බෞද්ධ මනෝ විද්‍යාව සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
ගල්පොත්තයායේ
පේමානන්ද හිමි
සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාකාරීත්වයට බාධා වන පරිදි නැවත
නැවත පුද්ගලයා විසින් සිදු කරනු ලබන ක්‍රියා බටහිර මනෝ විද්‍යාවේ
හඳුන්වන්නේ “ග්‍රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය” හෙවත් (OCD
– Obsessive Compulsive Disorder) යනුවෙනි. මෙය අසාමාන්‍ය මනෝ
විද්‍යාවට අයත් මානසික රෝගි තත්ත්වයකි. මෙහි
Obsessive යන්නෙන් අදහස්
කරන්නේ යමක් කිරීමට ඇති තද බල ආසාව හා පෙළඹ වීමයි. එහිදී කිසිම අර්ථයක්
නැති ක්‍රියාවක් නිතර නිතර කරනු ලබයි. පසුව එය පාලනය කර ගත නොහැකි වී
නිතර නිතරම සිදු වන මානසික රෝගයක් බවට පත් වේ.
Compulsion යනු එම
සිතිවිලි පාලනය කර ගැනීමට තිබෙන දැඩි කැපවීම හා බල කිරීමයි. මේ අනුව
OCD වල මූලික ලක්‍ෂණය වන්නේ යම් යම් චරියා හෝ ක්‍රියා නැවත නැවත
සිදු කිරීමට ඇති අභ්‍යන්තරික දැඩි ආසාව හා එය පාලනය කර ගැනීමට ඇති
දුෂ්කරතාවයි. මේ හේතුවෙන් පුද්ගලයා ඉතා නිෂ්ඵල ක්‍රියා නැවත නැවත සිදු
කරමින් පීඩාවට පත්වනු ඇත. සාමාන්‍යයෙන් ර්‍ණඛ්ච්මානසික රෝගී තත්ත්වයක්
වැළඳුණ පුද්ගලයෙකු තේරුමක් නැති බොහෝ දේ සිදු කරනු දැකිය හැකි ය.
උදාහරණයක් ලෙස නිවසින් පිටව ගිය පුද්ගලයකු නිවසේ දොර ජනේල් වැසුවාද
යන්න අමතක වී නැවත නැවත පරීක්‍ෂා කර බලයි. එය කිහිප විටක්ම සිදු කයි.
කිසියම් වටිනා දෙයක් තම බෑගයට දමා ගත් පසු එය තිබේ දැයි නැවත නැවත
බලයි. බටහිර මනෝ විද්‍යාවේ මෙම රෝගී තත්ත්වය අසාමාන්‍ය රෝගී තත්ත්ව
යටතේ බාහිර චර්යා පදනම් කර ගනිමින් සාමාන්‍ය ලෙස විග්‍රහ කර තිබුණද පෙර
දිග මනෝ විද්‍යාවට අනුව එය ඉතා ගැඹුරින් සංසාරික පැවැත්ම හා සම්බන්ධ වන
පරිදි දේශනා කර ඇත. මෙම විද්‍යා දෙකෙහි ක්‍රියා කලාපය හා අවසන්
ප්‍රතිඵලය බොහෝ සෙයින් වෙනස් බවක් පෙනේ. බුදුරජාණන් වහන්සේ විසින්
භාවිතා කරන ලද වචන වල අර්ථ ඉතා ගැඹුරු ය. ඒ අනුව අවසන් ප්‍රතිඵලය ද
බෙහෙවින් සැළකිල්ලට ගත යුතු ය.
විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ධර්ම සැබැවින්ම මනෝ
විද්‍යාත්මකය. උන්වහන්සේ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ මනස හැඩ ගස්වා
ගැනීමටත් සෘජු කර ගැනීමටත් ය. පුද්ගලයා සහිත ලෝකය ප්‍රධාන කොටස් පහකට
බෙදූ උන්වහන්සේ, එයින් කොටස් හතරක්ම චිත්ත චෛතසික නැතහොත් මානසික
කොටසටම ඇතුළත් කර වදාළහ.
