UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ඌව වෙල්ලස්ස දෙ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවි ලබන හීල්ලේ ඤාණානන්ද නා හිමි

පිළිගැනීමේ උළෙල සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන විහාරස්ථානයේ දී

හීල්ලේ ඤාණානන්ද හිමි

අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සුධර්මා නම් කාරක මහා සංඝ සභාව මඟින් කතරගම, සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන විහාරය අම්බලන්ගොඩ පරගහතොට ශ්‍රී සුනන්දාරාම මහා විහාරය, කතරගම ගලහිටිය රාජාරාමය යන විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද හිමියන් වෙත ‘ශ්‍රී ඤාණාලෝක වංසාවතංස ධර්ම කීර්ති’ යන ගෞරව නාමය සහිත අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෙල්ල කතරගම උපන් ගම විය. ජෝතිමුනි මිදිරිස් උපාසක මහතා හා ජයමුණි ඤාණවතී දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1964 ඔක්තෝබර් 15 දින මෙම කුමරුවා උපත ලැබීය. සහෝදර සහෝදරියන් 9 දෙනෙකුගෙන් යුතු පවුලේ 8 වෙනියා වූ මෙම කුමරුවා නිසි වයසට එළඹීමෙන් පසු මූලික අධ්‍යාපනය ලබාදීම සඳහා මො/සෙල්ල කතරගම විද්‍යාලයට ඇතුළත් කළේ ය.

එහි අධ්‍යාපනය ලබන අතරතුර පැවිදි ජීවිතය කෙරෙහි අවධානය යොමු කර අම්බලන්ගොඩ පරගහතොට ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය ඇල්පිටිය වල්ලඹගලගිරි සමන්තාරාමය යන උභය විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පණ්ඩිත හීල්ලේ ඤාණාලෝක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1979 ජූලි මස 05 දින පරගහතොට සුනන්දාරාමයේ දී හීල්ලේ ඤාණානන්ද යන නාමයෙන් සසුන් ගත විය.

අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරස්ථ ශික්‍ෂාලංකාර මහ පිරිවෙනින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විශිෂ්ට අන්දමින් සමත් විය. බලපිටිය මාදු නදියේ උදුකුෙක්‍ඛප සීමා මාලකයේ දී අධිසිල් ලැබූහ.

උසස් අධ්‍යාපන කටයුතු වඩාත් වර්ධනය කර ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ඇතුල් වී (ගෞරව) ශාස්ත්‍රවේදී උපාධියද, ශාස්ත්‍රපති උපාධියද ලබා ගැනීමට සමත් විය. 1996 ජනවාරි මස 29 දින දික්වැල්ලේ වැවුරුකන්නල මාර/ විද්‍යාතුංග විද්‍යායතන පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සේවය ආරම්භ කරන ලදී. එහි කීර්තිමත් ආචාර්ය වරයෙක් වීම, ජ්‍යෙෂ්ඨ අංශයේ අංශාධිපති වශයෙන් 2004 දක්වා එම පිරිවෙනේ ද 2004 සිට 2005 දක්වා දික්වැල්ල බතීගම මාර/ විද්‍යාතුංග මහා පිරිවෙනේ ද සේවය කිරීමෙන් අනතුරුව 2005 සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් පරිවේනාධිපති ලෙස පත් විය.

සුවිශේෂ අවස්ථාවන් අතර තම දෙමාපියන් විසින් තම පරම්පරාවට අයත් ඉඩම පූජා කිරීම නිසා 1996 දෙසැම්බර් මස 31 දින සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන විහාරස්ථානය ආරම්භ කරන ලදී. 1997 ජනවාරි මස 01 දින ජය ශ්‍රී මහා බෝ අංකුරයක් රෝපණය කරන ලද අතර 1997 පෙබරවාරි මස 04 දින පෙර පාසල ආරම්භ කරන ලදී. 1997 පෙබරවාරි මස 04 දින ශ්‍රී ඤාණාලෝක දහම් පාසල ද 2003 ජනවාරි මස 01 දින මො/ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන ආරම්භ කරන ලදී.

තම ප්‍රදේශයට ඉටු කරන ලද ශාසනික හා සාමාජික සේවාවන් අගය කරමින් ‘ශ්‍රී ඤාණාලෝක වංසාවතංස ධර්ම කීර්ති’ ශ්‍රී ගෞරව නාමය සහිත අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් කතරගම හා සෙල්ල කතරගම ප්‍රදේශවාසීන් විසින් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර ඇත.

