සක්මන ආලෝකවත් කරන අවිරුද්ධ ප්‍රතිපදාව
ශාස්ත්‍රපති
උඩුඊරියගම ධම්මජීව හිමි
අවිරුද්ධ ප්‍රතිපදාව යටතේ දී සතිය කියන්නේ උසාවියකට ගිය කෙනෙක් ඒ වැඩ කටයුතුවලට
කිසිම බාධාවක් නොකර වෙන දේ දිහා ඔහේ බලා ඉන්නවා වගේ කියල චිත්‍රයක් මවා ගන්න
පුළුවන්. අපි ඒ වෙලාවට එන එන සාක්ෂිකරුවන්, විත්තිකරුවන්, පැමිණිලිකරුවන්, නීතිඥයන්
ගේ හැසිරීම ප්‍රතික්‍රියාවක් නැති ව ඒ අය ආපු බව දැනගෙන ඉවසීමෙන් බලා ඉඳීමින්
කටයුතු කරන හැටි තමා ඒ චිත්‍රයේ තියෙන්නේ.
මේ චිත්‍රය තව ටිකක් විස්තර කර ගෙන නැත්නම් පතුරලා. බැලීමක් සතිමත් ඇවිදීමක දී
කරන්න පුළුවන්.
අපි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය කැලෑ සත්වයින්ට උපමා කරල තියෙන බව
ඉගෙන ගත්තා. ඒ අනුව ඉඳගෙන සතිමත් වෙන අවස්ථාවල දී අපි හිත කියන වඳුරාට කියනවා කය
කියන හිවලා දිහා හොඳට බලා ගෙන ඉන්න කියල. මේ වෙලාවේ කය නිසොල්මනේ වාඩි කර තමයි
තියෙන්නේ. සෙලවීමකට තියෙන්නේ හුස්ම ගැනීම සහ හුස්ම ගැනීම නිසා සිදුවෙන සෙලවීම
පමණයි. මේ එකක්වත් චේතනා පූර්වක ව කරන ක්‍රියා නොවේ. ඉබේ සිදුවෙන වැඩ කටයුතුයි. ඒ
නිසා බාධාවක් විදිහට පිටතින් එන ශබ්ද, ඇඟ ඇතුළෙන් එන වේදනා සහ සිතුවිලි දක්වන්න
පුළුවන්. ඒවායෙනුත් ශබ්ද අඩු තැනක, ශබ්ද අඩු වෙලාවක පහසුවෙන් වාඩි වෙලා සතිය පුහුණු
කරන නිසා දැන් තියෙන්නේ බොහොම පොඩි කරදර ටිකක් විතරයි.
නමුත් ඇවිදින කොට ඇස කියන නයා, නහය කියන පක්ෂියා, කන කියන කිඹුලා සහ කය කියන හිවලා
වැඩ කරන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. ඊළඟට ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා.
ඇවිදින කොට රස නම් එච්චර එන්නේ නැති වෙයි. නමුත් ගඳ සුවඳ එන්න ඉඩ තිබෙනවා. පහස
කියලා වදින තැන වාඩි වෙලා ඉන්න විට වගේ එක තැනක් නො වෙයි. ඇවිදින විට වම් පය, දකුණු
පය, වශයෙන් පතුල බිම වදින නිසා කයේ දැනෙන දැනීම් ගොඩයි. මේ නිසා දැන් වඳුර වගේ වැඩ
කරන හිතට වැඩ ගොඩයි. පනින්න අතු ගොඩක් තියෙනවා. නමුත් සතිය පුරුදු කරන පිරිස නිසා
අපි හිතට පවරනවා පුළුවන් තරම් පතුල බිම වදින විට එන දැනීම ප්‍රධාන අරමුණ විදිහට
තියා ගන්න කියල. ඒ දෙස පූර්ණ අවධානය යොදන්න කියල. නමුත් ඇස, කන, නාසය කියන මේ සත්තු
ටික නිදැල්ලේ නිසා එන බාධක වැඩි වෙන්න පුළුවන්. සතිය පුහුණු කරන යෝගියාට හිතේ
අමනාපයක්, කනස්සල්ලක් ඇතිවිය හැකියි. අමනාප කිව්වට මනාප දේවලට තමා හිත ඇදී යන්නේ.