එනම් – රූප - භෞතික හා මානසික, වේදනා, සඤ්ඤා, සංඛාරා,- ;;චතසික, විඤ්ඤා
– චිත්ත
මෙහි රූප කොටස ද පසුව විශ්ලේෂණාත්මකව බැලීමේ දී නැවතත් චිත්තය හා
සම්බන්ධ වන අයුරු දැකිය හැකි ය.
චක්‍ඛු රූප චක්‍ඛු විඤ්ඤාණය
සොත ශබ්ද සොත විඤ්ඤාණය
ඝාණ ගන්ධ ඝාණ විඤ්ඤාණය
ජිව්හා රස ජිව්හා විඤ්ඤාණය
කාය ස්පර්ශ කාය විඤ්ඤාණය
මන ධර්ම මනෝ විඤ්ඤාණය මානසික
මෙම විග්‍රහයට අනුව ලෝකයේ ක්‍රියාත්මක වන සවිඤ්ඤාණක අවිඤ්ඤාණක සියල්ලම
සලකා බැලූවද සියයට අනූ නවයකටත් ඇත්තේ සෘජුව මනස හා අනුබද්ධව පවතින දේය.
මෙයින් වඩාත් ප්‍රකට වන්නේ “මනෝ පුබ්බංගමා ධම්මා” යනුවෙන් සියල්ලටම මනස
මූලික වන්නේ ය යන බුදු වදනෙහි ඇති යෝග්‍ය බවය. මේ ආකාරයෙන් ලොව පවතින
වස්තූන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මනෝ විද්‍යාත්මක වටිනාකමක් ඇති බව දැන
දැක වදාළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මානසික වෛද්‍ය වරයකු බව
පැහැදිලිව ප්‍රකාශ කළ සේක. (සොහං බ්‍රහ්මණ සල්ලකත්තො අනුත්තරො - සු.නි.
සේල සූත්‍රය) පෙළ දහමට අනුව සත්ත්වයින්ට වැළඳෙන රෝගී තත්ත්ව දෙකකි.
එයින් වඩාත් ප්‍රබල වන්නේ මානසික රෝගය.
මහණෙනි, කායික චෛතසික යැයි රෝග දෙයාකාර වේ. කායික රෝග වලින් තොරව වසරක්
දෙවසරක්, දස වසරක් හෝ සියවසක් හෝ නිරෝගීව සිටින සත්ත්වයන් දක්නට
ලැබෙයි. එසේ වූවද (පරිපූර්ණ මානසික සෞඛ්‍යයක් උදා කරගත්) චෛතසික රෝග
වලින් තොර වූ, මොහොතක් හෝ මානසික නිරෝගී බව අත් දකින කිසිවකුත් නැත.
ඇත්නම් ඒ රහතන් වහන්සේ පමණි. (අ.නි. රෝග සූත්‍රය) කායික වෛද්‍යවරුන් වා
පිත් සෙම සමනය කිරීමෙන් කායික රෝග සුවපත් කරති. එසේම බුදු රජාණන්
වහන්සේ ලෝභ, දෝස, මෝ, ක්‍ෂය කරවීමෙන් මානසික රෝග සුවපත් කරති. එහි
අග්‍ර ප්‍රතිඵලය වන්නේ සංසාර දුක නමැති භයානක රෝගයෙන් සත්වයන් මුදවා
ගැනීමයි. මේ අදහස කැටි කර ගනිමින් ලෝවැඩ සඟරා කතුවරයා බුදුරජාණන්
වහන්සේ හඳුන්වන්නේ “සත්හට වන බව දුකට වෙදානන්” යනුවෙනි.
