UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත්මලේ, තවලන්තැන්න ප්‍රදීපාරාම විහාරස්ථානය


නව චෛත්‍යය


විහාරස්ථානයේ දසුනක්


බෝධීන් වහන්සේ

මහනුවර, නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ, තවලන්තැන්න මංසන්ධිය පසුකර, මීටර් 300 ක පමණ දුරක් පසුකර, ගැරැඩිඇල්ල ප්‍රදේශයට යන විට දකුණු පසින්, ඉතා මනරම් වූ ස්ථානයක පිහිටි, කොත්මලේ තවලන්තැන්න ප්‍රදීපාරාමය දිස්වේ.

දකුණු පළාතේ ප්‍රසිද්ධ සඟ පරපුරකට අයත් පඬිරුවනක් ලෙසින් හැඳින්විය හැකි පූජ්‍යපාද රන්තොටුවිල ඛේමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රදීපාරාමය ආරම්භයේ සිට මේ දක්වාම විහාරාධිපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරන අතර, උන්වහන්සේගේ දැඩි කැපවීම, ශක්තිය හා ධෛර්යය මත විහාරස්ථානය මේ වන විට විශාල දියුණුවක් ලබා ඇත. එම නිසාම උඩරට ප්‍රදේශයේ සැදැහැතියන්හට ඉතා නිදහස්ව මැනවින් ආගමික කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාවද තවලන්තැන්න ප්‍රදීපාරාමයෙන් උදාවී ඇතැයි පැවසුවහොත් එය නිවැරදිය.

තවලන්තැන්න ප්‍රදීපාරාම විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ 1984 ජූලි මස 13 වෙනිදාය. ඒ වනතෙක් එම ප්‍රදේශයට පන්සලක් නොමැතිවීම විශාල අඩුවක් ලෙසින් පැවතුණි. එම අඩුපාඩුව හොඳින් තේරුම් ගත් තවලන්තැන්න ජන්ෂන් ව්‍යාපාර අධිපති, සාමදාන විනිශ්චයකාර කේ.බී. ඒ.ඒ. කොඩිතුවක්කු මහතා, තවලන්තැන්න ප්‍රදීපාරාමය ආරම්භ කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළේ ය. ඒ සඳහා කොඩිතුවක්කු මහතාට ගැරැඬිඇල්ල, ගෙවල්විස්ස හා ඒ අවට ප්‍රදේශයේ කීපදෙනෙකුගේම සහයද ලැබුණු අතර එම නිසා අද වන විට තවලන්තැන්න ප්‍රදේශයට දර්ශණීය වූ විහාරස්ථානයක් ලැබී ඇත.

එලෙස විහාරස්ථානය ආරම්භ කිරීම සඳහා ඉඩම මිලදී ගැනීමේ දී හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් විශාල වූ සහයෝගයක් ලැබී ඇති අතර, විහාරස්ථානයේ විවිධ වූ අංග ඉදිකර, විහාරස්ථානය දියුණුවට තම ධන පරිත්‍යාගයෙන් විශාල වූ කැපවීමත් සිදුකළ, කන්ද උඩරට ප්‍රදේශයේ සිටින ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු හා දේශපාලඥයකුද වන කේ. කේ. පියදාස මහතා ඇතුළු තවත් පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන්ගෙන් ලැබුණු ශක්තිය හා උදාරතර සේවාවද විහාරාධිපති රන්තොටුවිල ඛේමානන්ද ස්වාමීන්ද්‍රයන්වහන්සේ සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙනි.

තවලන්තැන්න ප්‍රදීපාරාමයේ තිබෙන වැදගත් වූ අංගයන් අතර අනිවාර්යයෙන්ම සිහියට නැගෙන්නේ විහාර මන්දිරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව හා බෝධීන් වහන්සේ ය. විහාර මන්දිරයේ වැඩ සිටින සධාතුක කරඬුවේ තැන්පත් කර ඇති, ශ්‍රී ධාතූන් වහන්සේලා පරිත්‍යාග කොට ඇත්තේ අනුරාධපුර බුද්ධශ්‍රාවක පීඨාධිපති රාජකීය පණ්ඩිත කෝදාගොඩ ඥාණාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, දිඹුලාගල, ආරණ්‍ය සේනාසනාධිපතීන් වහන්සේ හා කවුඩුල්ල ශාඛ්‍ය සිංහාරාමයේ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසිනි.

