටකයේ එන ‘නඡච්චා වසලොහොති නඡච්චා හොති බ්‍රාහ්මණො’ යන බුද්ධ දේශනාවට අනුව කෙනෙක් ජන්මයෙන් පුද්ගලයකු අගැයීමට ලක් කළ නොහැකි අතර ක්‍රියාවෙන් වසල තත්ත්වය කරා පියනගන බවත් වසල කුලයක ජන්ම ලාභය ලබන පුද්ගලයාට ක්‍රියාවෙන් බ්‍රාහ්මණ තත්ත්වය කරා සම්ප්‍රාප්ත විය හැකි බවද සඳහන් වෙයි. ක්‍රියාකාරී වශයෙන් පැවැති බෞද්ධ සංඝ සමාජය දෙසට නැඹුරුවීමෙන් ද මේ කරුණ තවදුරටත් සනාථ වනු ඇත.

ප්‍රශ්නය - සමාජ ප්‍රගතිගාමීත්වය පිළිබඳ ව බෞද්ධ මතය පැහැදිලි කරන්න.

පිළිතුර - කෙළෙස් ගිනි නිවා ශාන්ත වූ නිවන කරා ළඟාවීම බුදු සමයේ ලෝකෝත්තර පරමාර්ථයයි. කෙළෙස් ගිනි නිවීම සඳහා අවශ්‍ය වූ නීති රීති සමූහය තුළින් ශාන්ත අල්පේච්ඡ වූ සමාජයක පදනම වැටෙයි. ‘කරණීයමෙත්ත’ සූත්‍රයෙහි දැක්වෙන පරිදි ලෝකෝත්තර සැපත කරා යන ‘යං තං සන්තං අභිසමෙච්ච’ මාර්ගය ලෞකික සමාජයේ සංස්කෘතිය සදාචාරය තුළින් සමාජයේ සංස්කෘතිය සදාචාරය තුළින් වැටී ඇත. කෙළෙස් ගිනි නිවීම සඳහා අධික තෘෂ්ණාව අත්හළ යුතු ය. වෛරයෙන් වෛරය තුරන් කළ යුතුයි. බලකාමය ඉවත් කළ යුතු අතර ස්වකීය අභ්‍යන්තර පාරිශුද්ධිය උසස් කොට සැලකිය යුතු ය. සමාජයක සාමය ශිෂ්ටාචාරයේ මුඛ්‍ය ලක්‍ෂණයක් වෙයි. ශිෂ්ටාචාරයක් ඇතිතාක් දියුණු වූ සංස්කෘතියක් ඒ සමාජය තුළ දක්නට ඇතිවීම ස්වභාවික ය.

ප්‍රශ්නය - බෞද්ධ සමාජ ක්‍රමයක ධනය පිළිබඳ ආකල්පය පැහැදිලි කරන්න.

පිළිතුර - “ධනය” යන පදය බෞද්ධ ධර්මයෙහි විවිධ අර්ථ වලින් යෙදී ඇත. ‘සප්ත ආර්ය ධන’ ආදී පද යෝජනා තුළ ආධ්‍යාත්මික ජීවිතය බැඳී පවත්නා දහමක් යෝජනා කරයි. කෙසේ වෙතත් ධනය අර්ථවත් ආයෝජන භාණ්ඩයක් වන්නේ ගිහි කාමභෝගී ජීවිතවලට පමණක් බව බුදුසමය අවධාරණය කරයි. ආර්ථික ජීවියෙක් වූ ඔහුට එය අර්ථවත් වන අතර වස්තුකාම ක්ලේශකාමවලින් මිදෙන්නට සමාජය හැර යන මුනිවරයාට එය අනර්ථකාරී වෙයි. එහෙත් ගිහියාට වූවද ධනය පිළිබඳ ව බුදුසමය අවධාරණය කරන්නේ ධනය උපයන්නන්ගේ ධනයට ඇති තෘෂ්ණාව නිසා නොව එයින් ඇති ප්‍රයෝජනය හෙවත් උපයෝගීතාවය නිසා ය. එහෙයින් ධනය ජීවිතයේ පරම නෂ්ටාව නොව මාධ්‍යයක් පමණකි. ධනය අවශ්‍ය වන්නේ ධනය සඳහාම නොව, ජීවත්වීමේ එක් මාධ්‍යයක් සඳහා එය උපයෝගී වන නිසයි. බෞද්ධ ආචාරධර්මවල ප්‍රධාන අභ්‍යපගමනය (නිගමනය) සත්වයා සන්දර්භයෙහි ජීවත්විය යුතුය යන්නයි. එහෙයින් ජීවිත දේපල, පවුල යන දේ අනිවාර්ය විය යුතු අතර සමාජ සංස්ථාව ව්‍යාකූල කරන අදත්තාදානය, ප්‍රාණඝාතය, කාමමිත්‍යාචාරය, දූෂිත වචනය, මද්‍යපානය වැනි දේ ඉවත් විය යුතු ය. ආර්ථික ජීවන රටාවෙන් මේවාට අනුබල දීම නොකළ යුතු ය.

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]