UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උතුම් මංගල චරිත ලක්ෂණ පෙන් වූ රහල් හිමියෝ

පුද්ගලයෙකුගේ මෙලොව පරලොව දියුණුව සඳහා හේතුවන ධර්ම කොට්ඨාශ අතරින් එකකි, මංගල කරුණු. බුදුපියාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙද්දී එක්තරා දෙවියකු අරබයා දේශනා කළ මහා මංගල සූත‍්‍රයෙහි අඩංගු අටතිසක් උතුම් කරුණු යම් අයකු විසින් තම ජීවිතයට එක්කර ගන්නේ නම්, ඒ තැනැත්තා මෙලොව වශයෙන් තම ජීවිතය සැපවත්කර ගත් කෙනෙකි.

යමෙකුගේ මෙලොව ජීවිතය ඒ මංගල ලක්ෂණයන්ගෙන් යුක්ත වූයේ ද හෙතෙම පරලොව දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සලසා ගත් කෙනෙක් ම වන්නේය.

ඒ උදාර මංගල ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ පුද්ගල චරිතයක් සොයමින් පොතපත කියවන්නට වූ මා නෙත ගැටුණු උදාර චරිතයකි රාහුල තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ මුළු ජිවන චරිතයම උතුම් මංගල ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වී ඇත.

රාහුල තෙරුන් වහන්සේ පෙර කරන ලද පින් ඇති උත්තමයෙකි. (කතපුඤ්ඤතා) මිනිසුන් අතර ඉපිද, මිනිසකු වශයෙන්, මිනිසුන් අතර, ශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්ථ ගෞතමයන් වැනි අති උත්තම පියතුමකු ලද්දේත්, යසෝදරා වැනි මහා නුවණැති මාතාවක ලද්දේත්, දාරක සෙනෙහෙන් පිරුණු සුද්ධෝදන වන් පින්බර මුත්තණුවෙක්, බුදු පුතකු බිහි කළ මහාමායාවන්් වැනි පින්බර මිත්තණියක ලද්දේත්, සැරියුත් වන් මහා ප‍්‍රඥාවත් ආචාර්යෝත්තමයකු ලද්දේ්ත් පෙර පින් බලයෙනි.

ගිහි කළ ඥාති සෙනෙහස පිරි සමාජ පරිසරයකත්, පැවිද්දෙන් පසු සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී ආර්ය ගුණ යුත් සමාජ පරිසරයකත් (පතිරූප දේස වාසොච) වැඩුණු රාහුල හිමියන්ගේ ජීවිතය පාපයෙහි නොඇලිණි. යම් හෙයකින් පාප ක‍්‍රියාවකට යොමු විණි නම් එයින් වැළකීමට ද (ආරති විරති පාපා) නිතර ම අනුබල ලැබිණි.

වරක් කුඩා රාහුල හිමියන් වැඩ සිටි අම්බලට්ඨිකා විහාරයට වැඩම කළ බුදු පියාණන් වහන්සේ, පා සේදූ දිය බඳුන උපමා කර ගනිමින් දැන දැන බොරු කීමේ විපාක පැහැදිලි කර දුන්හ. විහිළුවට හෝ බොරු නොකීමට උන්වහන්සේ එදා පටන් අධිෂ්ඨාන කර ගත්හ. එදා ඒ අවවාදය පිළිගත් උන්වහන්සේගේ කීකරු බව (සොවචස්සතා) ජීවිතයට ආදර්ශයක් විය. දිනපතා උදෑසන වැලි දෝතක් අතට ගෙන, තමාට මේ වැලි කැට ප‍්‍රමාණයට ගුරුවර වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා ලැබේවායි ප‍්‍රාර්ථනා කළ රාහුල හිමියන්ට, පසු කලෙක ශික්ෂාකාමී (සුසික්ඛිතො) භික්ෂූන් අතරින් අග‍්‍රස්ථානය ද හිමි විය.

