ඇවතුම් පැවතුම්වල කුසල්-අකුසල්

ඇවතුම් පැවතුම්වල කුසල්-අකුසල්

කොහොමද අපි සිල් පද තුළ සංවර වන්නේ? ‘සංවර වීම’ නැත්නම් හික්මීම යනු ඒ සිල්පද අනුව කායික, වාචසික ක්‍රියා පැවැත්වීමයි. තථාගතයන් වහන්සේගේ ධර්මය අදහා වාසය කරන කෙනා මේ සංවර වීම සිද්ධ කරන්නෙ ඉතා ගෞරවයෙන්.

සීල සංවරය යන සුන්දර ධර්මය තුළ හික්මෙන්නාට ලැබෙන මහත්ඵල වූ ආනිශංසයක් වන්නේ පසුතැවිල්ල නැති සිතකි. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ප්‍රාතිමෝක්ෂ සංවර සිල් පදවල හික්මීම ගැන නො දන්නා ශ්‍රාවකයා ජීවිතයට කර ගන්නා අනතුරු සම්බන්ධයෙන් වැටහීමක් නැත්තේ ඒ ධර්මය ශ්‍රද්ධාවෙන් අදහා ගන්නේ නැති නිසා ම යි.

“ස්වාමීනි, කුසල් සිල්වලින් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”

“ආනන්දයෙනි, කුසල් සිල්වලින් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් පසුතැවිල්ල නැතිකමයි.”

අන්න ඒ ආනිශංසය තමා තුළ හටගෙන ඇති දැයි විමසමින් ධර්මය පුරුදු කරන්නාට සීල සංවරය උපදවා ගැනීමේ භාග්‍ය උදා වෙනවා.

පසුතැවීම ඇති සිතක ප්‍රමුදිත බව උපදිනවා ද?’ නැහැ. අපිරිසිදු කායික ක්‍රියා ඇති, අපිරිසිදු වාචසික ක්‍රියා ඇති, අපිරිසිදු මානසික ක්‍රියා ඇති සිතක ප්‍රමුදිත බව උපදිනවා කියන කරුණ සිද්ධ නොවන එකක්. ප්‍රමුදිතයි කියන්නෙ මොකක්ද? ඒ සිත නැවුම් එකක්, නීවරණ අඩු එකක්, උපන් ආධ්‍යාත්මික සන්සිඳීමක් ඇති එකක්, සුචරිතය ඇසුරු කරන්නට නැඹුරු වූ එකක්. අන්න ඒ සිත උපදවා ගන්නට නම් එයා සීලය සමාදන් වෙලා ඒ සිල් පදවල හික්මෙන්න ඕනෑ.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ආකංඛෙය්‍ය සූත්‍රයේ අපට මෙසේ කියා දෙනවා.

“පින්වත් මහණෙනි, සිල්වත් ව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂාපදවලින් යුතු ව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂාපද සංවරයෙන් සංවර වන්න. යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වන්න.

ඉතා ම කුඩා වරදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂාපද තුළ හික්මෙන්න.”

සරු කුඹුරුවලට වී වපුරනවා වගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේ අමතා ධර්මය දේශනා කරන බව දැන් අපි දන්නවා. දෙවි මිනිසුන්ට සර්ව සාධාරණ මේ ධර්මය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සතර ශ්‍රාවකයන්ට ම අදාළ බවත් අපි දන්නවා. අන්න ඒ නිසා පංච සීලය තුළ හික්මෙන උපාසක, උපාසිකා පිරිසත් ඒ අවවාදය හොඳින් දරා ගන්න ඕනෑ. “නිවන් මඟට මුල් වන ශික්ෂාපද සංවරයෙන් සංවර වන්න” කියන උතුම් අවවාදය යි අපි පිළිගන්න ඕනෑ.

කොහොමද අපි සිල් පද තුළ සංවර වන්නේ? ‘සංවර වීම’ නැත්නම් හික්මීම යනු ඒ සිල්පද අනුව කායික, වාචසික ක්‍රියා පැවැත්වීමයි. තථාගතයන් වහන්සේගේ ධර්මය අදහා වාසය කරන කෙනා මේ සංවර වීම සිද්ධ කරන්නෙ ඉතා ගෞරවයෙන්. ඔහුට තියෙනවා ධර්මය තුළ උපන් ගෞරවයක්. ඒක කෘත්‍රිම ව උපදවා ගත්ත, යම් ආයාසයකින් පවත්වන සංවරයක් නෙවෙයි. සීල ගෞරවය කියන්නේ හද පිරි ශ්‍රද්ධාවෙන් ම උපදින කායික, වාචසික සංවර භාවයක්. අන්න ඒ සංවර භාවය සඳහා උපකාරක ධර්ම පහක් ගැන අපි ඉගෙන ගනිමු.

