[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අමාවක පෝ දා 2026-08-12

සසරේ බිය නුවණින් දකින්න

පවට නැමුණු, අකුසලයට නැමුණු ජීවිතය සැප යැයි සිතන පුද්ගලයා ඒ බව වරදවා වටහා ගැනීම තුළ ම ලබන්නා වූ අනර්ථය මහත් ය. මේ ජීවිතය ද පරිහානියට පත් කර ගෙන මරණින් මතු ජීවිතය ද දුගතිගාමී කර ගන්නේ ය. පව්කම් කොට තාවකාලිකව ලබන්නා වූ භෞතික සම්පතක් හෝ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදි සිතිවිලි තුළින් ලබන්නා වූ හැඟීම් නිසා හෝ තමන්ටත් නොදැනීම තමන් ම විනාශ වන බව තේරුම් නොගන්නා අය සමාජයේ අපමණ වන බව අහන දකින බොහෝ ව්‍යසනයන්ගෙන්, ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වේ. අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දුන් මඟ එවැනි අගෝචර වූවක් නොවේ. තමන්ටත් අර්ථ දෙන, අනුන්ට ද අනර්ථය නොවන අපූර්ව මාවතකි. එය තේරුම් ගෙන ඒ අනුව ජීවිතය හැඩගස්වා ගැනීම ය, බුද්ධිමතාගේ කාර්යභාරය වනුයේ.

ධම්ම පදයේ යමක වග්ගයේ එන මේ ගාථා ධර්මය අපගේ ජීවිතය නිවැරැදි මාවතට යොමු කරන මහඟු මිණකි.

මනො පුබ්බංගමා ධම්මා

මනො සෙට්ඨා මනොමයා

මනසා චෙ පදුට්ඨෙන

භාසති වා කරෝති වා

තතෝ නං දුක්ඛ මන්වෙති

චක්ඛං ච වහතෝ පදං

කුසල හා අකුසල ක්‍රියා සිත පෙරටු කොට පවතී. සිත ප්‍රධාන කොට පවතී. මනසින් හට ගනී. යම් කෙනෙක් ද්වේෂ සහගත සිතින් කතා කරයි නම් හෝ ක්‍රියා කරයි නම් හෝ ඒ හේතුවෙන් ඔහු පසුපස දුක ලුහුබඳි. ගොනාගේ පියවර අනුව කරත්ත රෝදය ගමන් කරන්නාක් මෙනි.

කරත්තය ගොනාට දුක් පීඩා ගෙන දෙයි. එහෙත් හෙතෙම ඔසවන පියවරක් පාසා එය පසුපසින් එයි. එහෙයින් ගොනාට ඒ දුක දරා ගන්නට ම වන්නේ ය. පව්, අකුසල කරන්නාට ද එලෙසය. විපාක විඳීන්නට වන්නේ ය. මේ සා මා හැඟි පණිවිඩයක් සන්නිවේදනය කළ ද ඒ දහම් අරුත් දැන දැනත් කෙනෙක් පව් කරන්නේ තාවකාලික සුවය හෝ ලාභය මහත් සේ දකිමිනි. කරන කලට පව් මී සේ මිහිරි වුව විඳීන කලට දුක් ගිනි සේ දැඩි වන බව අවබෝධ කර නො ගැනීමෙනි. අදීනව විඳීන්නට වන් කල හඬා වැලපී පලක් නැත. පස්චත්තාපය ද පල රහිත ය. එහෙයින් පාපයේ විපාක විඳීන වුන් දැක හෝ එයින් මිදී ජීවිතය නිවැරැදි කර ගැනීමට ය අප අප්‍රමාදී විය යුතු වන්නේ.

එවැනි උදාහරණ මේ සමාජයේ අපමණ වේ. කෙනෙක් උපතින්ම අන්ධ ය. කෙනෙක් ආබාධිත ය. කෙනකුට කුස පිරෙන්නට ආහාරයක් නැති තරමට දිළිඳුය. කෙනකුට අපමණ නින්දා අපහාස ය. මේ දුක්ඛිත ජීවිතයන් හි අංශු මාත්‍රයක් පමණි. මේවා අසා දැක හෝ ජීවිතය හරි මඟට ගන්නට හැකි නම් ඒ පුද්ගලයා සමතෙකි.

ධම්ම පදයේ මේ ගාථා ධර්මයට පසුබිම් වූයේ චක්ඛුපාල නම් දෙනෙත් අඳ තෙරුන් වහන්සේ නමකි.

චක්ඛුපාල හිමියන් අන්ධ වුව ද රහතන් වහන්සේ නමකි. පෙර භවයක මේ හිමියෝ වෛද්‍යවරයකුව උපන්නහ. දිනක් ඇස් රෝගයකින් පෙලුණු මාතාවක් පැමිණ තමන්ගේ ඇස් සනීප

කළේ නම් තමන් දියණිය ද සමඟ පැමිණ වෙදැදුරුට දාසියක් වන බව කීවාය. වෙදැදුරු ඇය සනීප කළේය. එහෙත් ඇය ප්‍රතිඥාව ඉටු නොකළාය. බොරු කළ ඇයගෙන් පළිගන්නට සිතූ වෙදැදුරු විස බෙහෙතක් යොදා ඇය සදහට ම අන්ධ කළේය. ආත්ම ගණනාවක් අන්ධව උපන් ඔහු රහත් බව ලැබූ අවසන් ජන්මයේ දී කර්ම විපාක ලෙස අන්ධව උපන්නේ ය.

පාපයේ විපාකය මේ සා බලවත් ය. එහෙයින් චේතනාව පිරිසිදු කොට නපුරු සිතිවිලි බැහැරලා ජීවිතය අර්ථවත් කර ගන්නට වෙර දැරීම දෙලොවටම යහපත් ය.

 

ඇසළ අමාවක

අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ.
06 බදාද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]