සැබෑ බ්‍රාහ්මණයා

සැබෑ බ්‍රාහ්මණයා

යස්ස කායෙන වාචාය
මනසා නත්ථි දුක්කතං
සංවුතං තීහි ඨානෙහි
තම්හං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති

බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වය ලබා ප්‍රථම වරට කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ දී ම, සුදොවුන් රජතුමාත්, ප්‍රජාපතී ගෝතමියත් සෝවාන් වූ බව සඳහන් වී ඇත. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයෙහි වැඩ විසූ කාලය තුළ මහා ප්‍රජාපතී ගෝතමිය ස්ත්‍රීන්ට බුදුසසුන්හි පැවිදි වීමට අවසර දෙන ලෙස බුදුරජාණන් වහන්සේට තුන් වාරයක් කියා සිටියා ය. එහෙත් ඒ අදහස භාග්‍යවතුන් වහන්සේ නො පිළිගත් හෙයින් ඈ අඬමින් යන්නට ගියා ය.

පසුව ශාක්‍ය කෝලිය යුද්ධයෙන් පසු, සසුන්ගත වූ ශාක්‍ය කෝලිය රජ කුමරුන්ගේ භාර්‍යාවන් ද පැවිද්දට කැමති කරවා ගෙන, ඒ හැමදෙනාත්, ප්‍රජාපතී ගෝතමියත් හිස මුඬු කරවා ගෙන කසාවත් පොරවා මැටි පාත්‍ර ඇති ව විසල්පුර බලා පිටත් වී, පයින් ම ගොස් විසල් පුරයට පිවිස, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කූටාගාර ශාලා විහාරයේ ගේට්ටුව ළඟ හිඳගත්හ. යම් විදියකින් භාග්‍යවතුන් වහන්සේ කාන්තා පක්‍ෂයට බුදුසසුන්හි පැවිදි උපසම්පදාව නො දෙන සේක් නම්, විහාරයට ඇතුල්වන්නේ නැතිවැ ම ආපසු යනවා ය යන දැඩි අදිටන් ඇති ව එසේ හිඳගත් වන ම හුන්හ.

ආනන්ද මාහිමි කොහි විසුවත් උන්වහන්සේගේ සිරිත විහාරස්ථානය පිරිසිදු කිරීමා දී කටයුතු කෙසේදැ යි පරීක්‍ෂා කොට බැලීම බැවින්, ඒ පිණිස උන්වහන්සේ කූටාගාර ශාලා විහාරයේ ගේට්ටුව දෙසට වැඩම කළහ. එවිට උන්වහන්සේට දක්නට ලැබුණේ කසාවත් හැඳී පිරිසක් දොරටුව සමීපයෙහි සිටින බව ය. ඒ පිරිස කවුරුදැ යි හොඳීන් බලත් ම මහා ප්‍රජාපතී ගෝතමිය දක්නට ලැබී, හැඳීන, “ඇයි මෑණියනි, දොරටුවෙන් පිට ඉන්නේ සිය පුතණුවන් (බුදුරජාණන් වහන්සේ) වැඩ වෙසෙන ආරාමයට ඇතුල් නො වන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කළහ.

“පින්වත් ආනන්ද හිමියනි, මම බුදුරජාණන් වහන්සේගෙන් තුන් වාරයක් කාන්තාවන්ට බුදුසසුන්හි පැවිදි උපසම්පදාව දුන මැනවැ යි ඉල්ලා සිටියෙමි. ඒ තුන් වාරයේ ම මගේ ඉල්ලීම ඉවත දමන ලදී. මේ වාරයෙහි අප බලාපොරොත්තු වන්නේ අපට අනුකම්පා උපදවා පැවිදි උපසම්පදා නො ලැබුණොත් මෙහෙන් ම ආපසු යනවා මිස, විහාරස්ථානය තුළට නොයෑමය”යි

ප්‍රජාපතී ගෝතමිය ප්‍රකාශ කළා ය.

