UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විරියෙන් තොරව සැපතක් නැත

උපදින සෑම සත්වයෙක්ම මරණයට පත් වෙයි. එයයි, මේ ලොවේ ස්වභාවය. මේ ලෝක ස්වභාවයට සත්ත්වයා පත්වන්නට පෙරාතුව ගත කරන කාලයක් ඇත. ඒ කාලය තුළ ඒ ඒ පුද්ගලයාට ආවේණික වූ බලාපොරොත්තු සමුදායක් අන්තර්ගතව තිබෙන්නට පුළුවනි. එසේ තම තමන්ට ආවේණික වූ පෞද්ගලික බලාපොරොත්තු සියල්ල සම්පූර්ණ කර ගත හැකි වේවි ද? පුද්ගලයෙකුට හැකියාව ඇත්නම් ඒ පුද්ගලයා හැකියාව ඔස්සේ උනන්දු වේ නම් එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම එතරම් දුෂ්කර නැත. ප්‍රශ්නය එතැන නොව උනන්දුව හා උවමනාව යන තැන තෙරපි තෙරපී මිරිකි මිරිකී ගැලි ගැලී සිටීම නේද? අපට යමක් ලැබෙන්නට ඇත්නම් එය කවදා හෝ කෙදිනක හෝ කවර ආකාරයකින් හෝ ලැබෙයි යන්න සිතා සිටීම පමණක් සුදුසු ද? එසේ සිතා ඒ කෙරෙහි උනන්දුව ඇති කර ගන්නේ නම් අපට උරුම වන දෙය පහසුවෙන් නිරායාසයෙන් උදා කර ගත හැකිය.

“උත්සාහය” යන වචනය ගත් කළ එකී වචනය අප සවනට ඇසෙන විට ද යම් කුතුහලයක් ඉබේම අපේ හිතට ගලා එයි. ඒ මන්ද යත් ඒ වචනය තුළ ඇති හරය අප මොහොතක් හෝ අත්විඳ තිබෙන හෙයිනි. උත්සාහය හෙවත් වීර්ය කොටස් තුනකින් අංග සම්පූර්ණ විය යුතුය. එනම්,

ආරම්භ ධාතු
නික්කම ධාතු
පරක්කම ධාතු

යනුවෙනි. ඕනෑම පුද්ගලයකු සතුව මෙකී කාරණ අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුය. මෙයින් පළමුවැන්න නම් “ආරම්භ ධාතුව“ යි.

එනම් ඕනෑම කටයුත්තක් ආරම්භ කිරීමේ, පටන් ගැනීමේ ඇති උත්සාහයයි. එකී උත්සාහය “ආරම්භ ධාතු” නම් වෙයි. දෙවැන්න “නික්ම ධාතුව“ යි. එනම් ආරම්භ කළ ක්‍රියාදාමය නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යෑමට ඇති උත්සාහයයි. තෙවැන්න නම් ඒ පටන් ගත් ක්‍රියාව, පවත්වා ගෙන යන කාර්ය තවදුරටත් ඉදිරියට නොනවත්වා පවත්වාගෙන (අවසානයක් දැකිය හැකි තෙක්) යෑම “පරක්කම ධාතු” යි. මේ පිළිවෙත් යම් කිසි පුද්ගලයකු සතුව පවතී නම් ඔහු සැබෑ ලෙස ජීවිතය ජයග්‍රහණය කරන්නෙකි. මෙසේ උත්සාහවත් ලෙස වැඩ කරන පුද්ගලයන් අභිමුඛයට ශ්‍රී කාන්තාව පවා පැමිණෙන බව, අපේ සංස්කෘත සාහිත්‍යයෙහි එන,

“උත්සාහ සම්පන්නමදීර්ඝ සූත්‍රම්
ක්‍රියා විධිඥං ව්‍යසනෙෂ්වසක්තම්
ශූ®රං කෘතඥං දෘඪ සෞහෘදඤ්ච
ලක්ෂ්මීඞ ස්වයං යාති නිවාස හෙතොඞ”

ශ්ලෝකයෙන් ප්‍රකාශිත වේ. එහි අදහස ම,

“දිරි ගෙන වැඩ කරන ගත සිත වෙර දරන
ඇරඹූ කිස සපුරමින් හොඳකම රකින
කිසි විට විපතකට තම සිත ඉඩ නොදෙන
මිනිසුන් වසන තැන සිරිකත ඇත සොඳීන”

මේ සිංහල කවියෙන්ද දැක්වේ. මේ නයින් ගත් කළ අප සතුව උත්සාහය පවතී නම්, ඒ අනුව ක්‍රියා කරන්නේ නම්, අප ජීවත්වන මේ ලෝකයේ ඕනෑම අභියෝගයකට ඕනෑම ප්‍රශ්නයකට නොබියව නොපැකිලව මුහුණ දී ජයග්‍රහණය කළ හැකිය. අපට අවශ්‍ය මාර්ගයෙහි පියමං කළ හැකිය. එයිනුදු කිව යුතු යමක් ඇත. අප එසේ යමක් ලබා ගන්නට යත්න දැරුව ද එය යම් හෝ හේතුවකින් ලබන්නට නොහැක වුව ද පසුතැවිල්ලට පත් විය යුතු ද? නැත. (යත්නේ කෘතෙ යදින සිද්ධ්‍යති කොත්‍ර දෝෂඞ) මන්ද උත්සාහ කොට වැරදුණ ද, ඒ තුළ කිසිදු දෝෂයන් නොමැති නිසා ය. ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමන්ට කෙදිනක හෝ උපකාර වන හෙයිනි.