උන්වහන්සේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. සත් හැවිරිදි වියේ දී මවගේ මුවින් ගැයුණු නරසීහ ගාථා ඇසීමේ වාසනාව හිමි විය. කිඹුල්වතට වැඩම කළ බුදු පියාණන් වහන්සේ විසින් නෑයන් උදෙසා දෙසූ වෙස්සන්තර, මුත්තණුවන්ට දෙසූ මහා ධර්මපාල, මව්තුමියගේ ගුණ වනමින් දෙසූ චන්ද කිණ්ණර වැනි ජාතක කතා ඇසීමේ භාග්‍යය උදා විය. මේ බහුශ‍්‍රැත බව ද (බාහුසච්චං ච) රාහුල තෙරුන් වහන්සේගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා මග පෙන් වූ ගුරුවරුන් බඳු වන්නට ඇත.

තමන්ට බුද්ධාදී උත්තමයන්ගේ ඇසුර ලැබීම ද (පණ්ඩිතානං ච සෙවනා) උන්වහන්සේ මහා භාග්‍යයක් කොට සැලකූ®හ. සත් හැවිරිදි වියේ දී පැවිදි බිමට පත් උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ මෙන්ම තමා ද සිවුරු පොරවා ගෙන සිටින අන්දම දකිමින් අතිශයින් සතුටු වූහ. බුදු පාමොක් මහ සඟන මෙන් යහපත්, අර්ථවත් වදන් ම පැවසූහ. (සුභාසිතා ච යා වාචා) උන්වහන්සේලා ඇසුරින් හොඳින් බණ දහම් උගත්හ. විචිත‍්‍ර ලෙස දහම් දෙසන කුමාර කාශ්‍යාපාදී තෙරවරුන් මෙන් බණ දහම් දෙසන ශිල්ප ක‍්‍රමයන් ද (සිප්පං ච) ප‍්‍රගුණ කළහ.

උන්වහන්සේ නිවැරැදි කි‍්‍රයාවන්හි ද යෙදුණු උත්තමයෙකි. (අනවජ්ජානි කම්මානි) ඒ සඳහා උන්වහන්සේට අවවාද අනුශාසනා ලැබුණේ, බුදුපියාණන් වහන්සේගෙනි. දිනක් කැඩපතක් උපමා කර ගත් බුදුරදුන් එයින් ඇති ප‍්‍රයෝජන කුමක්දැයි කුඩා රාහුල හිමියන්ගෙන් විමසා, නැවත නැවත බලා අඩුපාඩු සකස් කර ගැනීම යයි කී කල්හි, ඒ අයුරින් ජීවිතයේ වැරදි අඩුපාඩුකම් නැවත නැවත සොයා බලමින්, ති‍්‍රවිධ ද්වාරයෙන් කෙරෙන වැරදි අඩුපාඩුකම් දැක ඒවා සකස් කොට ගෙන, තමාටත් අනුන්ටත් ඒ හැම දෙනාටත් යහපතක් වන අර්ථවත් කි‍්‍රයාවන්හි යෙදීමට උපදෙස් දුන්හ. ඒ අනුව ජීවිතය අර්ථවත්ව ගෙවීමට උන්වහන්සේ උනන්දු වූහ.

මෙසේ වරින් වර ලැබුණු අවවාද අනුශාසනා නිසා සිත මනාසේ පිහිටුවා ගැනීමට ද (අත්ත සම්මා පණීධී ච) හැකි වූ රාහුල හිමියන් තුළ තුබූ ඉවසීම ද (ඛන්තී ච) උතුම් ය. වැඩිමහල්ලන්ට කරන ගෞරවය ද (ගාරවෝ ච) යටහත් පහත් බව ද (නිවාතෝච) අත්‍යුදාරය.