සංසාරික දුක නැති කිරීම සඳහා නැවත නැවත ඉපදීම නැති කළ යුතු ය. ලොව්තුරා
බුදු පදවියට පත්ව තථාගතයන් වහන්සේ වදාළ උදාන වාක්‍යයේ “පුන ගෙහං
නකාහසි” යනුවෙන් නැවත මේ සසර නමැති ගෙය නො තනන බව සඳහන් කරයි. කුසලතා
ඇති පුද්ගලයෙකු විසින් කළ යුතු දේ ඇතුළත් කරණීයමෙත්ත සූත්‍රාන්තයෙහි “න
හී පාතු ගබ්බ සෙය්‍යං පුනරෙති තී” යනුවෙන් නැවත මව් කුසක සයනය නොකරන
තත්ත්වයට මනස හැඩගස්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත. එසේම සං.නි.
බ්‍රාහ්මණ සංයුක්තයෙහි එන උදය බමුණාගේ කථා ප්‍රවෘත්තියෙන් ද බුදුරජාණන්
වහන්සේ නැවත නැවත සිදු වන බොහෝ දේ පෙන්වා දී එමඟින් සසර දුක නැවත නැවත
ඇති වන අයුරු පෙන්වා දී ඇත. දිනක් බුදුරජාණන් වහන්සේ උදය බමුණාගේ නිවසට
පිඬු පිණිස වැඩිය අතර බමුණා එයට සතුටු වී ප්‍රණීත වූ භෝජන දානයක්
පිළිගන්වයි. දෙවන දිනයේ දී එසේ කළ අතර තෙවන දිනයෙහිද පිඬු පිළිගන්වා
බමුණා බුදුරජාණන් වහන්සේට මෙසේ කීවේ ය. රසවත් ආහාරයෙහි ඇති ගිජු භාවය
නිසා තථාගතයන් වහන්සේ තම නිවසට නැවත නැවත වඩින බව ය. එහිදී බුදුන්
වහන්සේ මේ ගාථා වදාළ සේක.
“පුනප්පුනං චෙව වපන්ති බිජං
පුනප්පුනං වස්සති දෙව රාජා
පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා
පුනප්පුනං ධඤ්ඤ මුපෙති රට්ඨං
පුනප්පුනං යාචකා යාචන්ති
පුනප්පුනං දානපති දදන්ති
පුනප්පුං දානපති දදිත්වා
පුනප්පුනං සග්ගමුපෙති ඨානං
පුනප්පුනං ඛීරනිකා දුහන්ති
පුනප්පුනං වච්ඡො උපෙති මාතරං
පුනප්පුනං කිලමති එන්දති ච
පුනප්පුනං ගබිහමුපෙති මෙන්දා
පනප්පුනං ජායති මීයති ච
පුනප්පුනං සිටථිකං හරන්ති
මග්ගඤ්ච ලද්ධා අපුනබ්හවාය
න පුනප්පුනං ජායති භුරිපඤ්ඤෝ”
ගොවියෝ නැවත නැවත බීජ වපුරති, වැස්ස නැවත නැවත වසී. ගොවියෝ නැවත නැවත
සීසාති. නැවත නැවත රටට ධාන්‍ය ලැබේ. දන් දී නැවත නැවත සුගතියට යති.
කිරි දොවන්නෝ නැවත නැවත දොවති, වස්සා නැවත නැවත මව වෙත එළඹෙයි.
සත්ත්වයා ඒ ඒ ඉරියාව්වෙහි නැවත නැවත වෙහෙසට පත් වී ක්ලාන්ත බවට පත්
වෙයි. කම්පා වෙයි. මන්දබුද්ධික බාල තෙම නැවත නැවත මැරී මැරී නැවත නැවත
උපදී.
