UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික වැලිගම අග්‍රබෝධීන් වහන්සේට රන් වැට පූජා කිරීම හා මහාචාර්ය මිදිගම සෝරත හිමියන් වෙත දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප‍්‍රදානෝත්සවය

13 වන දා මල්වතු මහා විහාරයේ දී - නායක පදවි මහෝත්සවය 14 වනදා වැලිගම අග්‍රබෝධි රජමහා විහාරයේදී

ශ්‍රී සන්නස් පත්‍ර මහෝත්සවය


මහාචාර්ය මිදිගම සෝරත හිමි

වැලිගම අග්‍රබෝධි රාජයාණන් වහන්සේගේ රන්වැට නිරාවරණෝත්සවය සහ විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන් වෙත දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ මහෝත්සවය සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් ඇතුළු මහ සඟරුවනෙහි සහ ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා, වරාය ගුවන් සේවා සහ වාරිමාර්ග ජල කළමණාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම මස 14 වැනිදා පස්වරු 3 ට වැලිගම අග්‍රබෝධි රජමහා විහාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

මෙම මස 13 වැනිදා පස්වරු 3 ට මල්වතු මහා විහාරයේදී ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවය පැවැත්වේ.

එම අවස්ථාවට සහභාගී වන ආරාධිත සම්භාවනීය පැවිදි උතුමන් අතර සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි වල්ගොව්වාගොඩ ශ්‍රී මේධාලංකාර විමලබුද්ධි නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි, කැලණි සරසවියේ කුලපති විද්‍යාලංකාර පිරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමි, කැකුණේවෙල පියරතන අනුනාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි, ගොඩගම චූලාලංකාර නාහිමි, ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි, ශාස්ත්‍රපති අකුරටියේ නන්ද නාහිමි, ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, සියඹලාගොඩ පඤ්ඤාතිස්ස නාහිමි, දික්වැල්ලේ තිස්ස නාහිමි, ශාස්ත්‍රපති මැටරඹ හේමරතන නාහිමි, ශාස්ත්‍රපති දේවාලේගම ධම්මසේන නාහිමි, කපුගම සරණතිස්ස නාහිමි, ආචාර්ය නායිම්බල ධම්මදස්සී හිමි, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය කොටපිටියේ රාහුල හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, බෝදාගම චන්දිම නාහිමි, ආචාර්ය සාරද හිමි, ආචාර්ය කෑගල්ලේ රතනසාර හිමි, ඕමාරේ කස්සප හිමි, වැලිපිටියේ රතනසිරි හිමි, යන ස්වාමීන් වහන්සේලා වෙති.

සම්භාවනීය ගිහි ආරාධිතයන් අතර සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන , ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විශේෂ ව්‍යාපෘති කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද විජේසේකර කාර්මික නිපුණතා හා වෘත්තීය පුහුණ කටයුතු පිළිබඳ අමාත්‍ය පියසේන ගමගේ, ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර , දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරිනී කුමාරි බාලසූරිය, දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විජයදාස රාජපක්ෂ , සාගල රත්නායක , ජිනදාස කිතුලේගොඩ , පේ‍්‍රමසිරි මානගේ යන මහත්වරු සහ දකුණු පළාත් සභාවේ ඒ.ජී.සී. පියසිරි දකුණු පළාත් සභා අමාත්‍ය ඉන්දික ජමින්දු, දකුණු පළාත් සභා අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක , දකුණු පළාත් සභා විපක්ෂ නායක ජස්ටින් ගලප්පත්ති , දකුණු පළාත් සභා මන්තී‍්‍රවරුන් වන බුද්ධික පතිරණ, මනෝජ් සිරිසේන, හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක, හිටපු ප්‍රධාන අමාත්‍ය එච්.ජී. සිරිසේන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් විජේවර්ධන මහා භාරකාර ජානක පි‍්‍රයන්ත බණ්ඩාර , දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් , ඒ. සමරසිංහ , මාතර දිසා ලේකම් ගාමිණී ජයසේකර, මාතර අතිරේක දිසා ලේකම්, ඩබ්ලිව් කේ.කේ. අතුකෝරාල , වැලිගම ප්‍රාදේශීය ලේකම් එස්. ඩබ්ලිව්. සරත් , මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි රන්ජිත් පෙ‍්‍ර්මසිරි , ජනාධිපති නීතිඥ සිරි හෙට්ටිගේ, රුහුණු සරසවියේ උප කුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් , මහාචාර්ය ගාමිණී සේනානායක මහාචාර්ය රන්ජිත් සේනාරත්න , මහාචාර්ය පී.එල්. ආරියනන්ද , ආචාර්ය ජයන්ත, මහාචාර්ය එස්.ඩබ්ලිව්. අමරසිංහ, මහාචාර්ය එච්. එස්. සී. පෙරේරා මහාචාර්ය රුචිරා කුමාරතුංග මහාචාර්ය තක්ෂලා සේරසිංහ , ආචාර්ය ඒ .එච්. එන්. අලගියවන්න මහාචාර්ය ඩී. අතපත්තු , තිස්ස ජිනසේන, සෝමලතා කුලසේන හෂාණි පතිරණ යන මහත්ම මහත්මීහු සහභාගි වෙති.

