[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බිතුසිතුවමින් අලංකෘත දෙගල්දොරුව රාජමහා විහාරය

දෙගල්දොරුව රාජමහා විහාරය මහනුවර, දුම්බර අමුණුගම ප්‍රදේශයේ පිහිටි සකස් කළ ගල් ලෙනක නිර්මාණය කළ උඩරට සම්ප්‍රදායේ විශිෂ්ට බිතු සිතුවම් නැරඹීමට හැකි කලාගාරයක් ලෙස සැලකේ. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා දෙගල්දොරුව රාජමහා විහාරයට ළඟාවීමට හැකි ය.

මහනුවර, ගල්මඩුව විහාරය ඉදිකරමින් සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ඊට නුදුරින් පිහිටි විහාරයකට උචිත ලෙනක් ගැන දැනගන්න ලැබුණු බවත්, පසුව රජු ගල්මඩුව කරවීම පසෙක තබා මෙම ලෙනේ විහාරයක් කරවීමට නියෝග කළ බවත්, ඒ විහාරය දෙගල්දොරුව බවත් කියැවේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු මේ විහාරය කරවීම ආරම්භ කළ ද, එය නිම කිරීමට පෙර ඔහු මරණයට පත්ව ඇත. අනතුරුව රජ වූ ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජු මෙම විහාරය නිම කර මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ට පූජා කළ බව දෙගල්දොරුව තඹ සන්නසේ සඳහන් වේ.

විහාරය ඉදිරිපස හේවිසි මණ්ඩපය පසුකාලීනව මීගස්තැන්නේ අදිකාරම විසින් ඉදිකරවන ලද්දකි.

විහාරයෙහි ඇතුළු දොරෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල ලෙන් විහාරය නැරඹූ බවත් ජනප්‍රවාදවල දැක්වේ. මෙහි ගර්භ ගෘහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඩපහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි. මෙය ද පිහිටි ගලින් ම නෙළා ඇති අතර, නුවර යුගයේ දර්ශනීය ම සඳකඩපහනකි. අන්තරාලයේ විශාල ගල් කුලුනු 12ක් මතින් පියස්ස දරා සිටින අතර, මේවා ද බිතුසිතුවමින් අලංකාර කර ඇත. විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි.

දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහ අට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින් ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරය වෙස්සන්තර, මහා සුතසෝම, සත්තුභත්ත. මහා සීලව, ක්ෂාන්තිවාදී, අයෝඝර ආදී ජාතක කතා, අලිඇතුන් දන්දීම, දැසි දසුන් ගෙනෙන්ට යන වග, වැදි මුදලියා විදින්නට තැනූ වග, දෙවියෝ මවුපිය වෙස්ගෙන වනාන්තරයෙහි දී උපකාර කරන වග, මාර පරාජය, පොළොව මහි කාන්තාව, දිව්‍ය ලෝක, ශ්‍රී මහා බෝධිය, සූවිසි විවරණ ආදී සිතුවම්වලින් හා මෝස්තර සිතුවම්වලින් අලංකාර වී ඇත. මෙම චිත්‍ර ඇඳ ඇත්තේ එවකට ඉතා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු හා වඩු කාර්මිකයකු වූ දේවේන්ද්‍ර මූලචාරි, හිත්තර (හිරියාල) නයිදේ, නිලගම පටබැඳි සහ දෙවෙරගම්පොල සිල්වත් තැන නම් වූ ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

මේ සිතුවම් ඇඳ ඇත්තේ විහාරගෙය හා මණ්ඩපය වෙන් කෙරෙන බිත්තියේ දෙපස හා විහාර ගෙයි ඇති ස්වභාවික ගල් පියස්සේ ය. බිත්තිය කොටස් කිහිපයකට බෙදා එය නැවත සමාන තීරු පහකට බෙදා මෙම ජාතක කතා සිතුවම් කොට ඇත. මිනිසුන්, ගස්වැල්, සතුන්, ගොඩනැඟිලි ආදිය එකිනෙකට සාපේක්ෂ ව අනුපාතය වෙනස් නො කොට එකම ප්‍රමාණයට සියල්ල ඇඳ තිබීම මෙම සිතුවම්වල විශේෂත්වයකි. ඒ වගේම මිනිස් රූප කිසිවක් නරඹන්නාට පිටුපා සිටින ආකාරයට ද ඇඳ නැත. මෙම සිතුවම්වල රේඛා විසිතුරු අන්දමට සැරසිල්ලක් මෙන් යොදාගෙන තිබීම සිත් ගන්නා සුලු ය. කතාන්තරවල සිද්ධි නිරූපණය කිරීමේ දී අංග චලනය, මුහුණුවල හැඟීම් ප්‍රකාශ වන අයුරින් ඇඳ තිබීම ආදිය කලාකරුවාගේ ප්‍රකාශන ශක්තිය ප්‍රකට කරවයි. සිතුවම්වල අවකාශය ඊටම ගැළපෙන නිර්මාණාත්මක රටා මඟින් ආවරණය කොට තිබීම ඉතා මනරම් ය.

මෙම සිතුවම් 18 වැනි සියවසේ මෙරට ඓතිහාසික කරුණු ද හෙළි කරන අතර, ගෘහ නිර්මාණය හා අලංකරණය, රජුගේ හා සේවකයන්ගේ ඇඳුම් පැලඳුම්, ගෘහ භාණ්ඩ, සංගීත භාණ්ඩ, කොඩි ආදී සැරසිලි භාණ්ඩ පන්සල, සිප්හල, ගම්බද දර්ශන ආදිය දැක ගත හැකි ය. මෙහි ඇතැම් චිත්‍ර මේ වන විට විනාශයට යමින් තිබේ. එලෙස ම දෙගල්දොරුව රාජමහා විහාරයේ සිතුවම් සහ චිත්‍ර කලාව හදාරන්නන්ට කදිම තෝතැන්නකි.

 

 

අව අටවක

සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා. 02.20න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14න් ගෙවේ.
04 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]