ශ්‍රද්ධාව කියන්නෙ සීල සංවරයට උපකාරක ධර්මයක්. පවු කිරීමට ලජ්ජාව, පවු කිරීමට බය, අකුසල් ප්‍රහාණය කරන්නටත්, කුසල් උපදවා ගන්නටත් වීරිය, ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නුවණින් විමසීමෙන් ඇති කර ගන්නා ප්‍රඥාව යන මේවා සිල් රැකීම පිණිස උපකාර වන ධර්ම බව අපි දැන ගන්න ඕනෑ. අන්න ඒ ධර්ම නැති ව සමාදන් වූ සිල්පද තුළ සංවර වීමට අපට හැකි වන්නේ නැහැ.

අපි දන්නවා අපේ එක් දිනයක පැය විසි හතරක කාලය ගතවන හැටි. උදේ ඉඳන් රාත්‍රී වන තුරු එක් දවසක එක එක ආකාරයේ සිද්ධි මාලාවකට යටවෙලයි වාසය කරන්නේ.

අන්න ඒ ජීවිතයේ අපට උපතින් ම මේ ධර්මය තුළින් බිහි වූ සිහියක් නෑනෙ. ඕනෑම සාමාන්‍ය කෙනෙක්ට උපතින් තමාට ලැබුණු සිහියක් තිබුණත්, ඒකෙන් ඒ ඒ කටයුත්තේ දී ධර්ම මනසිකාරයක් කරන්න බලයක් නැහැ. අපි තමාට උපතින් ලද සිහිය උපකාර කර ගන්නේවත් නැතිව තමාට ඇති වූ පුරුද්ද උපකාරයෙන් එදිනෙදා කටයුතු කොච්චර නම් කරනවාද?

සිහියක් නැති ව පුරුද්දට රස්සාවේ වැඩත් කරන්න පුළුවන්, ගෙදර වැඩත් කරන්න පුළුවන්. ඉතින් බලන්න අපි සමාදන් වූ සිල් පද ආරක්ෂා කර ගන්න මේ රටාව අනතුරක් නේද?

බලන්න, සමහර අය තමන්ගේ දූ දරුවන්ගේ යහපත ගැන හිත හිතා දිවා රෑ දෙකේ ම මහන්සි වෙනවා. ඒ දූ දරුවන්ට තමයි තමන්ගේ ලෝකයේ ඔටුනු පලන්දලා ඉන්නේ. ඉතින් ඒ දරුවන් වෙනුවෙන් ම කටයුතු කිරීම තමයි එයාලට තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ගැන පැය විසිහතරේ ම කල්පනා කර කර ඉන්නවා. ඒ වෙනුවෙන් ම කැප වෙනවා. ඇතැම් විට අඹුදරුවන් අත්හැර විදේශගත වෙනවා. නො විඳිනා දුක් විඳිනවා. අන්තිමේ දී දරුවන් තමන්ට වෙනස්කම් කරනවා. මහා දුකකින්, මහන්සියකින් හම්බ කරපු ධනය නිස්කාරණේ වියදම් වෙනවා. තමන්ට සිදු වෙන්නේ ගෙවුණුු අතීතය ගැන හූල්ල හූල්ල ඉන්න විතරයි.

මේ ආකාරයට උපතින් ලද සිහියෙන් හා පුරුද්දට අනුව අපි ඒ කටයුතු සිද්ධ කරන්නෙ කුසල් ද, අකුසල් ද, යහපත ද, අයහපත ද කියන වැටහීම ඇතිවද? නැහැ. අන්න ඒ වැටහීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල තිබුණොත් නේද?

