භාවනාවේ දී
මතුවන බාධා දෙස
සන්සුන් සිතින් බලන්න
උඩඊරියගම
ධම්මජීව හිමි
අප අවට ලෝකය මෙන් ම අපගේ මනෝ ලෝකයත් ඉච්ඡා භංගත්වයෙන්, අසහනයෙන් හා පරස්පර විරෝධි
බලවේගවලින් පිරී පවතී. ඒවායෙන් ජය ලැබීමට හෝ ඒවාට එදිරිව සටන් කිරීමට තරම් හෝ
ශක්තියක් අපට නැති බව අපි අත්දැකීමෙන් ම දනිමු. අප කැමති සියල්ල කැමති පරිදි ලබා
ගැනීමට මේ ලෝකයේ දී නොහැක්කේ ය. මනෝ ලෝකයේ දී පවා ආශා, හැඟීම් හා හිතුවක්කාර
සිතිවිලි සාධාරණත්වය ද, වගකීම් ද, බුද්ධිමය අපේක්ෂා ද යටපත් කරගෙන නැඟී සිටියි.
අමනාප අවස්ථාවලට එරෙහි වීමෙන් ඒවා තව තවත් අප්‍රසන්න තත්ත්වයට පෙරළෙන බව ද අපි
දනිමු. කාමාශාව මැඬ පැවැත්වීමට දැඩි චිත්ත ශක්තියක් යෙදුවොත් කාමාශා තව තවත් වැඩි
වන අයුරු අපි දන්නෙමු. මත භේද, රණ්ඩුවල දී කෝප සහගත ව කටයුතු කිරීමෙන් තව තවත් ඒවා
තර වන්නේ ආහාර ලැබුණු කලෙක මෙනි. අනෙකාගේ එදිරිවාදිකම් මැඬලීමට කරන ප්‍රයත්න හරහා
එදිරිවාදිකම් උග්‍ර වන්නේ ය. කටයුත්තක යෙදී සිටින විටෙක හෝ් විවේකී ව සිටින විටෙක
හෝ නැත්නම් භාවනා කරන විටෙක මතු වන බාධාවක දී යමකු නුරුස්නාසුලු ව ප්‍රතික්‍රියා
කළොත් හෝ මැඬලීමට යත්න දැරුවොත් හෝ එම බාධාව දිගින් දිගට ඇදී යනවාක් මෙන්ම එන්න
එන්න ම උග්‍රවීම ද වැළැක්විය නොහැකි ය.
බළකොටු උදුරාගත නොහැකි තත්ත්වයන් අනුව බලාපොරොත්තු සුන්වීම ජීවිතයේ දී බහුල ය.
එහෙත් අවිරුද්ධ ව ජය ගත හැකි, නිතරග ජයග්‍රහණ ලබා දෙන ක්‍රම සහ විධි ඇත. මර්දනකාරී
ව ලබා ගත නොහැකි අභ්‍යන්තර හෝ බාහිර හෝ බොහෝ දේ සාමකාමී ව, අහිංසක ව ලබා ගත හැකි ය.
සතිපට්ඨානය එවැනි සාමකාමී ප්‍රතිපදාවකි.
සම්‍යග් සතියට ආසන්න කාරණය වන සති මාත්‍රයට තැන දීමෙන් මෙම අවිරුද්ධ ප්‍රතිපදාව සතු
ශක්තිය සහ එහි යහපත් ප්‍රතිඵල ක්‍රමයෙන් විකසිත වන්නේ අසිරිමත් ලෙසිනි. සතිපට්ඨාන
භාවනාව මෙම සාමකාමී ප්‍රතිපදාව හරහා ගෙන දෙන මානසික සංයමය හා භාවනා දියුණුව වැනි
ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක මෙහිදී අපි සලකමු. සැලකිල්ලෙන් විමසා බලන තැනැත්තකුට
මෙයටත් වඩා හොඳ ශික්ෂාවක් පිළිතුරු වශයෙන් තවත් නැත.
භාවනාවේ දී හමුවන බාධක ප්‍රධාන වශයෙන් තුනකි.
