UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ බෝධි පූජාව කුමක් ද?

අපේ ශාස්තෘවරයාණන් වහන්සේ තිලෝගුරු සම්මා සමුබුදුරජා ණන් වහන්සේ ය. උන් වහන්සේට ‘සම්බුද්ධ’ කියලා කියන්නේ, තමන් වහන්සේ විසින්ම ගුරු උපදෙස් නැතිවම අමා මහ නිර්වාණය පරිපූර්ණ වශයෙන්ම සාක්ෂාත් කර ගත් නිසයි. ඉතින් ඒ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ඒ ධර්මස්කන්ධය නිසා අද අපි මේ ආකාරයට ප්‍රඥාව දියුණු කරන්නෙමු. ප්‍රඥාව මෙන්ම සීලයද දියුණු කල යුතුයි. අවසාන වශයෙන් සමාධිය දියුණු කල යුතුය. ඉතින් මේ අයුරින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ හැකියාව පවතී. බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ඇසතු වෘක්‍ෂ මූලයකය. ඒ අමා මහ නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගනු ලැබීම පිණිස භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට උපකාරී වූ ඒ බෝධි රාජයාණන් වහන්සේ සිහිපත් කරගෙන බෝධි පූජා පවත්වති. මේ ලෝකයේ පහළ වූ අසමසම ශාස්තෘවරයාණන් වහන්සේ විසින් පළමු වතාවට ඒ බෝධියට කළගුණ සැලකීමේ පූජා පවත්වන ලදී. ඒ සතියක් පුරා ඇසිපිය නොසොල්වා ඒ බෝධි රාජයා දෙස බලා වැඩ හිදිමිනි. ඒ ආකාරයට පූජාවට ලක්වූ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාදීපයේ අනුරාධපුරයේ වඩා හිඳුවා තිබේ. මෙරට රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් රට පුරාම රෝපණය කර ඇත.

කෙසේ වුවද අද බෝධි පූජාවක් පවත්වනවා නම් පවත්වන්නේ දඹදිව් තලයේ වැඩ හිඳින විජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද සිහිපත් කරමිනි. ඉතින් අප හැම දෙනාම සිහි කර බැලිය යුත්තක් ඇත. අද අපි බෝධි පූජා පවත්වන්නේ ඇයි ? කියන කාරණය පිළිබඳවයි ඒ. විභාග වලින් සමත් වීමේ අපේක්ෂාවෙන් බෝධි පූජා ඇතැම් අය පවත්වති. අපල දුරු කර ගැනීමේ අරමුණින්ද බෝධි පූජා පවත්වති. රෝග සුව වී නිරෝගී වීමටද බෝධි පූජා පවත්වති.

දියුණුව අපේක්ෂාවෙන්ද බෝධිපූජා පවත්වති. ඒ මාතෘකා සිහියේ තබාගෙන බෝධි පූජා පවත්වා “අසවලාගේ අපල දුරුවේවා!” යනුවෙන් ලියූ කොඩි වැල් බෝධියේ එල්ලා තබනු ලැබේ. එහෙත් අමතක කරන්න එපා. බුදුපියාණන් වහන්සේ බෝධියේ කොඩි වැල් එල්ලුවේ නෑ, මා බුදුවේවා! යනුවෙන් , එසේ නම් ඉහත කී ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමට බෝධි පූජා තැබීම නිවැරැදිද ?

‘බෝධිපූජා’ කියන වචන දෙකේ තේරුම අප අවබෝධ කර ගත යුතුයි. බෝධි කියන්නේ ‘බුද්ධිය’ කියන එකයි.

නැත්නම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ගැන පවතින ‘ප්‍රඥාව‘ ට ‘පූජා’ කියන්නේ පිදීමට. එහෙමනම් එහි තේරුම භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාවට ගුණයන්ට පූජා කියන්නේ පිදීමට. එහෙමනම් එහි තේරුම භාග්‍යවත් වූ බුදුපියාණන් වහන්සේගේ ප්‍රඥාවට ගුණයන්ට පූජා පැවැත්වීම .