තවලන්තැන්න ප්‍රදීපාරාම විහාරස්ථානයේ දැනට රෝපණය කර ඇති බෝධීන් වහන්සේ ද විශේෂත්වයක් ගනු ලබයි. තවලන්තැන්න ප්‍රදීපාරාමාධිපති පූජ්‍යපාද රන්කොටුවිල ඛේමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ 2000 වර්ෂයේ දී දඹදිව සංචාරයක නිරත වූහ. ඒ අවස්ථාවේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බීජ 4 ක් ගෙනවිත් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී, එයට සම්බන්ධ විශේෂඥයින්ගේ අනුදැනුම හා උපදෙස් මත පැළ කිරීමට බාර දුන්හ. එම ගෙඩි හතරෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුර 54 ක් හදා ගැනීමට හැකි විය. එම බෝ අංකුර එකක් තවලන්තැන්න ප්‍රදීපාරාමයේ රෝපණය කළ අතර එම බෝධීන් වහන්සේ දැනට ප්‍රදේශයේ කාගේත් ගෞරවයට පාත්‍රව ඇත. ඉතිරි බෝ අංකුර 53 ක් ලංකාවේ පිහිටි යුදහමුදා කඳවුරු, රාජ්‍ය ආයතන, හා බෞද්ධ සිද්ධස්ථාන කීපයකට උත්සවශ්‍රීයෙන් බෙදා දුන් අතර, එම බෝධීන් වහන්සේලා එලෙස රටපුරාම වැඩ සිටීමද තවලන්තැන්න ප්‍රදීපාරාමයට උදා වූ ගෞරවයක් ලෙසද හැඳින්විය හැකිය.

එවකට තවලන්තැන්න ප්‍රදීපාරාමයේ පෙරහර මංගල්‍යය ද වාර්ෂිකව ඉතා සාර්ථක අයුරින් සිදුකළ අතර, දැනට ආර්ථික අපහසුතා මත දැනට පෙරහර මංගල්‍යය සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ආගමික සිරිත් විරිත් බොහෝ දුරට හොඳින් අනුගමනය කරනු ලබන, තවලන්තැන්න ප්‍රදීපාරාමයේ විහාර මාලිගයේ වැඩ වෙසෙන, ධාතූන් වහන්සේටත්, චෛත්‍ය රාජයාණන් වහන්සේටත්, ශ්‍රී මහාබෝධීන් වහන්සේටත්, දිනපතා විහාරාධිපතීන් වහන්සේ විසින් ඉතා සර්ධාවෙන්, ක්‍රමාණුකූලව, ආගමික වතාවත් සිදු කිරිමද බොහෙවින්ම අගය කළ යුත්තකි.

තවලන්තැන්න ප්‍රදීපාරාම පිං බිම විහාර මන්දිරය, ධර්ම ශාලා මන්දිරය, චෛත්‍යරාජයාණන් වහන්සේ, හේවිසි මංඩපය, බෝධීන් වහන්සේ ඇතුළු තවත් අංග කීපයකින්ම පරිපූර්ණය. ඒ සඳහා විශාල අඩුපාඩුවක් ලෙසින් පැවති දර්ශනීය බුදු පිළිම වහන්සේ නමක්, පාරදෙක ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික ඒ.ඩී. ලයනල් පෙරේරා මහතා විසින් පසුගියදා විහාරස්ථානයට පූජා කරන ලදී.

ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍රව ඇති තවලන්තැන්න ප්‍රදීපාරාමය පිරිසුදු, අලංකාර, දුටුවන්ගේ සිත් පහදන ස්ථානයකි. පසුගිය දිනක හදිසියේම විහාරස්ථානයට වැඩම කොට වදාළ මහාචාර්ය, ;බල්ලන්විට විමලරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විහාරස්ථානයේ පිවිතුරු බව දැක අතිශයින්ම සතුටට පත්වූහ. විවිධ ජාතීන්ට අයත් ප්‍රදේශයක පිහිටි තවලන්තැන්න ප‍්‍රදීපාරාමය රැක ගැනීම අප කාගේත් යුතුකමකි. එයට හේතුව වන්නේ විහාරස්ථානයට වෙනත් ආදායම් මාර්ගයක් නොමැතිවීම නිසා ය.

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]