1. ශබ්ද වැනි බාහිර කරදර
2. මනසේ පහළ වන රාග, ද්වේෂ, දුක්, අසහනය, අලසකම ආදී කෙලෙස් ධර්මයෝ
3. විවිධ වූ අයාලේ යන සිතිවිලි සහ දවල් සිහිනයි
ආධුනික යෝගාවචරයාට මේවා බරපතළ බාධා වන අතර, ඔහුට එම තත්ත්ව තනිව ම ලේසියෙන් මඟහැර
යා හැකි දක්ෂතාවක් නැත. මේවා මතු වූ පසු පිළිතුරු සෙවීම හෝ සිත ඒ බාධක වෙත යෙදවීම
පමණක් හෝ මේ සඳහා ප්‍රමාණවත් නොවේ. බලාපොරොත්තු නැති වෙලාවක මේවා මතු වීමේ දී ඒවාට
ස්වභාවයෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් හෙතෙම අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගනී. සූදානම් නැති
අවස්ථාවක මතු වන මෙවන් බාධක සමඟ නොසන්සුන් සිතින් පොරබැදීමෙන් අනවශ්‍ය බාධා ඇති කර
ගැනීම සිදු විය හැක්කකි. මේ අනුව බලාපොරොත්තු කඩ වීම හෝ ඉඳගෙන සිටින සළුව ගසා දමා
නැඟිට යෑම සිදුවිය හැක්කකි.
මේවා ගැන සවිස්තර ව කොතෙක් කලින් කියවා බලා තිබුණත්, ගුරුවරුන්ගෙන් අසා දැන සිටියත්
අසීරු අවස්ථාවක් මතු වූ විට ඒ පිළිබඳ ව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම යෝගාවචරයා සතු ව
නැත. ආධුනික යෝගාවචරයා එවන් අවස්ථාවල අසරණ වන අතර, ඉක්මනින් බලාපොරොත්තු සුන් කර
ගැනීම ඔහුට ඇති ප්‍රධාන බාධාවයි. ඉක්මනින් පරාජය පිළිගනී. ලෞකික කටයුතුවල දී මෙන් ම
මෙහිදී ද මෙවන් “මූලික දුෂ්කරතාවලට” මූණ දෙන ආකාරය තම යෝග ජීවිතයේ අනාගතය තීරණය
කරනු ඇත.
බාධක හමුවේ අදක්ෂ යෝගාවචරයා ප්‍රතික්‍රියා කරන හැටි දෙයාකාර ය. ප්‍රථමයෙන් ඇඟට නො
දැනී. ඉවත ලෑමට යත්න කරනු ඇත. එය ව්‍යර්ථ වුවහොත් දැඩි සිතින් යටපත් කරන්නට පෙළඹෙනු
ඇත. මේ කරදර, බාධක ගරුසරුවක් නැති මැස්සන් වැනි ය. පළමුව හෙමිහිටත්, පසුව කෝපයෙනුත්
ගසා දමන විට ඔවුන් නැවත නැවතත් ආපසු එන හෙයින් එවුන් මුළුමනින් ම එළවාදැමීම නොකළ
හැක්කකි. මේ එළවාදැමීමේ ප්‍රයත්නය මඳ වේලාවකින් යෝගාවචරයාගේ ඉරියව්ව හා සිතේ
ශාන්තිය නසා දමනු ඇත.
මෙසේ බලයෙන් යටපත් කිරීමේ ක්‍රමය නිෂ්ඵල මෙන් ම, අසාර්ථක වූ ද එකකි. ඒ වෙනුවට
සතිපට්ඨානය, සති මාත්‍රය හරහා මෙන් ම වෙනස් ප්‍රතිපදාවකින් අපට උගන්වයි.
මේ සාමකාමී පිළිවෙළ සඳහා යහපත් දැක්මක්, සම්මා දිට්ඨියක් ආරම්භයේ දී ම අත්‍යවශ්‍ය
ය. මෙලොව ජීවත් වන සියල්ලන්ට ම ඉහත සඳහන් බාධා සාධාරණ බව මුලින් ම පිළිගත යුතු ය.