එවිට ආනන්ද මාහිමි බුදුරජාණන් වහන්සේට ඒ බව සැල කළහ. එයට ද බුදුරජාණන් වහන්සේ “ආනන්ද, ස්ත්‍රීන්ට මේ ශාසනයෙහි පැවිදි බව දෙන්නට උත්සාහ නො ගන්න. මහන්සි නො වන්නැ”යි වදාළ සේක. ආනන්ද මාහිමියෝ ද නොයෙක් ආකාරයෙන් කරුණු පවසමින් කාන්තාවන්ට මෙ සසුන්හි පැවිදි උපසපන් බව දුන මැනවැ යි අයැද සිටියහ. අන්තිමේ දී බුදුරජාණන් වහන්සේ

“සචෙ ආනන්ද මහා පජාපතීගොතමී අට්ඨගරු ධම්මෙ පතිගණ්හාති සාවස්ස හොතු උපසම්පදා”

ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්මය පිළිගන්නී නම්, එය ම ඇයට උපසම්පදාව වේවා, යි දේශනා කළ සේක.

අෂ්ට ගරු ධර්මය

උපසම්පදාවෙන් අවුරුදු සියය ගතකළා වූ භික්‍ෂුණිය විසින් පවා එ දවස උපසපන් වූ භික්‍ෂුවට වැඳීය යුතු ය. දැක හුනස්නෙන් නැඟිටිය යුතු ය. ඇඳීලි බැඳ නමස්කාර කළ යුතු ය. සැලකිලි දැක්විය යුතු ය.

භික්‍ෂුණිය භික්‍ෂූන් නොමැති ප්‍රදේශයක වස් නො විසිය යුතු ය.

අඩ මසක් පාසා භික්‍ෂුණිය විසින් භික්‍ෂු සංඝයාගෙන් කරුණු දෙකක් බලාපොරොත්තු විය යුතු ය. පොහොය අසා දැන ගැනීම සහ අවවාද දීමට භික්‍ෂූන් වහන්සේ නමකගේ පැමිණීම ද යන දෙකයි.

වස් විසූ භික්‍ෂුණිය මහණ, මෙහෙණ යන උභතෝ සංඝයා ඉදිරියේ දැකීම්, ඇසීම්, සැක කිරීම්.

ගරුකාපත්තියක්,(ඇවතකට පැමිණි භික්‍ෂුණිය) උභතො සංඝයා කෙරෙහි පක්‍ෂයක් (දෙසතියක්) මානත පිරිය යුතු ය.

ප්‍රාණඝාතයෙන් වැළකීම පටන් විකාල භෝජනයෙන් වැළකීම තෙක් ඇති ශික්‍ෂාපද හයෙහි දෙවර්ෂයක් හික්මුණු සාමණේරියක විසින් ම, භික්ෂු භික්‍ෂුණී යන උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

මොන කරුණක් නිසාවත් භික්‍ෂුණියක විසින් භික්‍ෂුවකට ආක්‍රොෂ පරිභව නො කළ යුතු ය.

අද පටන් භික්‍ෂුණීන් විසින් භික්‍ෂුන්ට අවවාද නො කළ යුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කළ යුතු ය.

මෙකී ගරු ධර්ම අට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට ප්‍රකාශ කොට

“ආනන්දය, මේ අට මහා ප්‍රජාපතී ගෝතමිය පිළිගන්නවා නම්, ඇයට ඒ පිළිගැනීම ම උපසම්පදාව වන බව”ද දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ආනන්ද තෙරණුවෝ මහා ප්‍රජාපතී ගෝතමියට ගරු ධර්ම අට ප්‍රකාශ කළහ. එය ඇසූ මහා ප්‍රජාපතී ගෝතමිය,

