UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සඟරුවන වැඩුමට රටම එක්වෙමු

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සෑම සාමාජික කොටසකගේම සහයෝගය ඕනෑකම හා කැපවීම අවශ්‍ය ය. ශාසනයේ දියුණුව සඳහා සිව්වනක් පිරිස අත්‍යවශ්‍ය ය. ඉනුත් මෙකල කැපී පෙනෙන සාමාජික කොටස වන්නේ මහා සංඝ රත්නයයි.

මහා සංඝ රත්නය ගොඩනගා ගැනීමට උපාසක උපාසිකාවන්ගේ කැපවීම අත්‍යවශ්‍ය ය. මේ සඳහා පින්වත් කුල කුමරුවන් බිහි කරවීම මව්වරුන්ගන් සිදු විය යුතු ය. අපේ පැරණි මවුවරු පින්වත් කුල කුමරුවන් ප්‍රාර්ථනා කර ගෙන බෝධි පූජා කළහ. පැන් බඳුන හිස මත හෝ දෑත් මත තබා ගත් මව්වරු, ‘පැවිද්දට සුදුසු පින්බර කුමරකු මට ලැබේවා’යි බෝ සමිඳුන් වටා ප්‍රදක්ෂිණා කළහ. බෝ සමිඳුන් පිදූහ. බණ ඇසූහ. පිරිත් දේශනා කරවා ගත්හ. ගැබ් පෙරහර ලබමින් දැහැමි ජීවිත ගත කළහ. ලැබුණු දරුවා ආදරයෙන් හදා වඩා සිප් සතර හදාරවා සසුනට පුද කළහ. එනිසාම ගුණ නැණ බෙලෙන් යුතු, සෞඛ්‍ය සම්පන්න දරුවන්ගෙන් සසුනඹර බැබළිණි. ආදර්ශවත් ධාර්මික දිවි පැවැත්මෙන් පියවරු ගෘහ ජීවිතය ශක්තිමත් කළ යුතු ය. දරුවන්ගේ කායික මානසික සංවර්ධනය සඳහා ක්‍රියා කළ යුතු ය. විහාරස්ථාන කිට්ටුවෙන් ඇසුරු කළ යුතු ය. තමා විහාරස්ථානවලට පැමිණෙන අවස්ථාවල සිය දරුවා කැටුව ගොස් මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලබා ගත යුතු ය. කෘෂි, වණිග් ආදී දැහැමි ජීවනෝපාය පිළිබඳ දරුවන් දැනුවත් කළ යුතු ය. බෞද්ධ සදාචාර පිළිබඳ අවබෝධයක් දරුවන්ට ලබා දිය යුතු ය. මවුපියන් සමගින් දැහැමින් සෙමින් ජීවත් විය යුතුය. දරුවන්ගේ දිවි මග ගැන නිතර සෙවිල්ලෙන් ක්‍රියා කළ යුතු ය.

රටට අවශ්‍ය බුද්ධිමතුන්, සියලු ශ්‍රේණිගත උගතුන්, නිර්මාණකරුවන්, දක්ෂයින් බිහි කළ යුත්තේ අධ්‍යාපන අංශ වලිනි. ඒ සඳහා ගමේ පාසලට පැවරී ඇත්තේ භාරදූර වගකීමකි. ඉතා දක්ෂ දරුවන් ගැමි සමාජයේ දැකිය හැකි ය. ඒ ඒ සාමාජික අංශවලට අවශ්‍ය දරුවන් වෙන්කර හැඳින ඔවුනට ගමන් මග හෙළි කළ යුත්තේ ගමේ පාසලේ ගුරු මඩුල්ලෙනි. ඒ සඳහා දෙගුරුන්ගේ කැපවීම ද අත්‍යවශ්‍ය ය. පැවිද්දට සුදුසු දරුවන් එමගට හැරවීමට ද පාසලට හැකියාව තිබේ. මවුපියන්ගෙන් පාසලෙන් සමාජයෙන් කායික මානසික හා සෞඛ්‍යාත්මක වශයෙන් වර්ධනය වූ කුල දරුවන් මහා සඟරුවන වෙත එළඹුණොත් එම කුල පුත්‍රයන් ගුණ දහමින් පෝෂණය කර ආගමික හැදියාවෙන් සහ දහම් අධ්‍යාපනයෙන් ඔපවත් කර පිරිවෙන් අධ්‍යාපනයට යොමු කැරේ. පිරිවෙන් වලින් ධර්මධර, විනයධර, දක්ෂ, ව්‍යක්ත, බහුශ්‍රැත යතිවරයන් විහාරස්ථානවලට යොමු කැරේ. එම අවස්ථාවේ දී ආචාර්ය උපාධ්‍යායවරුන්ගේ වගකීම වන්නේ නිකාය මූලස්ථානවලට යොමු කිරීමයි. නිකාය මූලස්ථානවලින් වසරක් පාසා ජවසම්පන්න, දක්ෂ, ව්‍යක්ත යතිවරයන් වහන්සේ සමූහයක් ධර්ම ප්‍රචාරක ස්වරූපයෙන් සමාජයට දායාද කැරේ. එවන් දක්ෂ යතිවරයන් වහන්සේ බිහි කිරීමට ආගමික මූලස්ථානවලට ශක්තිය විවිධ සාමාජික කොටස් වලින් ලබා දිය යුතුය. උගත් බුද්ධිමත් සිල්වත් ගුණවත් යතිවරයන් වහන්සේ විවිධ සේවා අරමුණු කරගෙන සමාජයට පිවිසෙන විට සමාජයේ උපහාරය උන්වහන්සේට ලැබිය යුතු ය. උන්වහන්සේ ගේ සිව්පස පහසුව දායකවරුන්ගෙන් සැපයිය යුතු ය. විහාරස්ථානවල ගොඩනැගිලි ඉදි කළ යුත්තේ දායක සභාව මගිනි. හාමුදුරුවන්ගේ අවශ්‍යතා සොයා බලා ඉටුකර දීම දායක සභාවල යුතුකමකි.

සසුනට ගැළපෙන යතිවරයන් වහන්සේ බිහි කිරීම මහා සඟරුවනට පැවරෙන වගකීමකි.

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]