UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැලේසියාවේ සෙන්තුල් නුවර සදහම් ආලෝකය



විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

බෞද්ධයන් වශයෙන් බෞද්ධ විහාරස්ථානයකට ගිය විට අපගේ ගතට සිතට දැනෙනුයේ අපමණ සතුටකි. මහත් සැනසුමකි. ලොව කවර රටකදී වුනද එය එක හා සමානය.
පසුගියදා මැලේසියාවේ සංචාරයක නිරත වූ අපිද එම අත්දැකීම මනාව ලැබුවෙමු. මැලේසියාවේ සෙන්තුල්හි බෞද්ධ විහාරස්ථානයට ගිය අපට එරටදී අප දුටු ඓශ්චර්යමත් වූ සියල්ල මොහොතකට අමතකව ගියේය.
අප සෙන්තුල් විහාරස්ථානයට ගියේ පරවාහැර ඉන්ද්‍රසුමන පොඩි හාමුදුරුවන්ගේ ආරාධනයකට අනුවය. ඩේලිනිව්ස් පුවත්පතේ සිරාජිව්, හිරාන්, සුමනචන්ද්‍ර, සාලිය, දිනමිණේ ජයසිරි සහ මම යන හය දෙනකු පමණ අප කණ්ඩායමට ඇතුළත් වූහ. දින දෙකකට පෙර සිංගප්පූරුවේ සිට මැලේසියාව දක්වා වෙහෙසකර ගමනක නිතර වූ එම කණ්ඩායම පීනෑන් හි දින දෙකක් ගත කොට පීනෑන් සිට ක්වාල’ලම්පූර් දක්වා පෙර දින රාත්‍රිය පුරා අප කළ වෙහෙසකර ගමනේ මහන්සිය විහාරාධිපති හිඹුටාවත්තේ සරණංකර ලොකු හාමුදුරුවන්ගේ ආගන්තුක සත්කාර සහ කාරුණික කතාබහ නිසා අමතකව ගියේය.
ක්වාලාලම්පූර් සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි සෙත්තූල් බෞද්ධ විහාරස්ථානය සෙත්තූ®ල්හි දුම්රිය ස්ථානයට සමීපව පිහිටා තිබේ. 1984 වසරේ සිට මැලේසියාවේ වැඩ වාසය කරන සරණංකර හිමියන් එරට ජනතාව අතර බුදු දහම ප්‍රචලිත කිරීමේ යෙදී සිටිති. ගාල්ලේ ධම්මසිරි නාහිමියන් දශක කිහිපයකට පෙර එරටට වැඩම කර ආරම්භ කළ එම විහාරස්ථානය උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු සරණංකර හිමියන්ගේ භාරකාරත්වයට පත්ව ඇත.
 


හිඹුටාවත්තේ සරණංකර නා හිමි

මෑතකදී අපවත් වී වදාළ මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන් සමග සමීපව කටයුතු කළ සරණංකර හිමියෝ ධම්මානන්ද නාහිමියන් අපවත්වීමෙන් පසු එරට ප්‍රධාන සංඝ නායක ධූරයටද පත්ව සිටී. අප එම විහාරස්ථානයේ ගත කළ කෙටි කාලය තුළ උන්වහන්සේගේ කාර්ය බහුලත්වය මනාව දුටුවෙමු. උන්වහන්සේගෙන් ගුරුහරුකම් ලැබීමට චීන ජාතිකයන් ප්‍රධාන එරට ජනතාව විහාරස්ථානය වෙත පැමිණියේ අප පුදුමයට පත් කරමිනි. කෙතරම් කාර්ය බහුල වුවත් උන්වහන්සේ අප සමග කතා බහ කිරීමට කාලයක් වෙන්කරදීමට තරම් කාරුණික වූහ.
විහාරස්ථානය තුළ ඉරිදා දහම් පාසලක් පවත්වාගෙන යන බවත් සැමදා රාත්‍රියට ධර්ම දේශනා වැඩසටහනක් සති අන්තයේ යෝග ව්‍යායාම අභ්‍යාස වැඩසටහනක් සහ පෝය දින වැඩසටහනක් ක්‍රියාත්මක වන බව උන්වහන්සේ පැවසූහ. ශ්‍රී ජයන්ති සුබසාධන සංගමය සහ මහා කරුණා බෞද්ධ සමිතිය එම කටයුතුවලට සහයෝගය දක්වයි.
 


මැලේසියාවේ වෙසෙන චීන බෞද්ධයන් විහාරස්ථානයට පැමිණ සාකච්ඡා කළ අයුරු

මැලේසියාවේ භූමි ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව මෙන් පස් ගුණයක් පමණ වන අතර එරට ජනගහණය මෙරට ජනගහණයට සමානය. ජනගහණයෙන් සියයට 53 ක් මැලේ ජාතිකයන් වන අතර දෙවැනි තැන ගන්නේ චීන ජාතිකයන්ය. එරට වෙසෙන චීන ජාතිකයන් බෞද්ධාගමට ඉමහත් ලැදියාවක් දක්වයි.
සුනාමි ආපදාවට අප රට මුහුණ දුන් අවස්ථාවේදී මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් එවීමට නා හිමිපාණන්ට හැකි වී ඇත්තේ එම කාරුණික ජනතාවගේ අනුග්‍රාහකත්වය නිසාය. එපමණක් නොව වාර්ෂිකව මෙරටට පැමිණ විශාල පින්කමක් සිදු කිරීමට එරට ජනතාවගේ අනුග්‍රහයෙන් සරණංකර හිමියෝ ක්‍රියා කරති. මේ වර්ෂයේද නොවැම්බර් 27, 28 දෙදින තුළ ගම්මානයක් ආශ්‍රිතව එම පින්කම පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු යොදා ඇතැයි උන්වහන්සේ පැවසූහ. අපේ රටේ දිළිඳු දරුවන් දෙදහසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටද උන්වහන්සේට හැකිවී තිබේ.
ඒ සියලු කටයුතු වලට අමතරව නා හිමිපාණන් අපේ රටේ දිළිඳු දරුවන්ගේ හිත සුව පිණිස දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. රුපියල් මිලියන 60 ක පමණ වියදමින් දෙල්ගොඩ ප්‍රදේශයේ අංග සම්පූර්ණ ළමා පුහුණු සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදි කිරීම එම ව්‍යාපෘතියේ ආරම්භක පියවරයි. දැනටමත් මේ ළමා සංවර්ධන මධ්‍යස්ථානය ඉදි කෙරෙමින් පවතී. මෙහි එකවර ළමයින් 300 කට පමණ පුහුණුව ලබාදීමට පහසුකම් සහිතය. මෙම මධ්‍යස්ථානය හරහා මෙරට දැවැන්ත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියකට මුල පිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වේ. නා හිමියන් ගතින් දුර බැහැර රටක සිටියද සිතින් සිටින්නේ ශ්‍රී ලංකාවේය යන බව උන්වහන්සේගේ සේවාවන්ගෙන් පසක් වේ.

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]