****************************************************

ආගමික ශාස්තී‍්‍රය අංශ දෙකෙන්ම සුවිශේෂ කුසලතා පෙන් වූ හිමිනමක්

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම අග්‍රබෝධි රජමහ විහාරාධිපති මහාචාර්ය මිදිගම ශ්‍රී සෝරත නායක ස්ථවිරයන්ගේ නායක පදවිප්‍රාප්තිය වෙනුවෙන් පණවිඩයක් ලබා දීමට හැකිවීම අපේ බලවත් අමන්දානන්දයට හේතු වේ.

සම්භාවනීය ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාගේ මඟ පෙන්වීම තුළින් ස්වකීය අභිවෘද්ධිය ඇති කරගත් මහාචාර්ය මිදිගම ශ්‍රී සෝරත නායක ස්ථවිරයන්ගේ ජාතික හා ආගමික සමාජයීය සේවය අනූපමේය වේ. තම ආධිපත්‍යයෙහි පවත්නා විහාරස්ථාන වල කුදු මහත් සංවර්ධන කටයුතුද, දායක කාරකාදීන්ගේ සියලු ආගමික කටයුතු ද මැනවින් ඉටු කරන අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධූරයක් දරමින් තම සුවිශේෂී ශාස්තී‍්‍රය හැකියාව ප්‍රකට කිරීමෙහිලා සමත්ව සිටී.

දෙස් විදෙස් උගත් ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමෙහි ලා අග්‍රබෝධි පිරිවෙන මෙහෙයවනු ලබන අතර, ජාතික හා ජාත්‍යාන්තරව රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ සංවිධාන තුළින් සහය ලබා ගනිමින් ප්‍රදේශයේ දුප්පත් ජනතාවටත්, දරු, දැරියන්ටත්, විශේෂයෙන් සුනාමි ව්‍යවසනයෙන් අවතැන් වූවන්ටත් නිවාස ඉදිකර දෙමින් ශිෂ්‍යත්ව ලබා දෙමින්, පුස්තකාල පෙරපාසල් ඉදිකරමින්, ස්වයං රැකියා ව්‍යාපෘති ඇති කරමින් සිදු කරනු ලබන සමාජයීය සේවය අප බෙහෙවින් අගය කරමු.

විචිත්‍ර ධර්ම දේශකයකු ලෙසද දුලභ සමාජ සේවා නියුක්තිකයකු ලෙස ද ගත් කතුවරයකු ලෙසද, සිදු කළ සේවය පිළිබඳ ප‍්‍රමුදිත වූ අපේ මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාව විසින් දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ප්‍රදානය කිරීමට යෙදුණු අතර, අනාගතයේදීත් මෙම සමාජ සද්කාර්යයන් නොපිරිහෙලා ඉටු කරනු වස් මහාචාර්ය මිදිගම ශ්‍රී සෝරතාභිධාන දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක ස්ථවිරයන් හට ශ්‍රීමත් දළදා වහන්සේගේ රැකවරණය ලැබේවායි ආශිංසනය කරම්හ.

දීප්තිමත් මහ සඟරුවනේ ආලෝකය තවත් වැඩි කළා

දකුණු සිරිලක ඓතිහාසික පුණ්‍යභූමි අතර ප‍්‍රමුඛස්ථානයෙහිලා සැලකෙන වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය ජාතික, ආගමික අධ්‍යාපනික වශයෙන් චිරප්‍රසිද්ධියට පත් වූ පුදබිමකි. අගලකඩ සඟ පරපුරෙහි මූලස්ථානය වූ මෙහි වැඩ විසූ බද්දේගම ධම්මරතන, පාතේගම නන්දාරාම, වත්තල සීලරතන වැනි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෝ සුපතල මහා යතිවරයාණන් වහන්සේලාය. එම සඟ පරපුරෙහි දීප්තිමත් මහසඟරුවනට, වත්මන් විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත නායක ස්ථවිරයන් වහන්සේ තවත් ආලෝකයකි.