ධර්මයේ සඳහන් වෙනවා දස කුසලය පිළිබඳ ව. ඒ වගේ ම දස අකුසලය පිළිබඳ ව. මේ විදිහට කුසලය මෙයයි, අකුසලය මෙයයි කියලා පෙන්වා දෙනවා.අන්න ඒ ධර්මය අහලා අපේ හිතේ ගෞරවයෙන් දරා ගන්න ඕනෑ. ධර්මය අහල දරා ගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරේ ශ්‍රද්ධාව ඇති කෙනායි. එසේ දරා ගත් ධර්මය පුරුදු කරන්න කැමැත්තක් උපදින්නෙත් ශ්‍රද්ධාව මුල් වෙලයි. අන්න එයාට පවට ලජ්ජාව උපදිනවා. පවට බය උපදිනවා. කුසලයට වීරිය උපදිනවා. ප්‍රඥාව උපදිනවා. ඒ ධර්මයන් තමා තුළ ඇති වීම නිසා සිල් පද තුළ සංවර භාවයට පත් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ ඊළඟට අපට කියා දෙනවා යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වන්න කියලා. ආචාර ගෝචර සම්පන්න වෙන්න කියලා. මොනවද මේ යහපත් ඇවතුම් පැවතුම් කියන්නේ? යහපත් කායික, වාචසික හැසිරීම්වලටයි. ලෝකයේත් මෙහෙම රටාවක් තිබෙනවා නේද? මේ මේ ස්ථානයේ දී මේ මේ විදිහට ආචාර සම්පන්න වෙන්න කියලා අපට පෙන්වා දී තියෙනවා. පාසලේ දී, පන්සලේ දී, කාර්යාලයේ දී, නිවෙසේ දී, පාරෙ තොටේ දී, කඩපිලේ දී ආදී ඒ ඒ ස්ථානයේ අපේ හැසිරීම් වෙනස් නේද? කතාබහත් වෙනස් නේද? ඒ වගේ ම මවුපියන්, යහළුවන්, සහෝදර සහෝදරියන්, බිරිය ස්වාමියා ආදී පිරිස් ඉදිරියේ දී අපේ හැසිරීමත් වෙනස් නේද? කතාබහත් වෙනස් නේද? අපට සමාජයෙන් පුරුදු කළ රටාවක් තියෙනවා, ඒ ඒ තැන දී මේ මේ විදිහට හැසිරෙන්න ඕනෑ කියලා. ඒක අපට හුරු කළ එකක්. සමාජය දිහා බලලා, පුරුදු වු එකක්. ඔන්න ඔය රටාව තරුණ පරපුරට නැහැ කියලා, චෝදනාවකුත් තියෙනවා නේද?

නමුත් ධර්මය තුළ ආචාර ගෝචර සම්පන්න භාවය කියන්නේ නීතියක් නෙවෙයි.

‘මේ මේ තැන මේ මේ විදිහට හැසිරිය යුතුයි’

කියන නියෝගයක් මේ ධර්මයේ නැහැ. ධර්මයේ කියා දෙන්නේ මේ මේ සිල් පදයේ හික්මෙන්න කියලයි. අන්න ඒ හික්මීම සිත වැඩෙන පිළිවෙළක්, සීල සංවරය උපද්දවන ධර්මයක. ක්‍රියාවේත්, වචනයේත් සිත සන්සිඳුවන එකක. ඒ වගේම අන් අයට මෙත් සහගත උපකාරයක් උපද්දවලා දෙන දෙයක්.

කායික, වාචසික, ඇවතුම් පැවතුම් ගැන සක්කපඤ්හ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා.

‘මා විසින් මේ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් කායික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද? මෙබඳු වූ කායික ඇවැතුම් පැවැතුම් සේවනය නො කළ යුත්තේ ය.

එහිදී මා විසින් මේ කායික ඇවතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් කායික ඇවතුම් පැවතුම් අපි දන්නවා.

සතුන් මැරීම, අකුසලයක්. සොරකම අකුසලයක්. වැරදි කාම සේවනය අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේළාම් කීම අකුසලයක්. හිස් වචන කීම අකුසලයක්. පරුෂ වචන කීම අකුසලයක්. මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනීම අකුසලයක්. අගුණ කතා කිරීම අකුසලයක්. ඊරිසියාවෙන් වචන කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්. ද්වේෂයෙන් කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්. රැවටීමෙන් කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්. පළිගැනීමෙන් කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්.

තමා උසස් කොට අනුන් හෙළා කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්. තමා පහත් කොට අනුන් උසස් කොට අපහාස කිරීම අකුසලයක්. උසස් පුද්ගලයන් පහත් කොට හෝ තමා සම කොට අපහාසයෙන් කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්. අනුන් සතු දෑ කෙරෙහි මසුරුකමින් කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්. මිථ්‍යාදෘෂ්ටියෙන් කතා කිරීමත්, ක්‍රියා කිරීමත් අකුසලයක්. දැඩි මතධාරිකමින් මත් ව අනුන් පෙළා කටයුතු කිරීම අකුසලයක්.

මේ ආකාරයේ අකුසල් අපි කොතැනින් ද ඉගෙන ගන්නේ? මේ ධර්මයෙන්. ධර්මය කියා දෙන කල්‍යාණ මිත්‍රයන්ගෙන්. අන්න එතකොට එයාට ශ්‍රද්ධාව ඉපදෙනවා. අන්න ඒ ඇත්තා තමන් කරන ක්‍රියාවෙහි තමන් කරන කතාවෙහි කුසලය - අකුසලය වටහා ගන්නට උනන්දු වෙනවා. අන්න ඒක එයාගේ ශ්‍රද්ධාව මුල් වෙලා උපදින වීරියයි.

ඇසළ අමාවක

අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ.
06 බදාද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]