ඇවිදින වෙලාවට පය දෙස බලා සිටීම කම්මැළි, ප්‍රිය නැති දෙයක් නිසා දකින රූපය කෙරෙහි
හිත ඇදී යනවා. ඒ කියන්නේ හිතට මනාප එකක් නිසා ඒ වෙලාවේ හිත ඒකට ඇදී යනවා. නමුත්
සතිය පුරුදු කරන, සතිමත් වෙන්න උත්සාහ කරන කෙනාට මෙහෙම ඇදිලා ගියා කියල දැන ගැනීම
පවත්වා ගෙන ආ සතිය කැඩුණා කියන පසුතැවීම ඇති කිරීමට හේතු වෙනවා. ඒ නිසා ඒ ගැන හිතේ
අමනාපයක් ඇති විය හැකියි.
සක්මනේ සිහිය පවත්වමින් ඉන්න පුද්ගලයා එකවර සමනලයෙක් දකිනවා. නැත්නම් මලක් දකිනවා.
එහෙම නැත්නම් කුරුල්ලෙක් දකිනවා. දකින කොටම හිත එතෙන්ට ඇදී යන එක බොහෝ විට සිදු
වෙනවා. වඳුරා කියන හිත කිසිම වගවීමක් නැති ව දකින දේට පනිනවා. අපි හිතමු ශබ්දයක්
ඇහෙනවා කියල. එයත් ලොකුවට ආකර්ෂණීය ශබ්දයක් නොවුනත් හිත එතෙන්ට පනිනවා. යන්තම්
පියවර දෙක තුනක්වත් හිත දෙපයේ තියා ගෙන යන්න උත්සාහ කරමින් ඉන්න විට මේ ඇහෙන ශබ්දය
හෝ පෙනෙන රූපය හෝ ක්ෂණයෙන් හිත ඩැහැ ගන්න ආකර්ෂණයක් තමා ඇති කරන්නේ. ඒ නිසා හිත
ඉන්නේ හිතට මනාප තැන. නමුත් අමාරුවෙන් සතිය පුරුදු වෙන්න උත්සාහ කරන කෙනාට මේක
විශාල අමනාපයක් ඇති කරන කාරණාවක් වෙනවා.
මේ විදිහට සතිමත් වෙන්න උත්සාහ කරන යෝගාවචරයා ඉඳගෙන ඉන්න විට ඇස් වහගෙන ශබ්ද අඩු
තැනක කය ක්‍රියාත්මක කරන්නේ නැති ව ඉබේ වෙන හුස්ම දිහා බලා ගෙන ඉන්න නිසා අමනාප ඇති
කිරීමට එන බාධක අඩු නමුත් ඒ වෙනුවට ශබ්ද තිබෙන රූප පේන තැනක, ඇස් ඇරගෙනම, දකුණ
විදිහට හිත පවත්වමින් යන වෙලාවේ දී ඔහුට එන අමුත්තෝ නැත්නම් බාධක වැඩි වෙන්න
පුළුවන්. ඒ නිසා මේ වෙලාවට අවිරුද්ධ ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්න, කර ගෙන යන සක්මන
දිගට කර ගෙන යන්න අමාරු වෙයි කියා තමා ඕන කෙනකුට හිතෙන්නේ. ඇස් දෙක ඇර, කන ශබ්දවලට
විවෘත කරගෙන කයත් වම, දකුණ කියල ක්‍රියාවත් කරන ගමන් ඇවිදීම කෙරෙහි සිහිය පවත්වන්න
අමාරුයි කියල තාර්කික ඥානයෙන් බලන අයට හිතෙන එක සාධාරණයි. නමුත් මේ ක්‍රියාවේ
මෙතෙක් යෙදුණු පිරිසගේ අත්දැකීම් වාර්තා කියවන විට වැටහෙන්නේ එක තැනක ඉඳගෙන
පහසුවෙන් වාඩි වෙලා සතිමත් වෙනවාට වැඩිය මේ සෙල්ලක්කාර වැඩේට වැඩි පිරිසක් කැමති
බවයි. විශේෂයෙන් තරුණ සහ පොඩි ළමයි මේ ගැන දක්වන උනන්දුව වැඩියි. ඒ බාධා නො එන නිසා
හෝ හිත පිට නො යන නිසා හෝ නොවෙයි. මුල දී වම කියල වම් කකුල තබා අවසන් වෙන්නත් කලින්
හිත ගිහින් කැමති රූපයක් බල බලා ඉන්නවා. නැත්නම් පරණ දේ මතක් කරමින් ඉන්නවා.
නැත්නම් ඔය දෙක තුන ම කර ගෙන ශබ්දයකටත් ඇහුම්කන් දීලා තමයි ආයෙම කකුලට හිත එන්නේ.