මේ ලෝකයෙහි උපදින සෑම සත්ත්වයෙක්ම තෘෂ්ණාව නැති නො කළහොත් නැවත නැවත්
උපදියි. නැවත නැවතත් මිය යයි. නැවත නැවත ඉපදි ඉපදී මිය යන ඔහු නැවත
නැවත සොහොන වෙත ගෙන යයි. නුවණැති පුද්ගලයා නැවත නැවත ඉපදීමට හේතුව වන
තෘෂ්ණාව නැති කරන මාර්ගය පිළිපැදි, නිර්වාණයට පැමිණ නැවත නූපදී.
මේ අනුව ලෝකයේ උපන් පුද්ගලයා කෙළෙස් සහිත බව නිසා නැවත නැවත කරන බොහෝ
දේ නිසා නැවත ඉපදීම නමැති භයානක තත්ත්වයටද ගොදුරුව පවතී. එසේ නැවත නැවත
උපදින පුද්ගලයන්, මන්ද බුද්ධික හෙවත් ඌන මානසික සංවර්ධනයක් සහිත කෙනෙක්
ය. මේ අනුව පරිපූර්ණ මානසික සංවර්ධනයක් ඇති පුද්ගලයා මානසික රෝගී
තත්ත්වයන් ගෙන් මිදුණු උත්තමයෝ ය. එනම් සියලු කෙලෙස් පරිපූර්ණ ලෙස
මනසින් බැහැර කොට මානසික නිරෝගී සුවය විඳින පිරිස් ය. එසේ නොවන පෘථග්ජන
භාවය ඇති, හෙවත් ලෝභ ද්වේෂ, මෝහාදී කෙළෙස් ක්‍රියාත්මක වන සෑම දෙනාම
උමතු ක්‍රියාවලට සම්බන්ධ වනු ඇත. (සබ්බේ පෘථජ්ජන උම්මත්තකා)
මජ්ඣිම නිකායේ මධු පිණ්ඩික සූත්‍රය මඟින් පුද්ගලයා සසර ගමන් කරවන
ප්‍රපංච ගොඩ නැගෙන අයුරු මැනවින් විග්‍රහ කර ඇත. එහිදී ඇස් කන් නාසාදී
පඤ්ච ඉන්ද්‍රිය මඟින් ගන්නා අරමුණු හා ඒ අනුව සිදු වන මානසික
ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස එය පැහැදිලි කර ඇත. උදාහරණයක් වශයෙන්
“චක්‍ඛුංචාවුසො පටිච්ච රූපෙව උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති
ඵස්සො ඵස්ස පච්චයා වේදනා, යං වේදෙති තං සංජානාති, යං සංජානාති තං
විතක්කෙති, යං විතක්කෙති තං පපංඤවෙති, තතො නිදානං පුරිසො පපංඤ්ච
සඤ්ඤාසංඛාරා සමුදා චරන්ති” මහණෙනි ඇසද රූපයද කරණ කොටගෙන චක්‍ඛු
විඤ්ඤාණය උපදී. මෙම තුනෙහි එකතුවෙන් ස්පර්ශයත් ස්පර්ශය මඟින්
වින්දනයත්, විඳීම මඟින් හඳුනාගැනීමත් සිදු වෙයි. හඳුනා ගත් දේ නැවත
නැවත සිතීමත්, විතර්කනයත් නිසා, ප්‍රපඤ්චයක් නිර්මාණය වෙයි. මෙහි
ප්‍රපඤ්චයක් යනු සංඛාර තත්ත්වයට පත් වූ හෝ නැවත ඉපදීම සඳහා යෝග්‍ය වූ
මානසික පරිසරයක් නිර්මාණය වීමකි. මෙසේ සියලු ඉන්ද්‍රිය මඟින් අරමුණු
