මහත්ඵල මහානිශංස ලබන්නට තුන්සිත පහදා දන් දෙන්න

මහත්ඵල මහානිශංස ලබන්නට

තුන්සිත පහදා දන් දෙන්න

 

දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාට ම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබා දෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදීත්, දානය පූජා කිරීමෙන් පසුවත් තමාගේ තුන් සිත පහදාගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීම ශ්‍රාවකයාට හැකියාව ඇත. දානය පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද? පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළ යුතු ය, යන ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ පළ වේ.

යෝ සීලවා සීලවන්තේසු දදාති දානං

ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ

අභිසද්ධහං කම්ම ඵලං උළාරං

තං වේදානං විපුල ඵලංති භ්‍රෑමිති

තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ, සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ වැසි ජනතාවගේ සුවසෙත උදෙසා වදාළ දක්ඛිණ විභංග සූත්‍රයේ අවසාන ගාථාවයි ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණේ.

යෝ සීලවා - යම් කෙනෙක් සීලවන්ත ව

සීලවන්තේසු දදාතිදා නං -

සීලවන්තයන් හට දානයක් දෙනවා නම්

ධම්මේන ලද්ධං -

දැහැමින් ලද දානයක් දෙනවා නම්

සුපසන්න චිත්තෝ - අතිශයින් ම ප්‍රසන්න සිතින් යුතු ව දානය දෙනවා නම්

තං වේ දානං විපුල ඵලන්ථි භ්‍රෑමි - එම දානය මහත් ඵල, මහත් අනුසස් ගෙන දෙන දානයක් ය.

කියන එකයි ගාථාවේ කෙටි තේරුම. මහා බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත් වී අවුරුද්දක් ගිය තැන විසි දහසක් මහ රහතන් වහන්සේ සමඟ කපිලවස්තු නුවරට වැඩම කොට වදාළේ පිය මහ රජතුමාට ධර්ම අනුග්‍රහ කරනු පිණිසයි. පළමු දවස හරියට වෙසක් පෝය දා උදා වුණා. තථාගතයන් වහන්සේ තම ඥාතීන්ට බුදුමහිම දක්වනු පිණිස අහසට පැන නැඟී රුවන් සක්මනක් මවා නිර්මිත බුදු රුවක් ද මවා, ඉරියව් මාරු කරමින්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා කරමින්, යමාමහ පෙළහර පාමින් එම අවස්ථාවේ දී යමා මහ ප්‍රාතිහාර්ය පා වදාළා. එම ප්‍රාතිහාර්යය අවසානයේ දී මහා පෘථිවිය ද කම්පා වුණා. අහසේ මල් වැසි ද වැස්සා. කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා. අසංඛ්‍යෙයක් පිරිස සෝවාන් වුණා. සකෘදාගාමි වුණා. අනාගාමී වුණා. මවුපිය ඥාති කුල අසූ දහසක්, පිය පස ඥාති කුල අසූ දහසක් දෙනා මුලින් කැපූ කෙසෙල් කඳන් මෙන් බිම දිගා වෙලා තෙරුවන් සරණගත වුණා.

භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධ උයන පිළිගෙන එහි වැඩ සිටි දෙවැනි දවසේ දී පිඬුසිඟා වඩිද්දී පිය මහා රජතුමා සෝවාන් ඵලයට පැමිණෙව්වා. එදා දවසේ දී ම, රජ වාසලේ දානය වළඳා, දහම් දෙසා පිය රජතුමා සකෘදාගාමී ඵලයට පැමිණෙව්වා. ඊළඟ දවසේ දී, ‘නන්ද’ කුමාරයා පැවිදි කෙරෙව්වා. හත්වැනි දවසේ දී ‘රාහුල’ කුමාරයා පැවිදි කෙරෙව්වා. අටවැනි දවසේ දී ‘මහාධර්මපාල’ ජාතක දේශනාවෙන් මහ රජතුමා අනාගාමී මාර්ගයෙන් අමාමහා නිවනට පැමිණෙව්වා.

