බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික වූ තථාගත සෙය්‍යාව

බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික වූ තථාගත සෙය්‍යාව

අංගුත්තර නිකාය- චතුක්ක නිපාතයෙන්

බොහෝ දෙනාගේ නින්ද කායික වෙහෙස නිසා ඇතිවන විවේකයකි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සෙය්‍යාව වූයේ සිතෙහි කිසිදු කෙලෙසක්, චංචල භාවයක් හෝ අවිද්‍යාවක් නොමැති, පූර්ණ සමාධිමය තත්ත්වයකි.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සෑම ක්‍රියාවක් ම ධර්මයෙන් පිරිපුන් වූ අතර, උන් වහන්සේගේ ගමන්බිමන්, කථාබහ, ආහාර ගැනීම මෙන්ම විවේක ගැනීම පවා සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ක්‍රියාවන් මෙන් නොවීය.

ඒ අතර විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ‘තථාගත සෙය්‍යාව‘ යන්නයි. එනම් බුදු හිමියන් සැතපෙන ආකාරයයි. මෙය බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික වූ, උතුම් ආධ්‍යාත්මික තත්ත්වයක් ප්‍රකාශ කරන සෙය්‍යාවකි.

බුදුරජාණන් වහන්සේ දෛනික ව රාත්‍රී කාලයේ පශ්චිම යාමයේ (අලුයම) පැය 2කට ආසන්න කාලයක් සිංහ සෙය්‍යාවෙන් (දකුණු පැත්තට හැරී) සැතපෙන සේක. එය මෙසේ ධර්මයේ සඳහන් වී ඇත.

“දෙවැනි භාගයේ ගඳකිළියට පිවිස සිහි නුවණින් යුක්ත ව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන සේක.” ඇතැම් විට උන් වහන්සේ දිවා ආහාරයෙන් පසු ද නිසසල වෘක්ෂ මූලයක් යට මෙසේ සැතපී විවේක ගත් බව පෙළ දහමේ සඳහන් ව ඇත.

අංගුත්තර නිකායේ සෙය්‍යාචතුක්ක සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් නිදන ඉරියව් (සයනය කිරීමේ ක්‍රම) සතරක් පිළිබඳ දේශනා කර ඇත. සෙය්‍යාව යනු සැතපීම, නිදා ගැනීම, හෝ විවේක ගැනීම සඳහා ගන්නා ඉරියව්ව යන අර්ථය දරයි. බුදුදහමේ දී ‘සෙය්‍යාව‘ යනු ශරීරය තබා ගන්නා ඉරියව්වක් පමණක් නොව, සැතපෙන අවස්ථාවේ සිතේ ස්වභාවය සහ ආධ්‍යාත්මික මට්ටම ද නිරූපණය කරන සංකල්පයකි. එබැවින් සෙය්‍යාචතුක්ක සූත්‍රයේ සෙය්‍යා හතරක් දේශනා කරන්නේ ශාරීරික ඉරියව්ව පමණක් නොව, එයට අදාළ මානසික තත්ත්වය ද සැලකිල්ලට ගනිමිනි.

ඒවා නම් ප්‍රේත සෙය්‍යාව, කාමභෝගී සෙය්‍යාව, සිංහ සෙය්‍යාව සහ තථාගත සෙය්‍යාව ය.

මෙම සතර අතරින් උතුම් ම සෙය්‍යාව ලෙස දක්වන්නේ තථාගත සෙය්‍යාවයි.

සූත්‍රයේ සඳහන් පරිදි

1.ප්‍රේත සෙය්‍යාව යනු බොහෝ සෙයින් ප්‍රේතයන් මෙන් උඩුකුරු ව (මුහුණ අහසට හරවා) සයනය කිරීමයි.

2.කාමභෝගී සෙය්‍යාව යනු ගිහි කාම සුව විඳීන මිනිසුන් වම්පසින් (වම් පැත්තට) සයනය කිරීමයි.

3.සිංහ සෙය්‍යාව යනු මෘග රාජයා වූ සිංහයා දකුණු පසින් (දක්‍ෂිණ පාර්ශ්වයෙන්) සයනය කරමින්, එක පාදයක් මත තවත් පාදයක් තබා ප්‍රවේශමෙන් ශරීරය තැන්පත් කරයි. මෙය ශරීරයට සෞඛ්‍යයට ඉතා හිතකර, නිදිමතින් මුලා නොවන ඉරියව්වයි.