මහාචාර්ය මිදිගම සෝරත නායක ස්ථවිරයන් වහන්සේ පාසල් ගුරුවරයකු, අධ්‍යාපනපීඨ කථිකාචාර්යවරයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, නියෝජ්‍ය උපකුලපතිවරයකු වශයෙන් සිදු කළ හා සිදු කරන අර්ථදායී අධ්‍යාපන සේවය ඇතුළු ජාතික, ආගමික හා සමාජයීය සේවාව සුවිශාලය.

එසේ හෙයින් උන්වහන්සේ වෙත පිරි නැමෙන දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය යථා යෝග්‍ය වූවකි. එහිලා අපගේ පැසසුම් ශ්‍යමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සංඝ සභාව වෙත හිමිවිය යුතුමය.

ඒ පිළිබඳ අපගේ ප්‍රසාදය හා සුභාශිංසන පිරිනැමෙන අතර තව දුරටත් දැයට මහඟු සේවාවක් සිදු කිරීමට අවැසි ශක්තිය හා ධෛර්ය අභිනව සංඝනායක මහා ස්ථවිරයන් වහන්සේ හට හිමි වේවායි මෙහිලා ප්‍රාර්ථනය කරමු.

****************************************************

සඟ පරපුරෙහි වටිනා මිණි කැටයකි

වැලිගම, ඓතිහාසික අග්‍රබෝධි රජමහ විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය මිදිගම සෝරත නායක ස්ථවිරයන් වහන්සේට සුභාශිංසන පිරිනැමීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙමි.

සුපටිපන්න උජුපටිපන්නාදි ගුණ සමුදායෙන් සමලංකෘත වූ මහා සඟ පරපුර නිසාම මේ රටේ භාෂා සාහිත්‍යය සිරිත් විරිත් හා සමාජයත් පෝෂණය විය. එම සඟ පරපුරෙහි වටිනා මිණි කැටයකි මහාචාර්ය මිදිගම සෝරත නායක ස්ථවිරයන් වහන්සේ.

අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇති අග්‍රබෝධි රාජමහා විහාරය දෙස් විදෙස්හි සුපතල මහා යතිවරයාණන් වහන්සේලා හා ශ්‍රේෂ්ඨ පඬිරුවන් බිහි කරන්නට සමත් වූ විශිෂ්ට වූ ධර්මශාස්ත්‍රායතනයෙකි. එහි ආදී සංඝ පීතෘන්වහන්සේලා ධර්ම ශාස්ත්‍රාලෝකය සඳහා අධිෂ්ඨාන පූර්වකව කටයුතු කර ඇත. එලෙසම වර්තමාන විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත නායක ස්ථවිරයන් වහන්සේ ද සිය ආචාර්ය නේතෘන්වහන්සේලාගේ මග යමින් අධිෂ්ඨානශීලීව හා පුරෝගාමීව කටයුතු කරන කෘතහස්ත ස්ථවිරයන් වහන්සේ නමක් බව ශාසනමාමකව සඳහන් කළ හැකි ය.

උන්වහන්සේට ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝ සභාව මඟින් පිරිනමන ලද දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය උන්වහන්සේගේ ප්‍රවෘජ්‍යාජීවිතය ආලෝකවත් වීමටත් ආදර්ශ සම්පන්න සංඝයතිවරයාණන් කෙනෙකු වීමටත් හේතුවනු ඇත.

ශාසනාම්බරය ආලෝකවත් කරන මේ ගුණවත් යතිවරයාට මාගේ හෘදයාංගම ආශිර්වාදය පිරිනමන්නේ දීර්ඝ කාලයක් ලෝ සසුන් වැඩ වඩන ලෙස කරුණා මෛතී‍්‍රයෙන් යුක්තව ප්‍රාර්ථනා කරමිනි.

****************************************************

සසුනේ චිරජීවනයට කැප වී කටයුතු කරන සංඝ පීතෘන් වහන්සේ නමක්

වැලිගම අග්‍රබෝධි රජමහා විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත මාහිමිපාණන් වහන්සේගේ ජාතික ආගමික සේවය අගයමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සානුනායක කාරක සංඝසභාව විසින් දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව මම බෙහෙවින් සතුටු වෙමි.