නමුත් පුරුදු කරන කෙනා අවිරුද්ධ ප්‍රතිපදාව මේ පුහුණුවට එකතු කර ගත්තොත් ඔහුට
කියන්න පුළුවන් වෙයි. මම වම් කකුල තබා ඉවර වෙන්නත් කලින් දැක්කේ රූපයක්. ඒක කහ
පාටයි. ඒක හතරැස්. නැත්නම් ඒක රවුම් කියලා. හැබැයි මේවා බලල නැවතත් ආපහු ආවේ වම්
පයට ද, දකුණු පයට ද කියලත් කියන්න පුළුවන් වෙයි. තවත් ටිකක් විස්තර කළොත් තවත්
කෙනෙක් කියන්න පුළුවන් මම රූපයක් දැක්කේ නැහැ හැබැයි ශබ්දයක් ඇහුණා. මට ළඟට එන
ශබ්දයක් ඇහුණෙ නැත්නම් දුරට යන ශබ්දයක් ඇහුණේ. මට ගෑණු කටහඬක් නැත්නම් පිරිමි
කටහඬක් ඇහුණේ. නැත්නම් කුරුල්ලෙක් කෑ ගහන ශබ්දයක් වගේ විවිධ විස්තර වාර්තාවේ
තිබෙන්න පුළුවන්. ඒ වාර්තාවල හැටියට ඒ අය ශබ්ද වෙන් කර හඳුනාගෙන තිබෙනවා. රූපය
හඳුනාගෙන තිබෙනවා. හැබැයි ඒ ගැන අමනාපයක් හෝ විශේෂ කැමැත්තක් හෝ පෙන්වන්නේ නැහැ. මේ
වගේ එන බාධාවලට විරුද්ධ නොවී මේවා වෙන්න පුළුවන් කියලා හිතාගෙන අවිරුද්ධ ප්‍රතිපදාව
එකතු කර ගෙන සූදානම් වෙලා දැන ගෙන ගියොත් ලැබෙන ප්‍රධානතම ලාභය, කැපී පෙනෙන ලාභය
තමා හිත පිට ගිය සැණෙන් නැවතත් තමන් ඉන්න සක්මනට, වම, දකුණ වශයෙන් හෝ විලුඹට හිත
ගන්න පුළුවන් වෙන එක. ඒක සාමාන්‍යයෙන් වෙනවා. ඒක තමයි ස්වභාවය. සතිය පුරුදු කිරීමේ
දී මේ විදිහට අවිරුද්ධ ප්‍රතිපදාව පුරුදු කරන කෙනා මෙහෙම හිත රූපයකට ගිය නමුත් ඒකට
ගැටෙන්නේ නැතු ව හිටපු නිසා මට ඉක්මනට ආපහු පයට හිත ගන්න පුළුවන් වුණා කියලා කියන
එක නැත්නම් ඒක වාර්තාවට ඇතුළත් කරන එක මුල් කාලයේ දී වාර්තාවක තිබිය හැකි වටිනා ම
වැදගත් ම කාරණාවලින් එකක්.
එහෙම කළොත් කාරණා කිහිපයක් ඉෂ්ට වෙනවා. කරදරයක් එන්න පුළුවන් කියලා සූදානම් වෙලා
යනවා. ආපු කරදරේ හරියට ම නම කියලා කියනවා. මේක රූපයක්, මේක ශබ්දයක්. මේක ශරීරයේ වෙන
තැනක වේදනාවක් ආදී වශයෙන්. ඒකේ ගැටෙන්නෙත් නැති ව, ඇලෙන්නෙත් නැතිව ලස්සනට විස්තර
කරනවා. වහාම නැවත තමන් හිටපු අරමුණට වම් පයට, දකුණු පයට, විලුඹට, එන බව දැන ගන්නවා.
ආපු ගමන් එයාට තේරෙනවා ලොකු වැඩ කොටසක් හිත පිට ගිහින් කරලා තිබෙනවා කියලත්. නමුත්
නැවත තමන්ගේ අරමුණට පහසුවෙන් ඇවිල්ලත් තිබෙන බව දකිනවා. අන්න ඒ එන්න පහසු බව
අත්දකින එකත් අත්දැකලා මේක ලියන එකත් නැත්නම් කාට හරි කියන එකත් නිසා හිතේ කවදාවත්
විවෘත වෙච්ච නැති පැත්තකට හිත විවෘත වෙනවා. හිතේ සැඟවී තිබෙන කුසලතා රාශියක් මතු
වෙන්න පටන් ගන්නවා. සතියෙන් ඇවිදින විනාඩි පහ දහය තුළ පුදුමාකාර තොරතුරු තොගයක්
වැටහෙනවා.