ලබා ගනිමින් ඉහත ක්‍රියාවලිය සිදු කරන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්
ගැඹුරු සිතෙහි ප්‍රපඤ්ච තැන් පත් වීම සිදුවෙයි. අඛණ්ඩ සංසාරික ගමනට මෙම
මනෝමය ප්‍රපඤ්ඤ බලපාන අතර, මෙම ප්‍රපඤ්ච නිර්මාණය වීමේ ප්‍රධාන සාධකය
නම්, විතර්කයයි. විතර්කය යනු සිතට නංවා ගත් අරමුණක් නැවත නැවත පිරික්සා
බලමින් කාලය ගත කළ නිසා, එය සංඛාර තත්ත්වයට දියුණු වීමයි. මෙ මඟින්
ප්‍රකට වන්නේ වැරැදි සහගත දෙයක් නැවත නැවත මෙනෙහි කිරීම පුද්ගලයා
සංසාරික ගමනක යෙදවීමට තරම් ප්‍රබල බවයි. ඉන්ද්‍රිය මඟින් සිතට නංවා
ගන්නා අරමුණු මෙසේ පුද්ගලයාට දැඩි ලෙස බලපාන බැවින් බුදුරජාණන්
වහන්සේගේ උපදේශය වනුයේ, දුටු දේ දුටු දේ වශයෙන් පමණක් හඳුනා ගෙන, බැහැර
කරන ලෙසය. එය නිමිති අනු නිමිති වශයෙන් ගතහොත් ඉහත කී බැරෑරුම් මානසික
තත්ත්වය නිර්මාණය වන බැවිනි (දිට්ඨෙව දිට්ඨ මත්තං, සුතෙව සුත මත්තං,
මුතෙව මුත මත්තං) බෞද්ධ සූත්‍රාන්ත කිහිපයකම හමුවන හික්මීමේ
ක්‍රමවේදයක් වශයෙන් පෙන්වා දී ඇති ඉන්ද්‍රියෙසු ගුප්තද්වාර යනුවෙන්
සඳහන් වන ඉඳුරන්හි වැසූ දොර ඇති බව යන දේශනාවෙන් ද අදහස් කරන්නේ ඉහත
අදහසම ය.
පුද්ගල සන්තානයේ ඇති ලෝභය, ද්වේශය, මෝහය වැනි අකුසල මූල ද කාලයාගේ
ඇවෑමෙන් පුරුද්දක් වශයෙන් පහළ වීමට පටන් ගනී. මෙම පුරුදු නැති කර
ගැනීමට ඊට ප්‍රතිපක්‍ෂ ලෙස, දානය, මෛතී‍්‍රය, ප්‍රඥාව වැනි ගුණාංග
චර්යාවට එකතු කර ගත යුතු ය. එසේ ලෝභාදී තෘෂ්ණා මූල ක්‍ෂය කර ගත හැකිනම්
එය සසර කෙටි කර ගැනීමේ මාවතට ප්‍රවිෂ්ට වීමක් ලෙස සැලකිය හැකි ය.
(තණ්හක්‍ඛයෝ නිබ්බානං)
මේ අනුව නූතන මනෝ විද්‍යාවේ දී
OCD යනුවෙන් පුද්ගලයා විසින් නිතර
කරනු ලබන අසාමාන්‍ය චර්යා හඳුන්වා දී ඇති අතර ඒ සඳහා විවිධ ප්‍රතිකාරද
කරනු ලැබේ. බෞද්ධ මනෝ විද්‍යාවට අනුව නිතර ඉපදීම හෙවත් පුනර් භවය නැති
කර ගැනීම සඳහා ද මෙම ක්‍රම වේද උපයෝගී කර ගැනීමට ඇති අවස්ථාව පිළිබඳ
විමසා බැලීම, වැදගත් ය. ඒ අනුව බෞද්ධ චර්යාවේ පරම නිෂ්ටාව වන
නිර්වාණාවබෝධයෙන් සසර කෙටි කර ගැනීම සඳහා ද උක්ත ක්‍රමවේද යොදා ගත හැකි
බව තවදුරටත් පැහැදිලි වෙයි. |