ප්‍රතික්ෂේප කිරීමෙන් මේ බාධා සාධාරණ බව මුලින් ම පිළිගත යුතු ය. ප්‍රතික්ෂේප
කිරීමෙන් මේ බාධා වෙනස් කළ නොහැකි ය. ඒ වෙනුවට ඒවා සමඟ සුහදතාවක් ඇති කර ගැනීමෙන්
සමහර බාධා සමනය කළ හැකි ය. ඉතිරි කරදර සහ අනෙකුත් කෙලෙස් සම්පූර්ණයෙන් සන්සිඳෙන
තුරු කටයුතු කළ ආකාරයක් ඇත. එය දැන සිටිය යුතු ය.
මෙලොව අයිතිය අපට පමණක් නොව අනෙකුත් බොහෝ ජීවින්ට ද සාධාරණ නිසා ශබ්ද හා ආගන්තුක
බාධා අනන්ත ය. අප බලාපොරොත්තු වන “අංග සම්පූර්ණ හුදකලාව“ ඇති හෝ, අනෙකුත් සතුන්ගේ
ශබ්ද, කෑගැසීම්, බිරීම් නැති ලොවක් නැත. උඩ එල්ලෙන සිහින මාලිගා වැනි, මහජනයාගෙන්
තොර තැන් පැතිය නොහැකි ය. විපස්සනා භාවනාව යනු ප්‍රශ්නවලින් පැන යෑමක් හෝ තාවකාලික
තැනක ශාන්ත ව සැඟවී සිටීමක් හෝ නොවේ.
මෙම තාත්ත්වික භාවනා ක්‍රමය හරහා අප බලාපොරොත්තු වන්නේ අප ජීවත්වන ලෝකය ඇති
හැටියෙන් ඇස්පනාපිට දැන ගැනීමත්, එය ඉක්මවා යන ලෙසට සිත පුරුදු කිරීමත් ය. මේ භාවනා
ජීවිතය කෙරේ විවිධාකාර බාධක අනිවාර්යයෙන් ම පවතින්නේ ය.
කෙලෙස්වලට මුහුණ දීමෙන් යෝගාවචරයා තුළ එම කෙලෙස් යටපත් කිරීමේ අදහස සහ අවශ්‍යතාව
වැඩෙන්නේ ය. උනන්දුවක් ඇති වන්නේ ය. ඒ වෙනුවට යම් කෙනකු කෙලෙස් පහළ වූ විට ලජ්ජාව
නිසා හෝ මාන්නය නිසා හෝ නොතකා හැරියොත්, මේ පුරුද්ද නිසා ම අවසාන සම්මුඛ සටනින් ද
පරදිනු ඇත. අන්ධ ලෙස කෙලෙස්වලට පහරදීමට යෑමෙන් තමා වෙහෙසට පත් වේ. නැත්නම් තමාට ම
අනතුරු කර ගනී. ඒ වෙනුුවට කෙලෙස් මතු වන විට ම, සිතේ උපදින විට ම, ඒවායේ ස්වභාවය සහ
හැසිරීම හොඳින් පරීක්ෂා කළ හැකි නම්, කළ යුත්තට කල් තියා සූදානම් වීමක් මෙන් ම ඊටත්
කලින් සහමුලින් ම වළක්වා ලීම පිළිබඳ විශ්වාසයක් ද තැබිය හැකි ය. මෙය කවදා හෝ
සහමුලින් ම දුරු කිරීමේ නොවරදින ක්‍රමය යි. ඒ නිසා මතු වන කෙලෙස්වලට විවෘත මනසකින්
යුක්ත ව මුහුණ දෙන්න. කෝල නොවන්න. බිය නොවන්න. අධෛර්ය වී පසු නොබසින්න.
භාවනාවේ දී හමු වන මීළඟ බාධකය නම් අයාලේ යන සිතිවිලි සහ දවල් සිහිනයි. මේවා අතීත,
අනාගත, සිතිවිලි, මනෝවිකාර ආදියෙන් සමන්විත විය හැකි ය. සිතින් ම මතු වන කුණූු ද
මෙහිදී මතු වනු ඇත. අතීතය අනුව සිදු වන පශ්චාත්තාප, අනාගත සිහින මෙන්ම
ඉන්ද්‍රියබද්ධ ව සිදු වන මනෝ ක්‍රියා ද මෙහිදී ඉස්මතු වේ.