එසේ නම් බුදු පියාණන් වහන්සේ පහළ වූයේ ලෝක සත්වයාට විමුක්ති ඥාන දර්ශනය ඉගැන්වීමටය. දුකින් නිදහස් වීමේ මග හෙළිකිරීමටය. එසේ නොමැතිව ග්‍රහ අපල දුරු කිරීමට නොවේ. විභාග සමත් කරවන්ටද නොවේ.

ලෞකික සැප වැඩි කර දෙන්ට ද නොවේ. එහෙම නම් බුද්ධිමතුනි , ‘බෝධි පූජාව‘ නැත්නම් ‘ප්‍රඥා පූජාව‘ තබන විට ළාමක ප්‍රාර්ථනා කිරීම සුදුසුද? ඒ දේවල් කර ගැනීමට ඕනෑ නම් “ වීර්යය අත්‍යාවශ්‍යය. විභාග සමත්වීමට ඕනෑ නම් හොඳට පාඩම් කිරීමට අවශ්‍යය. දියුණු වෙන්ට ඕනෑ නම් අලස නොවී කටයුතු කල යුතුය. අපල දුරු කරගැනීමට නම් අපල ගැන හිත හිතා නොසිට වීර්යයෙන් කටයුතු කල යුතුයි. පින්වතුනි, තමාට සිටින හොඳම උපකාරකයා තමාම මිස වෙන කවුරුවත් නොවේ.

බෝධි පූජාව කියන අධ්‍යාත්මික ගුණ වගාව රෝපණය කරගෙන ඵල ලැබිය යුත්තක්. ඉන් ලැබෙන ඵල අති මහත්. විභාග සමත් වීමට වඩා ඵල - ප්‍රයෝජන ඉන් ලැබේ. හැම දේකටම නොපෙනෙන බලවේග වල පිහිට ලබාගන්ට යන අය ඉන්නවා නම් ඉන් පෙනෙන්නේ ඒ අයගේ තියෙන කුසීත කමයි. ඉතින් සැබෑ බෞද්ධ ශ්‍රාවක දරුවන් විදිහට කරන්නට ඕනෑ නිවැරදි බෝධි පූජා ක්‍රමයක් තිබේ.

“බෝධි පූජාව“ ඉතාම වටිනා කාරණයක්. අනන්ත වූ මහත් ඵල ලැබෙන දෙයක්. බෝධියට අරක් ගත් දෙවිවරුන් ඉන්නට පුළුවන්. දෙවියන්ගෙන් අපට පිහිට ලැබෙන්නේ අපි නිවැරැදි දේ කළොත් පමණයි. නිවැරැදි බෝධි පූජාව කරන්නේ කෙසේද?

පළමුව බෝධිය ළඟට ගොස් පිරිසුදු පැන් කළයක් සූදානම් කරගන්න. මලින් බුදුරදුන් පුදා, පැන් කළය ගෙන බෝධීන් වහන්සේ වටා පැදකුණු කරන්න. එහිදී නිරතුරුව බුදුගුණ සිහි කරන්න. මෙනෙහි කරන්න.

භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ සියලු රාග - ද්වේශ - මෝහ ආදී අකුසල සිත් වලින් මිදී පසිඳුරන් නිසා හටගන්නා සියලු උපාදානයන්ගෙන් තොරව වැඩ සිටී සේක! එහෙයින් “අරහං” නම් වන සේක!

භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ ශීල - සමාධි ප්‍රඥාවන්ගෙන් අසමසම වන සේක! ගුරුවරයකුගේ උපදෙස් නැතිවම උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කළ සේක! එහෙයින් උන් වහන්සේ “ සම්මා සම්බුද්ධ “ නම් වන සේක!

භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ අපට විද්‍යාවන්ගෙන් පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ සේක. එහෙයින් උන් වහන්සේ “ විජ්ජාචරණ සම්පන්න” නම් වන සේක!

