UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඔබ දානපතියෙක් ද?

බෞද්ධ භික්ෂූන් වහන්සේට සිවු පසයෙන් ඇප උපස්ථාන කරන තැනැත්තා “ දායකයා” නමින් හැඳින්වෙයි. ඔහු, මිනිසුන් අතර උසස් මිනිසෙකි. ගුණ යහපත් කමින් පිරිතිරී ගිය හෙතෙම හැමටම ආදර්ශවත් ය. මේ නිසා උතුම් දායකයකු ගේ පහළ වීමත් අතිශයින් ම දුර්ලභ ය. ගල් කැට, බොරළු කැට, වැලි කැට, තරමට මිනිසුන් උපදින සමාජයක , පින්වන්ත දායකයා වූ කලී, මිණි කැට, මුතු ඇට තරමට විරල වූ අයෙකි. එබැවින් විශිෂ්ටාර්ථවත් මානවයා “ සැබෑ දායකයා “ නම් වන්නේය.

බුදුන් වහන්සේ දායකයන් තිදෙනකු හඳුන්වා දෙමින් උතුම්ම දායකයා කව්ද යන්න මනාව පැහැදිලිව දේශනා කළහ.

දාන දාස
දාන සහායක
දානපති

යනු එම දායකයන් තිදෙනාය.

ඇතැම්හු ඉතා ධනවත් වෙති. ආහාර පානයෙන් පිරිතිරී ගොස් ය. නහර ඇට මිදුළු පිනා යන තරමේ රස බොජුන්ය. ඔවුහු ඒවා ඇති තරමින් ම රස විඳිති. තමාගේ පරිභෝජනයට ගෙන ඉතිරි වන රස බොජුන් ද අපමණය. අහක දමන ඉඳුල් බතක්, ඇඟට දවටා ගත නොහැකි වස්ත්‍රාභරණක් සමාජයෙන් බේරීමට සිතා දෙන්නා දෙලොවම අනර්ථයට ලක් කර ගන්නා නිකම්ම නිකම් හිස් කළයකි.

‘දාන සහායක’ දායකයා, ඊට වඩා ඉදිරියෙන් සිටියි. ඔහු තමා කන බොන හැටියට පමණක් ආහාර පාන වර්ග වලින් පැවිද්දකුට හෝ දුගී මගි යාචකයකුට යමක් දෙන්නෙකි. තමාට ප්‍රයෝජනයක් ගත නොහැකි දේවල් කැමැත්තෙන් දෙයි. දිය යුතුම නිසා දෙයි.

කවර හෝ කෙනකුට දෙන දේ, තමා කන බොන දේට වඩා සැලකිල්ලකින් හා ගෞරවයකින් ඉහළම අයුරෙන් සැදැහැ සිතින් පිරි නමන දායකයා ‘දානපති’ නම ලබයි.

තමා භාවිතයට පවා නොගත් නොඉඳුල් යමක් පූජා කිරීමේ කැමැත්ත ඇති තැනැත්තා “ දානපති” නමින් පිදුම් ලබනු ඇත. වස්තුව කුමක් වුවත් ගෞරවයෙන් හා භක්තියෙන් පිදීම මෙම දායකයා ගේ උසස්ම පිළිවෙත වන්නේය. තවත් ක්‍රමයකට ද දායකත්වය පිළිබඳ වර්ගීකරණයක් ඇත.

අවර්ෂීය
ප්‍රදේශ වර්ෂීය
සර්වස්ත්‍ර වර්ෂීය යනුවෙනි.

වර්ෂාවට සූදානම් වන බව පෙන්වා මහා මේඝ ඝර්ජනා කරමින් ජල බිඳුවක් හෝ මහ පොළොවට පතිත නොකරන ආකාශය සේ විශාල වශයෙන් දෙන්නට කතා කරමින් , බොරු පොරොන්දු දී මුලාවෙන් මුලාවට පත් කරන තැනැත්තා අවර්ෂී දායකයා නම් වන්නේය.

සමහර වර්ෂා පවතින්නේ කුඩා ප්‍රදේශ වලට පමණකි. අහඹු ලෙස වසිනා වළාවක් පරිදි ජීවිතයේ කිසියම් මොහොතකදි පමණක් දානයක් දෙන දායකයා ප්‍රදේශ වර්ෂී දායකත්වය ලබයි. එය අවස්ථාවෙන් ගැලවීමට විනා ශ්‍රද්ධා බුද්ධියකින් හෝ පළපුරුද්දකින් දෙන දානයක් නොවේ.

මුළු රටට ම වැසි ගෙන දෙන මහා වළාවක් සේ ජාති, කුල, ආගම්, වැනි කිසිදු භේදයකින් තොරව හැමවිටම උදව් කරන්නා ‘ සර්වත්‍ර වර්ෂී දායකයා ‘ නම් වන්නේය. තමාගේ ඥාතියාට පමණක් නොව සමාජයේ කුමන වර්ගයේ අයකුට වුවද සම සිතින් උදව් කරන්නා මෙනමින් හැඳින්වෙයි. පරලොව ගැන සිතමින්, තෙරුවන් හා දෙගුරුන් ඇතුළු සමාජයේ හැම කෙනකුටම පූජා සත්කාර කිරීම සර්වත්‍ර වර්ෂී දායකයාගේ ලක්ෂණයයි. හැම තැනටම සමාන ලෙසින් වසින වැස්ස මෙනි.

දානපතියා, සර්වත්‍ර වර්ෂී දායකයා සමාජයේ ඉහළම තැනක් නිර්මාණය කර ගනියි. එබැවින් ඔහු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨතම මිනිසා ද වන්නේය. උත්සාහය හා කැමැත්ත මත අපට ද එම ශක්තිය උදා කර ගත හැකිය.

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]