“ආනන්ද මාහිමිපාණන් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඔය අෂ්ට ගරු ධර්මය මා විසින් පිළිගනු ලබන්නේ, අලංකාරයට කැමැති තරුණයකු සුවඳ පැන් ස්නානය කොට, කසීසළු හැඳ පොරවා සිටින විට දෑසමන් මල් මාලාවක් ඔහුට ලැබුණොත් එය මහත් ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගෙන හිසැමතැ පැළඳගන්නාක් මෙනැ”යි කියා මහත් ගෞරවයෙන් අෂ්ට ගරු ධර්ම පිළිගන්නා ලදී. ආනන්ද මාහිමියෝ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගත් බව “පටිග්ග හීතා භන්තේ මහාපජාපතියා ගොතමියා අට්ඨ ගරු ධම්මා, උපසම්පන්නා භගවතො මාතුච්ඡා”, “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමිය විසින් අෂ්ට ගරු ධර්මය පිළිගන්නා ලදී. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන්දැ උපසපන් වූදෑ”ය.

මෙසේ මහා ප්‍රජාපතී ගෝතමිය උපසපන් වීමෙන් පසු, බුද්ධ නියමයෙන් අනෙක් කාන්තා පිරිස මහා සංඝ රත්නයෙන් උපසම්පදාව ලැබූහ. මෙසේ මහා ප්‍රජාපතී ගෝතමියත්, සෙසු කාන්තා පිරිසත් උපසපන් ව සසුන් පිළිවෙත් පුරමින් වෙසෙන විට

“මහා ප්‍රජාපති ගෝතමියට උපාධ්‍යායයෙක් නැත. ගුරුවරයෙක් නැත. ඉබේ සිවුරු හැඳ පොරවා තිබේ.” යන කතාවක් ඇති විය. ඒ නිසා බොහෝ දෙනා අතරැ කුකුස් පහළ විය. මෙහෙණන් අතර ඇති වූ මේ කතාව ගැන බුදුරජාණන් වහන්සේ “මම ම ඇයගේ ආචාර්‍ය වෙමි. මම ම උපාධ්‍යාය වෙමි. කාය දුෂ්චරිතයෙන් තොර වූ රහතන් වහන්සේ කෙරෙහි කුකුස් ඇති කිරීම නුසුදුසු ය”යි වදාරා පෙර සඳහන් ගාථාව දේශනා කළ සේක.

ගාථාවේ අදහස

යමකුගේ කයින්, වචනෙන්, මනසින් යන තිදොරින් සිදුවන වරදක් නැත්නම්, ඒ තුන් තැනින් සංවර වූ ඔහු බ්‍රාහ්මණයෙකැ යි මම කියමි.

මේ ගාථා ධර්මය දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය රහත් මෙහෙණින් වහන්සේ නමක් බව හෙළි කළ සේක.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව තුන්දොර සම්පූර්ණයෙන් සංවර භාවයට පත් වූ කල්හි රහත් වී යැයි හැඳීන්වේ. මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්මය පිළිගෙන, ඒ අෂ්ට ගරු ධර්මයේ පරිදි භික්‍ෂුණී පරම්පරාවට ම සැකසෙන පරිදි මෙහෙයවීමට අදහස් කරන ලදී.

ඇය පෙරුම් පුරාගෙන ආවේ අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි දී රහත් වීමටත්, මෙහෙණ සස්න පිහිටුවීමටත් ය. එතුමියගේ ඒ අදහස සම්පූර්ණ විය. ඇය සසර දුක් දුරු කොට නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළාය.

රහතන් වහන්සේ සිත, කය, වචනය යන තිදොරින් සිදුවිය හැකි වූ යම්තාක් අකුසල ධර්ම වේ නම්, ඒ සියල්ල ම මාර්ගඵල පිළිවෙළින් නසා, ඉතා පිරිසිදු තත්ත්වයට පත් වන්නේ ය. රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය දමනය සිදුවන්නේ මොන විදියේ රූප ශබ්දා දී අරමුණුවල දී වුවත් නො සැලෙන කිසි අමුතු ගතියක් ඇති නොවන අයුරිනි. උන්වහන්සේ ඉෂ්ට, අනිෂ්ට වශයෙන් අරමුණු ගැනීමෙක් නොමැත. එබඳු ගති ඇත්තේ බ්‍රාහ්මණ නමි.

ඇසළ  පුර අටවක

ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]