භාග්‍යවත් වූ බුදුපියාණන් වහන්සේ පරම සුන්දර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩම කොට උතුම් නිර්වාණය ම සාක්‍ෂාත් කළ සේක! එහෙයින් උන් වහන්සේ “ සුගත” නම් වන සේක!

භාග්‍යවත් වූ බුදුපියාණන් වහන්සේ සියලු බ්‍රහ්ම - දිව්‍ය - මනුෂ්‍ය - අසුර- පේ‍්‍රත, යක්‍ෂ, තිරිසන්, ආදී ලෝක වල සැබෑ තතු පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ සේක! එහෙයින් උන් වහන්සේ “ලෝකවිදූ” නම් වන සේක!

භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ දමනය කිරීමට අපහසු පුද්ගලයන් දමනය කළ සේක! එහෙයින් උන්වහන්සේ අනුත්තර “පුරිසධම්ම සාරථී “ නම් වන සේක!

භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ එකම ගුරුවරයා වන සේක! ඔවුන් වෙත අප්‍රමාණ මෙත් සිත පතුරා චතුරාර්ය සත්‍ය උගන්වන සේක! එහෙයින් උන් වහන්සේ “ සත්ථා දේව මනුස්සානං “ නම් වන සේක!

භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම මනා සේ ප්‍රගුණ කොට උතුම් වූ බුද්ධත්වයට පත් වූ සේක! එහෙයින් උන් වහන්සේ ‘බුද්ධ’ නම් වන සේක!

භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ අපමණ කල් පින් දම් සපුරා පින්වත් වූ සේක! භාග්‍යවත් වූ සේක! එහෙයින් උන් වහන්සේ “ භගවා” නම් වන සේක!

එසේ ලොව්තුරා බුද්ධ රාජයාණන් ගේ උතුම් ගුණ සිහි කරමින් ඇති තරම් වේලා බුද්ධානුස්සතියේ යෙදෙන්න. බුද්ධානුස්සතියේ පරතෙරට ගොස් සෝතාපන්න මගට පැමිණීමේ හැකියාවද ලැබේ. ඒ ආකාරයට බුදු ගුණ මෙනෙහි කරමින් බුද්ධානුස්සතිය හමාර කොට අවසානයට පැන් කලය බෝධි මූලයට වත් කරමින් මටත් මේ වාගේම (කැමති බෝධියකින්) උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත හැකි වීමට මේ “ බුද්ධානුස්සතිය” හේතු වේවා! “ කියා ප්‍රාර්ථනා කරන්න. දෙලොවටම සුව දෙන මහා අධ්‍යාත්ම ගුණ වගාවක් තමයි බෝධි පූජාවෙන් කෙරෙන්නේ. ඉතින් බෝධි පූජාවේ අනන්ත ගුණයන් ඔබට තිබේ.හැබැයි බෝධියේ කොඩිවැල් එල්ලන්නට එපා. මොකද? ප්‍රඥාව දියුණු කරගන්නට උපකාරී වෙන බෝධීන් වහන්සේ අපිරිසුදු කරන එක කොතරම් වැරදිද? ඒක බුදු රජාණන් වහන්සේටත් කරන අගරුවක්. ඒ නිසා අපි නිතරම බුද්ධානුස්සති බෝධි පූජාව කරන්නට පුරුදු වන්ට ඕනෑ. ඒ වගේම බෝධි පූජාව නිවැරැදි විදිහට පවත්වා ඒ භාවනාමය - වන්දනාමය බුද්ධ පූජාමය වූ කුසල සම්භාරය සියලු දෙවිදේවතාවුන්ට අනුමෝදන් කරන්න. එය ඔබට මහත්ඵල මහානිශංස පුණ්‍යස්කන්ධයක් ලබා දෙන්නකි. පරම රමණීය නිවන් පිණිසම වෙහෙසෙන්න.

සියලු කුසලානුභාවයෙන් උතුම් නිවනම අවබෝධ වේවා!

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]