4.තථාගත සෙය්‍යාව යනු රන්වන් සිරුර ඇති අර්හත් තථාගතයන් වහන්සේ, දකුණු පසින් (සිංහ සෙය්‍යාව මෙන්) පාදයෙන් පාදය ඇතුළු ව, නැවත පිබිදීම (නැඟිටීම) පිළිබඳ සිහියෙන් හා ප්‍රඥාවෙන් යුතු ව (ප්‍රතිසන්ධි විඥානය හෝ නැඟිටින වේලාව සිහිපත් කරමින්) සයනය කිරීමයි.

තථාගත සෙය්‍යාවේ දී, තථාගතයන් වහන්සේ අවශ්‍ය විට සතර ධ්‍යානයන්ට කැමැති පරිදි පිවිස, ඒවායින් කැමැති පරිදි නික්මී, සිත සම්පූර්ණයෙන් ම සංයමයට පත් කරමින් විවේක ගැනීමයි. එබැවින් උන්වහන්සේගේ විවේකය නිදිමතකින් හෝ අලස භාවයෙන් පිරි එකක් නොව, සමාධියෙන්, සිහි නුවණින් සහ සම්පූර්ණ මානසික පිරිසිදුකමෙන් යුත් ආධ්‍යාත්මික විවේකයකි.

මෙය සාමාන්‍ය මනුෂ්‍යයකුගේ නින්දට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් වූවෙකි. අප බොහෝ දෙනාගේ නින්ද කායික වෙහෙස නිසා ඇතිවන විවේකයකි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සෙය්‍යාව වූයේ සිතෙහි කිසිදු කෙලෙසක්, චංචල භාවයක් හෝ අවිද්‍යාවක් නොමැති, පූර්ණ සමාධිමය තත්ත්වයකි.

බෞද්ධ සාහිත්‍යයේ බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සිංහ සෙය්‍යාවෙන් සැතපුණු බව සඳහන් වේ. එය දකුණු ඇලයට, දකුණු අත කොට්ටයක් සේ තබා, සිහියෙන් හා අවදි බවෙන් යුතු ව සැතපීමයි. නමුත් සෙය්‍යාචතුක්ක සූත්‍රය මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ, තථාගතයන් වහන්සේගේ සැබෑ විවේකය ශාරීරික ඉරියව්වකට පමණක් සීමා නොවී, ධ්‍යාන සමාපත්තිවලට නිදහසේ පිවිසීමේ අසමසම හැකියාව බවයි. එබැවින් ‘තථාගත සෙය්‍යාව‘ යනු බාහිර ඉරියව්වකට වඩා අභ්‍යන්තර චිත්ත සංවර්ධනය නිරූපණය කරන සංකල්පයකි. මෙම දේශනාව නූතන මිනිසාට ද ඉතා වැදගත් පණිවිඩයක් ලබා දෙයි.

අද බොහෝ දෙනෙක් දිගු වේලාවක්

නිදාගත්ත ද සැබෑ විවේකය අත්විඳීන්නේ නැත. ඊට හේතුව සිත කාංසාවෙන්, ආතතියෙන් සහ නොසන්සුන්තාවෙන් පිරී තිබීමයි. බුදු හිමියන් පෙන්වා දෙන්නේ සැබෑ විවේකය ලැබෙන්නේ සිත සන්සුන් වූ විට බවයි. එබැවින් සිහිය (සති), සමාධිය සහ භාවනාව තුළින් සිත දියුණු කිරීම, කායික විවේකයට වඩා උසස් ජීවන ගුණාංගයක් ඇති කරන බව තථාගත සෙය්‍යාව අපට උගන්වයි.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දෙස බලන විට පැහැදිලි වන්නේ උන්වහන්සේගේ සෑම ඉරියව්වක් ම ධර්මය ම බවයි. ඒ නිසා තථාගත සෙය්‍යාව යනු නිදා ගැනීමේ ක්‍රමයක් පමණක් නොව, සම්පූර්ණයෙන් පිරිසිදු වූ සිතක, සම්පූර්ණයෙන් දියුණු වූ සමාධියක සහ පූර්ණ විමුක්තියක ප්‍රායෝගික ප්‍රකාශනයකි.

 

ඇසළ අමාවක

අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ.
06 බදාද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]