ඉන් නොබෝ දවසක දී ‘මහා ප්‍රජාපතී ගෝතමී දේවින් වහන්සේ’ බුද්ධ පූජාවට චීවරයක් සූදානම් කර ගත්තා. බුද්ධ පූජාව සඳහා ම පුළුන් පොළල, නූල් කැටල, රෙදි වියල, බුද්ධ චීවරය, සුගත චීවරය සූදානම් කර ගත්තා. මේ චීවරය කඩ කපල, මහල, පඬු පොවල, අංග සම්පූර්ණ කරල, හිස මුදුනේ තබාගෙන ගොස් නිග්‍රෝධාරාමයේ දී දණ නමාගෙන වැඳගෙන ආරාධනා කළා. “ස්වාමීනි සම්මා සම්බුදු පියාණන් වහන්ස, මෙම චීවරය මගේ අතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයට පෙරවන්නට සකස් කළේ, එබැවින් තථාගතයන් වහන්ස, මා කෙරෙහි අනුකම්පාවෙන් මෙම චීවරය පිළිගෙන මා කෙරෙහි අනුකම්පාවෙන් පරිහරණය කර සේක්වා“ කියා ආරාධනා කළා.

මහා ප්‍රජාපතී දේවීන් වහන්සේ කල්පනා කළා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදී දින හතකින් මවුතුමිය ස්වර්ගස්ථ වුණා. එදා පටන් කිරි ටික පෙව්වේ මමයි. බත් කට කැව්වේ මමයි. වතුර නෑව්වේ මමයි. ඇඟ ඇතිල්ලුවේ මමයි. නියපොතු බෑවේ මමයි. ඇඳුම් ඇන්දෙව්වේ මමයි. තුරුලු කර ගෙන සැතපෙව්වේ මමයි.

ඒ උත්තමයන් වහන්සේ අද සවණක් ඝන බුදුරැස් විහිදුවමින්, දසත ලෝක ධාතුවෙහි දහම් වැසි වස්සවමින්, තුන්ලොවට පිහිට වෙමින් රන් කඳක් මෙන්, රන් ඇගෑයක් මෙන් බබළනවා. උන්වහන්සේට මාගේ අතින් ම චීවරයක් කරවා පූජා කරන්නට ඕනෑ කියල හිතලයි ඒ විදියෙන් වටිනා චීවරයක් සකස් කරල පෙරහරකින් ගෙනැවිත් භාග්‍යවතුන් වහන්සේට පූජා කළේ.

මෙතුමිය තුන් වාරයක් ම ආරාධනා කළා මේ චීවරය පිළිගන්න. ඒත් භාග්‍යවතුන් වහන්සේ චීවරය භාර ගත්තේ නැහැ. උන්වහන්සේ තුන් වාරයක් වදාළා.

සංඝේ ගෝතමී දේහි

සංඝේතේදින්නේ

අහංවේව පූජිතෝ

භවිස්සාමි සං ඝෝව

“ගෝතමීන් වහන්ස, මේ චීවරය සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කළා ම, මටත් පූජා කළා වෙනවා. සංඝයාට පූජා කළාක් වෙනවා.“

ඒ අවස්ථාවේ දී මේ සිදුවීම බලාගෙන සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට කුඩා කාලයේ දී කිරි පොවා හදාවඩා පෝෂණය කළ මේ සුළු මෑණියන්ට අනුග්‍රහ පිණිස, අනුකම්පා පිණිස, මේ චීවරය පිළිගන්නා සේක්වා කියා. මෙලෙස ආනන්ද ස්වාමීන් වහන්සේ ද තුන් වාරයක් ම ආරාධනා කළා.

ඒ අවස්ථාවේ දී ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ, ඉදිරියේ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ චීවරය අතේ තබාගෙන වැඳගෙන පසෙක සිටිද්දී, තවත් විශාල පිරිසක් දෙසවන් යොමා සවන් දී සිටිද්දී, ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා භාග්‍යවතුන් වහන්සේ වදාළා,

ආනන්දය, මේ ලෝකයේ තිබෙනවා පෞද්ගලික දාන දාහතරක්, මෙම බුදු සසුනේ සාංඝික දාන හතක් තිබෙනවා. දක්ෂිණ විශුද්ධි හතරක් තිබෙනවා. ඒ මොහොතේ දී මේ සියල්ල ම උන්වහන්සේ විස්තර කළා. ඒ අතරින් පළමුවෙන් ම පහදා වදාළේ පෞද්ගලික දාන දාහතරක් පිළිබඳ ව යි.

මතු සම්බන්ධයි

ඇසළ අමාවක

අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ.
06 බදාද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]