රාහුල තෙරුන් වහන්සේට නිතර නිතර ශ‍්‍රමණ දර්ශනය ද (සමණානංච දස්සනං) ලැබිණි. බුදුපියාණන් වහන්සේ සුදුසු අවස්ථාවන්හි දී උන්වහන්සේ වෙත වැඩම කොට වදාළ දහම් කරුණු ඇසීම ද (කාලේන ධම්ම සවනං) උන්වහන්සේ දෙලොව දියුණුවට බෙහෙවින් උපකාරී විය. එසේ ම රාහුල හිමියෝ ද ඉඩ ලද හැම විටෙක ම සැරියුත් මුගලන් ආදී මහ රහතන් වහන්සේලා වෙත වැඩම කර උන්වහන්සේලා හා ධර්ම සාකච්ඡා කර (කාලෙන ධම්ම සාකච්ඡා) අප‍්‍රමාදීව කුසල් දහම් රැස්කර ගත්හ. (අප්පමාදෙ ච ධම්මෙසු)

රාහුල හිමියන් මව් පිය උපස්ථානයේ ද යෙදුණු බව ති‍්‍රපටකයෙන් සොයා ගත හැකි ය. රාහුල මාතා නම් ලද භද්ද කචචානා තෙරණීන් වහන්සේ රෝගාබාධයකින් පෙළුණු අවස්ථාවක තම ආචාර්යෝත්තම සැරියුත් තෙරුන් වහන්සේ සමග එක්ව ඖෂධ සොයා බෙහෙත් සපයා දී එතුමිය සුවපත් කළහ. මව්පිය උපස්ථානය කළ ගුණ දන්නා (කතඤ්ඤුතා) දරුවන් විසින් කෙරෙන උදාර සමාජ මෙහෙවරකි.

රාහුල හිමියෝ කිසිදාක අසත්පුරුෂ ආශ‍්‍රයකට (අසෙවනා ච බාලනං) පත් නොවූහ. ලද දෙයින් සතුටුවීම ද (සන්තුට්ඨි) රාහුල චරිතයේ දක්නට ලැබෙන උතුම් මංගල ලක්ෂණයකි. බොහෝ අවස්ථාවල දී වැඩිමහල් තෙරවරුන්ගේ ආවාසයක රාති‍්‍රය ගත කරන රහල් හිමියන්ට බුද්ධ ගෞරවයෙන් මෙන්ම රාහුලයන් කෙරෙහි ආදරයෙන් සැතපෙන්නට පහසුකම් සලසා දෙති.

මෙසේ ලාභ අලාභදුක සැප ආදී අටලෝ දහමින් සිත කම්පා කර නොගත් (ඵුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති) උතුම් හැසිරීමෙන් යුක්ත වූ (බ‍්‍රහ්මචරියං) ආර්ය සත්‍යයන් මැනවින් දැක (අරියසච්චාන දස්සනං) නි්ර්වාණවබෝධය කළා වූ කෙළෙස් දූවිල්ලෙන් තොර වූ, (විරජං) රාහුල හිමියෝ සෝක නැත්තේ (අසෝකං) බියෙන් ද තොර වුහ. (ඛෙමං)

මෙවන් උදාර මංගල ලක්ෂණයන්ගෙන් පිරිපුන් වූ හෙයින් ම ‘රාහුල භද්‍ර’ (උතුම් රාහුල) යන නමින් සඟ සසුනේ ප‍්‍රශංසාව හිමිකර ගත් රාහුල තෙරුන් වහන්සේ ආයු කෙළවර පැමිණියේ, බුදු පිය උතුමාණන්ගෙන් අවසර ගෙන තව්තිසා දෙව් ලොවට වැඩම කොට එහි දී පිරිනිවන් පා වදාළහ.

බිනර පුර අටවක

බිනර පුර අටවක පෝය
සැප්තැම්බර් 19 වන දා බදාදා පුර්වභාග 09.29 ට ලබයි. 20 වන දා බ‍්‍රහස්පතින්දා  පූර්වභාග 10.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර්
26 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

New Moonඅමාවක

ඔක්තෝම්බර් 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]