ඒ කෙසේ වෙතත් බෞද්ධයන් හැටියට අපට අපේ දහමෙහි පෙන්වා දෙන ක්‍රම හතරක් කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුය.

“අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය වායාමො
උප්පන්නානං අකුසලානං ධම්මානං පහාණාය වායාමො,
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය වායාමො,
උප්පන්නානං කුසලානං භීය්‍යො භාවයා වායාමො”

යනාදී වශයෙන් දැක්වෙන ආකාරයට,

1. නූපන් අකුසල් නො ඉපදීමට උත්සහ කළ යුතුය.
2. උපන් අකුසල් බැහැර කිරීමට උත්සහ කළ යුතුය.
3. නූපන් කුසල් ඉපදවීමට උත්සහ කළ යුතුය.
4. උපන් කුසල් වැඩි දියුණු කිරීමට උත්සහ කළ යුතුය.

යන සතර සම්‍යක් ප්‍රධන් වීර්ය පිළිබඳ අවධානය යොමු කරවීම අගනේය. මෙකී කරුණු වීර්ය පාරමිතාවක් ලෙස ද දහමෙහි විස්තර වේ. වීර්ය පාරමිතාවක් වශයෙන් අප පුරන ලද අප මහ බෝසතාණන් වහන්සේ සතුව පැවති ඒ වීර්ය හෙවත් උත්සාහය කෙබඳු දැයි අපට සිතා නිම කළ නොහැකි තරම් ය. එය ඒ තරමටම අනර්ඝ ය. සුමේධ තාපස ආත්මයේ පටන් කොතෙක් නම් උන්වහන්සේ වීරය පාරමිතාව පුරන්න ඇද්ද? ඒ අතීතය ආවර්ජනය

නොකොට වුවද උන්වහන්සේගේ මේ ආත්ම භාවය දෙස නෙත් යොමා බලන විට ද එකී කරුණු වඩාත් පැහැදිලිය. ගිහිගෙයින් නික්මීමේ බාධාවක් වශයෙන් එකී අවස්ථාවෙහි රහල් කුමරු ඉපදීම නොතකා නික්මීම, දුෂ්කර ක්‍රියා කිරීම, මාර සෙනග පැරදවීම ආදී සෑම කරුණක්ම උන්වහන්සේ තුළ පැවති අධිෂ්ඨානය හා වීර්යය පෙන්වයි. ඒ සියල්ල අභිබවා උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ.

“ලෝහිතෙ සුස්සමානම්හි
පිත්තං සෙම්එඤ්ච සුස්සති
මංසේසු ඛීයමානේසු
භීය්‍යෝ චිත්තං පසීදති
භිය්‍යෝ සති ච පඤ්ඤා ච
සමාධි මම තිටිඨති”

ලේ පිත් සෙම් මස් වියළී ගිය විට සිත වඩ වඩාත් පැහැදේ. මාගේ සිහිය ද නුවණ ද සමාධිය ද වඩ වඩාත් පිහිටත් යනු එහි අර්ථයයි. එපමණක් නොව කෙලෙස් සටනට ගොස් පැරද ජීවත් වනවාට වඩා මිය යෑම උතුම් යැ”යි “සංගාමේ මතං සෙය්‍යෝ - යඤ්චේ ජීවේ පරාජිතෝ” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ. බුද්ධත්වය දක්වා පැමිණි සෑම බාධාවක්ම මැඩ පවත්වා ගෙන “මා නිවත්ත අභික්කම” යනුවෙන් නොනැවතී ඉදිරියට පියමන් කොට අති උතුම් බුදු පදවිය ලබා ගත්හ. ඒ උන්වහන්සේ තුළ තිබූ එකම අභිලාෂය ද විය. ඒ තම අභිලාෂය ඉටුවන තුරු ම උන්වහන්සේ අපමණ දුක් පීඩා කරදර හිරිහැර වින්දහ. තම අභිමථාර්ථ සාධනය දක්වා ක්‍රියාකාරීවීම උන්වහන්සේගේ බෝසත් කාලයේ පටන්ම තිබූ උසස් ගති ලක්ෂණයකි. ඒ බව “අපණ්ණක” ජාතකයෙන් ද මැනවින් පෙනේ. එසේම සේරිවාණිජ, ජවන හංස, මහා කපි, නන්දි විසාල ජාතක ද එයට උදාහරණය. එම නිසා අපට අපේ ජීවිත හැඩ ගස්වා ගන්නට උන්වහන්සේගේ ජීවිතයම ආදර්ශයට ගත හැකිය. උන්වහන්සේ මහත් කැපවීමෙන් උත්සාහයෙන් සොයා අවබෝධ කර ගත් ධර්මය අපට දේශනා කළ සේක. එහෙයින් මෝක්ෂ සාධනය තම තමන්ගේ වීර්යයෙන්ම කළ යුතුය යන්න බුදු දහම තුළ දක්වා තිබේ. “තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා” (ධම්මපදය) “තොප විසින් ම උත්සාහ කළ යුතුය. බුදුරජාණන් වහන්සේ මඟ කියා දෙන්නා හු පමණක් වෙතියි බුද්ධ වචනයයි.