අතිපූජ්‍ය මහාචාර්ය මිදිගම සෝරත මාහිමිපාණන් වහන්සේ වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරස්ථානයේ දී පැවිදි බිමට පැමිණ එම විහාරස්ථානයේම වර්තමාන විහාරාධිපතිව වැඩ වසමින් ප්‍රදේශයේ පමණක් නොව මුළු මහත් බුද්ධ ශාසනයේම චිර ජීවනය උදෙසා මහත් කැපවීමකින් කටයුතු කරන සංඝපීතෘන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකටය . එමෙන්ම පාසල් ගුරුවරයෙකු, අධ්‍යාපන පීඨ හා ගුරු විද්‍යාල කථිකාචාර්යවරයෙකු වශයෙන් සිසු දරු දැරියන්ගේ හා ගුරු පරපුරේ නැණැස පාදන්නට වෙහෙස මහන්සිව කටයුතු කර ඇත.

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට උන්වහන්සේ ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය වලින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා රැසක් පවත්වා ඇත. සජීවී පෝදා වැඩසටහන් රාශියකටම සම්බන්ධ වී සිටි උන්වහන්සේ සමස්ත බෞද්ධ ජනයාගේම ගෞරවාදරයට පාත්‍රවී ඇත. එසේම විදේශ ධර්ම ප්‍රචාර කටයුතු වලදී ශාස්තී‍්‍රය හා ආගමික කටයුතු සඳහා ජපානය, මැලේසියාව, එංගලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව, තායිලන්තය වැනි රටවලට වැඩම කර එම රටවල්වල බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම බෙහෙවින් සතුටට කරුණකි. වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය, සුල්තානාගොඩ රාමගිරි පුරාණ විහාරය, පට්ටිවිල ශ්‍රී ශෛලාරාම විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති ධූරයන් හොබවමින් විහාරස්ථ දියුණුව මෙන්ම බෞද්ධ ශාසනයේ දියුණුව උදෙසා කැපවීමකින් කටයුතු කරන සෝරත හිමිපාණන් වහන්සේට දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි! ප්‍රාර්ථනා කරන අතර, උන්වහන්සේට ජාතික, ආගමික, සමාජීය මෙහෙවර ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ! ප්‍රාර්ථනා කරමි.

****************************************************

ආදර්ශවත් මෙහෙවරක්

දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන වැලිගම අග්‍රබෝධි රජ මහ විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත මාහිමිපාණන් වෙත නමස්කාර පූර්වකව මාගේ සුභාශිංසනය පුද කර සිටිමි. දශක හතරකට නොඅඩු කාල පරාසයක් පුරා විහිදෙන උන්වහන්සේගේ පැවිදි දිවිය තුළ ඉටුකළ අසම සම ශාසනික හා සාමාජීය කාර්යභාර්ය වත්මන් සඟ පරපුර වෙත ලැබ දෙන්නේ මහඟු ආදර්ශයකි.

නූතන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ වත්මන් සමාජයට උසස් ධර්ම විඥානයක් ලබාදීම අරභයා මහාචාර්ය මිදිගම සෝරත මාහිමිපාණන් විසින් ඉටුකොට ඇති ප්‍රශස්ත කාර්ය භාර්යය සුවිශේෂ ඇගයීමකට ලක් වී ඇත.

උන්වහන්සේ විදෙස් රටවල ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ද තම මාහැඟි දායකත්වය ලබා දී ඇත.

තම ජන්ම ප්‍රදේශයේ නගා සිටුවිය යුතු ජන කොටස් තෝරා බේරා ගනිමින් ඔවුන් වෙනුවෙන් විවිධ සමාජ සත්කාර සේවාවන් සංවිධානය කර දීමට නොමසුරු වූ මහාචාර්ය මිදිගම සෝරත මාහිමිපාණන් වහන්සේ සුනාමි ඛේදවාචකය හමුවේ ඉටුකළ අතිමහත් වූ කාර්ය භාර්ය ප්‍රදේශවාසීන් විසින් කෘතවේදීව සදා සිහිපත් කරනු ඇත.

දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලබන වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරාධිපති, මහාචාර්ය මිදිගම සෝරත මාහිමිපාණන් වහන්සේට ලෝ සසුන් වැඩ සඳහා නිදුක් නිරෝගී සම්පත් සපිරිව දීර්ඝායු අත්වේවායි මම ප්‍රාර්ථනා කරමි.