මෙසේ සිදුවෙන විට හිත ගැටෙන්නේ නැති ව, ඇලෙන්නෙත් නැති ව සිටීම නිසා අලුතින් හිතට ආ
අරමුණ මුල් කර ගෙන තව තවත් සිතිවිලි ඇති කිරීමක් සිදු නොවීම හෝ අඩුම සිතිවිලි
ප්‍රමාණයක් සකස් වීම හිත නැවතත් මුලින් තබා ගත් අරමුණ වෙන පාදයට ඉක්මනින් එන්න
හේතුවක් වෙනවා. අපේ අමනාපයක් ඇති වුණොත් ඒ අමනාපය නිසා අලුතින් එකතු වුණ අරමුණට
අමතරව අමනාපය ඔස්සේ හිත දුවන්න සිතුවිලි හදන්න පෙළඹෙන නිසා නැවත මුල් අරමුණ වන
පාදයට එන්න ප්‍රමාද වෙනවා. අලුතින් දැක්ක රූපය හෝ ශබ්දය හෝ කෙරෙහි ඇලීමක් ඇති
වුණොත් ඒ ඇලීම නිසා තව තවත් සිතුවිලි, හැඟීම් ඉදිරිපත් වීම නිසා නැවත පාදයට එන ගමන
සඳහා කාලයක් ගතවෙනවා. නමුත් අවිරුද්ධ ප්‍රතිපදාවේ සිට ඒ එන රූපයට හෝ ශබ්දයට හිත ගිය
බව දැන ගෙන ඒ ගැන සතුටක් හෝ අසතුටක් හෝ ඇති කර නො ගැනීමෙන් ඒ රූපය හෝ ශබ්දය නිසා
ඇතිවිය හැකි සිතිවිලි නැතිවීම හෝ අඩු වීමනිසා හිත නැවත ඉක්මනින් පාදයට එනවා. සිදුවූ
දේ දිහා ඔහේ බලා සිට වෙච්ච හැටියට ලියනවා විතරයි. අවධිමත් ව සිට ලියන ඒ වාර්තාව
වාචික ව වේවා, ලිඛිත ව වේවා, සන්නිවේදනය පිළිබඳ පුදුම දක්ෂමක් ඇති කරනවා. මේ නිසා
ඕනෑම වෙලාවක ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති වෙනවා පමණක් නොවේ,
සතියත් වර්ධනය වෙනවා.
මේ පුහුණුව නිසා ප්‍රතික්‍රියා නො කරන බව, සූදානම් වී යමකට ප්‍රවිෂ්ට වෙන ගතිය,
අප්‍රමාද ප්‍රතිපදාව, වර්තමානයට එළඹ සිටිම ආදී කුසලතා ගොන්නක් ජීවිතයට එකතු කර
ගන්නවා. ඒ ලියමනෙන් හොඳට ප්‍රශ්නයකට උත්තර දීමේ හැකියාව, අහන දේට අදාළව කතා කිරීමේ
හැකියාව නිරායාසයෙන් වැඩෙන තවත් කුසලතාවක්. ඉඳගෙන ඉන්නවාටත් වැඩිය ඇවිදින අවස්ථාවේ
දී අවිරුද්ධ ප්‍රතිපදාවට සූදානමින් යන කෙනාට මේ දක්ෂතාව හොඳම වචනය නම් කුසලතාවය
නිකම්ම ඇති වෙනවා.
දැන ගත යුතු තවත් කරුණක් තමා මේ ආකාරයට කරන පුහුණුවේ දී හිත එහෙ මෙහෙ යන විට ඒ ආ
ගිය තැන් ගැන හොඳ දැනීමක් තිබිය යුතු බව. කුමක් හෝ දැක්කා ද? නැත්නම් ඇහුණාද?
එහෙමත් නැත්නම් දේවල් හිතමින් හිටියා ද? කියන පොත් තැබීම අවශ්‍ය වෙනවා. එහෙම වීමට
නම් හොඳ සතියක් පවත්වා ගන්න වෙන බව මේ ඇත්තන්ට අත්දැකීමෙන් වැටහේවි. ඒ ගැන
විශේෂයෙන් මහන්සි නොවුනාට අවිරුද්ධ ප්‍රතිපදාව පවත්වා ගන්න කෙනාට සතිය වර්ධනය වීමත්
නොඅඩුව සිදු වෙනවා.
|