නොවැම්බර් මස 25 දින පෙරවරු 8.00 ට පමණ කතරගම නවනගරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ සිට රිය පෙරහරකින් ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියන් සෙල්ල කතරම නගරයට වැඩම කරවීමටත් සෙල්ල කතරගම නගරයේ සිට උඩරට, පහත රට නැටුම් සහිත පෙරහරකින් සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන විහාරස්ථානයට වැඩම කර පිළිගෙන උත්සව සභාවක් පැවැත්වේ.

--------------------------------------------------------------

බොදු පුබුදුවට කර ඇති මෙහෙවර ප්‍රශංසනීයයි

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සේවාවන් රැසක් සිදුකරමින් විශේෂයෙන් ම කතරගම සෙල්ල – කතරගම ප්‍රදේශයට ජීවිතය කැපකළ සෙල්ල – කතරගම ශ්‍රී ධර්ම නිකේතන විහාරාධිපති, ශාස්ත්‍රපති, පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද නාහිමිපාණන්වහන්සේ ඉටු කරනු ලබන ශාසනික සාමාජිය හා ආගමික සේවාවන් අගයනු වස් උන්වහන්සේ වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය විසින් ඌව වෙල්ලස්ස ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරන්නේ භක්තිපූර්වක ගෞරවයෙනි.

දස වසරක් වැනි කෙටි කාලයක දී සෙල්ල – කතරගම ප්‍රදේශයේ බෞද්ධාගමික ප්‍රබෝධය ඇති කිරීම සඳහා උන්වහන්සේ ක්‍රියාකර ඇති ආකාරය ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම ඉතා අලංකාර ලෙස සහ සියල්ලන් ගේ සිත්සතන් ඇදීයන ආකාරයෙන් නිමකරන ලද හිටි බුදු පිළිමවහන්සේ නිර්මාණය කිරීම උන්වහන්සේගේ ශක්තිය විදහා පාන්නකි. ප්‍රදේශවාසීන් ඉතාම හොඳින් දන්නා පරිදි ධර්ම නිකේතන විහාරස්ථානය කේන්ද්‍රකොටගෙන අප නාහිමිපාණෝ පෙර පාසලක් ද දහම් පාසලක් ද තරුණ බෞද්ධ සමිතියක් ද පිහිටුවා ඉතාමත් ක්‍රියාකාරී මට්ටමින් පවත්වාගෙන යනු ලැබීම අපගේ ඉමහත් සතුටට කරුණකි.

විශේෂයෙන් ම ඈත එපිට දුෂ්කර ප්‍රදේශවල අපගේ විහාරස්ථානයන් හි පැවැත්ම සඳහා සසුන්ගත කරන කුල දරුවන් ගේ හි¼ගකමක් පවතින අදවැනි යුගයක මෙම විහාරස්ථානයට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන පිරිවෙන් විහාරය ශාසනික හා ආගමික වශයෙන් වැදගත් අංගයකි. මේ ආකාරයෙන් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා සිදුකරනු ලබන සේවාව මෙලොව වශයෙන් නිවන් දැකීමට සිදුකරනු ලබන මහ පින්කමක් යැයි මම සිතමි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් මා මේ ප්‍රදේශයේ සියලුම වෙහෙර විහාරස්ථාන සම¼ග ඉතාම සමීප සබඳතාවයක් පවත්වන අතර, බොහෝ විට නිතර නිතර මෙම විහාරස්ථානයට පැමිණෙන්නේ අප ගේ අභිනව නාහිමිපාණන් ඉටුකරනු ලබන ආගමික, ජාතික හා සමාජ සේවාව ඇගයීමටත්, එමඟින් නාහිමිපාණන් වහන්සේට තව තවත් දිරිය දීමටත් ය.

දස වසරක් වැනි කෙටි කාලයක් තුළ සෙල්ල – කතරගම අභිනවයෙන් අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනඟා ආගමික සේවාවල නිරතවෙමින් සිදුකරන ශාසනික සේවාවත් සරසවි අධ්‍යාපනයෙන් පසු පශ්චාත් උපාධි හැදෑරීමෙන් ලද ප්‍රවීණත්වයත් යන උභය ලක්‍ෂණ සැලකිල්ලට ගත් අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහානායක හිමිපාණන් ඇතුළු සුධම්ම නම් එම කාරක සංඝසභාව මඟින් ශාස්ත්‍රපති, පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද හාමුදුරුවන්ට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිදිය යුත්තන් පිදීමකි. උන්වහන්සේ දිගුකලක සිට කතරගම ප්‍රදේශයේ වැඩවසමින් ගෙනයන ලද ජාතික, ආගමික හා සංස්කෘතිය කාර්යභාරයට කරන ලද මහඟු උපහාරයකි. මෙවන් උතුමන්ට ගරු තනතුරු පිරිනැමීම මංගල කාරණාවක් බව බෞද්ධ සාහිත්‍යයේ අවධාරණය කර ඇත.

ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සෙල්ල කතරගම ධර්ම නිකේතන පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති, පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද නාහිමියන්ට දිගාසිරි පතමි. ඉදිරියේ දී කතරගම ප්‍රදේශයේ පවත්වාගෙන යාමට ආරම්භ කරන ශාසනික හා ආගමික හැම කාර්යකදීම අපගේ ශක්තිය උන්වහන්සේට ලබාදෙන අතර, ඒ සියලු කාර්යභාරයක්ම ඉතා සාර්ථකව ජයගැනීමට රත්නත්‍රයේ සහ කතරගම කඳ සුරිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි පතමි.

--------------------------------------------------------------------------

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 25 දා

කතරගම, සෙල්ලකතරගම ශ්‍රී ධර්මනිකේතන විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණනන්ද හිමියන් වෙත ‘ශ්‍රී ඤාණාලෝක වංසා වතංස ධර්ම කීර්ති ශ්‍රී’ යන ගෞරව නාමය සහිත අමරපුර සිරි සද්ධම්ම වංස මහානිකායේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳව උත්සව සභාව සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන විහාරස්ථානයේ දී ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම 25 වනදා පැවැත්වේ.

එම අවස්ථාවේ දී අක්තපත්‍ර ප්‍රදානය අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා විසින් ද විජින පත පිළිගැන්වීම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා විසින් ද සිදුකරනු ලැබේ. කතරගම ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ සිට අභිනව නාහිමියන් රිය පෙරහරකින් වැඩම කරවන අතර පෙරවරු 8.30 ට සෙල්ලකතරගම නගරයේ බෝධීන් වහන්සේ අබියස සිට දායක සභාව විසින් පිළිගැනීමත් එතැන් සිට සංස්කෘතිකාංග සහිත පෙරහරකින් විහාරස්ථානයට වැඩම කිරීමත් සිදු කැරේ.

විහාරස්ථානය අබියසදී ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් පිළිගැනීමෙන් අනතුරුව උත්සව සභාව ආරම්භ කැරේ. පිරිස පන්සිල්හි පිහිටුවා පිළිගැනීමේ කතාවෙන් පසු අභිනන්දන ගීතය ගායනා කැරේ.

අනතුරුව අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සම ලේඛකාධිකාරී ශාස්ත්‍රපති කොස්ගොඩ සුභූති නාහිමියන් විසින් සන්නස් පත්‍රය කියවීම සිදුකැරේ. අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් ශ්‍රී සන්නස් පත්‍රය අභිනව නාහිමියන් වෙත පිළිගැන්වීමෙන් පසු විජිනිපත පිළිගැන්වීම රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ හා ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂින්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා අතින් සිදු කැරේ. ආරාධිත අමුත්තන් සහ දායක පින්වතුන් ප්‍රසාද පූජා පැවැත්වීමෙන් පසු අභිනන්දන ග්‍රන්ථය පිළිගැන්වේ. පැවිදි අනුශාසනා සහ ගිහි කතා ද අනතුරුව අභිනව නාහිමි අනුශාසනාවද මුලසුන දෙසුමද පැවැත්වේ.

එම අවස්ථාවට ගාල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා, හම්බන්තොට මහාධිකරණ විනිසුරු පී.කේ.ඩබ්ලිව්. විජේරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා හා එම මහත්මිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්. ප්‍රතාපසිංහ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ, ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් අඹන්වල, මහාචාර්ය නිමල් ද සිල්වා, මොනරාගල මහ දිසාපති එම්.බී.දිසානායක, මැඩගස්කරයේ ශ්‍රී ලංකා තානාපති බී.ඒ. මහීපාල, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පද්මසිරි රාජපක්‍ෂ, කතරගම ප්‍රාදේශීය ලේකම් අතපත්තු, ජනාධිපති නීතීඥ ලයනල් සේනානායක දාස සමූහ ව්‍යාපාරයේ අධිපති එස්.ඩී.ගුණදාස මහතා සහ එම මහත්මිය, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී නිහාල් වික්‍රමසූරිය යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]