සතිය දුර්වල වී සිතේ එකලෙස බිඳෙන විට, ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වන්නා සේ මේවා
ආගන්තුක ව ඉස්මතු වන්නේ හිතේ අසතිමත් හිස් තැන් පුරවන්නා සේ ය. අයාලේ යන්නාක් මෙන්
නො වැදගත් ලෙස මුල් බැසගන්නා මේවා ගෙට වැදුණු ඔටුවකු සේ ආධුනිකයාගේ මෙන්ම
ප්‍රවීණයාගේ ද සිත වසා ඉතිර පැතිර යයි. බැලූ බැල්මට කෙලෙස් නො වන මේවා සම්පූර්ණයෙන්
පාලනයට නතු කර ගත හැක්කේ අර්හත්වයෙන් ම පමණි. මුලින් මුලින් කරන්නේ ඒවා තරමක ඈතින්
ඇතට තල්ලු කර හැරීම පමණක් වන අතර, ඒ තරමට භාවනාවේ දියුණුව සඳහා වේලාව ලැබේ. මෙම
ආක්‍රමණික ධර්ම ඈත්ව තබා ගතහොත් දීර්ඝ කාලයක් මූල කර්මස්ථානය මත භාවනා කිරීමේ
හැකියාව දියුණු කර ගත හැකි ය.
ඉහත දැක්වූ බාධා තුනට නිසි අවධානය දීම යෝගාවචරයාගේ යුතුකමයි. ඒ බව දැනගෙන ඊට සුදුසු
මානසිකත්වය සකස් කර ගැනීමට නම් ඒවා පිළිබඳ සුතමය ඥානය තිබිය යුතු ය. සිතේ ධාරණය කර
ගත යුතු ය.
ඒ අනුව ඉදිරිපත් වන මේ ත්‍රිවිධ බාධා තුළ යෝගාවචරයාට දුක පිළිබඳ ප්‍රත්‍යක්ෂය
තහවුරු වන්නේ සුතමය හා චින්තාමය වූ මූලික දැනුමේ ප්‍රමාණයට ය. ඒ ආධාරයෙනි. කාට හෝ
අබිමත දේ අබිමත සේ නොලැබේ ද එය දුකකි. ඉතිරි ආර්ය සත්‍ය තුන ද මෙලෙසට ම නීවරණ ධර්ම
හමුවේ ද ගෝචර ලෙස යොදා ගැනීමට යෝගාවචරයා සූර විය යුතු ය. කෙටියෙන් කියතොත් නීවරණ
ඉදිරිපත් වන විට ඒවාට වෛර නො කිරීමෙනි. අවිරුද්ධ වීමේ කලාව හරහා ම පමණි.
සම්‍යග් සතිය පිළිබඳ අවබෝධයෙන් එම සතිය හරහා එදිනෙදා ජීවිතයේ සිද්ධිවල දී ලැබෙන
අවබෝධ ඥාන හා සුතමය ඥාන - චින්තාමය ඥාන නිසි සමබරතාවකට ගෙන ඒම, ප්‍රයෝජනය සලකා එතැන
කළ යුත්තකි. මෙය සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන හතරවැන්න වන ධම්මානුපස්සනාව යි.
ආරම්භයේ දී ම මේ සඳහා ලෑස්ති මනසකින් යුක්ත වීම සඳහා වන මෙම අවිරුද්ධ ප්‍රතිපදාව
හෙවත් පළමුවන පිම්ම දැන් අප සතු ව ඇත. සතුරා හමුවේ උද්වේගකර වූ, සූදානම් නැති
මනසකින් දුර්වල ලෙස මුලින් පටන්ගත්තේ වී නමුත් කාරණය හරි හැටි මෙලෙස වටහා ගැනීමෙන්
පසු සූදානම් මනසක් දැන් අප සතු ව ඇත. මෙය විශාල ලාභයක් වන අතර, මෙයට අපි අවිරුද්ධ
ප්‍රතිපදාව යැයි කියමු. මෙතෙක් සතුරන් ව පැවති මේවා දැන් චතුරාර්ය සත්‍ය කියා දෙන
ගුරුවරුන් බවට පත් කරගත් පසු මේ තාක් පැවැති මේ බාධකය ඉදිරි ගමනට සාධකයක් කර ගනිමු.
මතු සම්බන්ධයි
|