බුදුරජාණන් වහ්නසේගේ අනුගාමිකයන් හැටියට අපි අපේ ජීවිත හැඩගස්සවා ගැනීමට උන්වහන්සේගේ දහමෙන් ලැබෙන හරය ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට උත්සුක විය යුතු වෙමු. උත්සුක නොවුවහොත් අපට ලැබෙන දෙයක් ද නැත. අපේ සංස්කෘත සාහිත්‍යයෙහි එන ශ්ලෝකයකි මේ.

“උධ්‍යමේන හි සිධ්‍යන්ති
කාර්යානි න මනෝරථෛඞ
නහි සුප්තස්‍ය සිංහස්‍ය
ප්‍රවිශන්ති සුඛෙ මෘගාඞ”
(හිතෝපදේශය)

මෙයින් ප්‍රකාශ වනුයේ අපි දන්නවා කැලයේ ඉන්න රජා සිංහයා බව. ඌ ප්‍රතාපවත් කියා හෝ ගාම්භීරවත් තේජවත් කියා හෝ නිදා ගෙන සිටි පමණින් කැලේ සිටින අහිංසක සත්ත්වයින් ස්වකීය කැමැත්තෙන් පැමිණ ඌට ගොදුරක් වන්නේ් නැහැ. එහෙයින් සිතේ අභිලාෂයට කටයුතු කාරණාවන් ඉටු වන්නේ නැහැ. එයට උත්සාහ කළ යුතුමය. අප සෑම දෙනාටම බලාපොරොත්තු අරමුණු විශාල සංඛ්‍යාවකි. එය ද සඵල කර ගැනීමට ආශාව කැමත්ත උවමනාව ද තිබේ. එහෙත් ආශාව කැමැත්ත උවමනාව පමණක් මදි ය. එයට උත්සාහවන්ත ද විය යුතු ය. එම නිසා අප අපේ එකී අරමුණු සියල්ල සඵල කර ගැනීම උදෙසා කම්මල්කරුවකු සේ උත්සාහ දැරිය යුතු ය.

කම්මල්කරුවා උදේ පටන් සවස් වන තුරාවට මළ බැඳුණු යකඩ රත්කර තල තලා මළ ඉවත් කොට යම් යම් උපකරණ නිර්මාණය කරයි. ඒ කම්මල්කරුවා කම්මැලි වූයේ නම් ස්වකීීය වස්තුව නිර්මාණය කිරීමට හැකියාවක් ඔහු සතුව නැත. එවිට ඔහුත්, ඔහුගේ පවුලත්, සා පිපාසාව නමැති මහ මුහුදේ කිමිදෙන්නට පටන් ගනී. ඒ නිසා කම්මල්කරුවා අවබෝධ කරගෙන තිබෙනවා “අත සෙලෙව්වොත් කට සෙලවිය හැකිය” යන්න. බුදුරජාණන් වහන්සේ ද,

“අනුපුබ්බේන මේධාවී
ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මකාරො රජතස්සේව
නිද්ධමේ මළමත්තනෝ”

යනාදී වශයෙන් දේශනාව තුළින් ද එකී කරුණ පැහැදිලි කොට වදාළේ කම්මල්කරුවකු උදාහරණයට ආදර්ශයට ගෙන තම ජීවිත සකසා ගන්නට උත්සාහ දැරිය යුතු බවයි. එම නිසා කළ යුතු දෙය අදම කළ යුතු ය. එසේ නොවුණොත් පසුතැවෙන්නට සිදු වෙයි. එහෙයින්, “මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ” පසුතැවෙන්නට සිදුවන ක්‍රියා සිදු නොකොට, ජීවිතය අර්ථවත්ව, ක්‍රමවත්ව, සැපවත්ව ගෙවන්නට නම් ඒ සඳහා කළ යුතු කෘත්‍ය නොපමනාවම ඉටු කිරීමට අපි සැවොම උත්සාහ දරමු.

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]