****************************************************

සසුන් කෙත බබළවන මහාචාර්ය සෝරත නා හිමි

මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන් විසින් පුරා වසර 40 ක් තුළ සිදුකරනු ලබන ආගමික, අධ්‍යාපනික හා සාමාජයීය සේවයට උපහාරයක් පිණිස සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් උන්වහන්සේට දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුර පිළිබඳ සන්නස් පත්‍රය ඔක්තෝම්බර් 13 වන දින සවස 3.00 ට මල්වතු මහා විහාරයේ දී පිළිගැන්වීම සිදුකෙරේ.

ඔක්තෝම්බර් 14 දින සවස 3.00 ට වැලිගම අග්‍රබෝධි රාජයාණන් වහන්සේගේ රන්වැට නිරාවරණය කිරීමේ සහ විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත අභිනව සංඝනායක හිමියන් පිළිගැනීමේ මහෝත්සවය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

මිදිගම කීර්තිමත් පරපුරක ඉපිද 1967 දී පැවිදි ව, 1976 දී උපසම්පදාව ලබා 40 වසරක් පමණ පැවිදි ජීවිතයක් ගෙවා ඇති මහාචාර්ය සෝරත නා හිමියන් වැලිගම අග්‍රබෝධි පිරිවෙනින්, කිතුළවෙල ජයමහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා කැලණිය, පාලි හා බෞද්ධ, කොළඹ රුහුණු යන විශ්ව විද්‍යාලයන්ගෙන් මූලික උපාධිය සහ පශ්චාත් උපාධි ලැබූ උන්වහන්සේ ධර්මඥානයෙන් ඉතා උසස් තැනකට පත්ව සිටිති.

උපගුරු සේවය, විදුහල්පති සේවය, පිරිවෙන්, ගුරු විද්‍යාල, අධ්‍යාපන පීඨ හා විශ්වවිද්‍යාල සේවයෙන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, අධ්‍යයන අංශ ප්‍රධාන, ශිෂ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක, උප කුලපති, වැඩ බලන උප කුලපති ලෙසත් කටයුතු කර ඇති මහාචාර්ය සෝරත නාහිමියන් දැනුම මෙන්ම අත්දැකීම් අතින් ද පරිපූර්ණ ආදර්ශවත් සංඝ පීතෘවරයෙකි.

අතිශයින් සිත්ගන්නා සුළු වාග් විලාශයක් හා ආදර්ශමත් භාවයත් නිසාම අධ්‍යයන හා පරිපාලන කාර්යයන්හිදී කිසිඳු අභියෝගයකට මුහුණ නොදී අධ්‍යයන, අනධ්‍යයන, ශිෂ්‍ය සහ සියලු අංශවල ගෞරවාදරයට පත්වීමට හැකිවීම අතිශය වැදගත් කරුණකි. භාග්‍යයකි.

වැලිගම ප්‍රදේශයේ 700 ක් පමණ පිරිසකට මරු කැඳවමින් දහස් ගණන් අනාථ භාවයට පත්කළ සුනාමි විපතේ දී වැලිගම රජමහා විහාරාධිපති වශයෙන් මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන් ඉටුකළ සේවය අපිරිමිතය.

අනාථ පිරිසට පමණක් නොව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිවහන වූයේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාරයයි.

අනාථ පිරිස් වෙනුවෙන් රජයේ හා ස්වේච්ඡා සංවිධාන වල කාර්යභාරයට පුර්ණ සහාය ලබාදීමෙන් නොනැවතී අසරණ වූ ජනතාවට ඉඩම් හා නිවාස ලබාදීමට ක්‍රියාකළේ තම බෝධිසත්ව ගුණය නිසා ය. අග්‍රබෝධි පිරිවන, ශ්‍රී ධර්මරාජ දහම් පාසල හා ළදරු පාසල මඟින් අනාගත පරපුරේ හැදියාව සහ ධර්මඥානය වැඩි කිරීමට උන්වහන්සේ දරන අපරිමිත උත්සාහය මුළු මහත් භික්‍ෂු සමාජයටම ආදර්ශයකි.

සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය, පට්ටියවල ශ්‍රී ශෛලාරාමය වැනි විහාරස්ථාන රාශියකට නායකත්වය සපයමින්ද ඉමහත් කාර්යභාරයක් ඉටුකරන මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන්ට දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය පිරිනැමීමට සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ අගය කළ යුතු නිවැරදි තීරණයට අපගේ ගෞරවය පිරිනැමිය යුතු ය.

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]