[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතය ම දවන පාපකාරී විපාක

ජීවිතය ම දවන පාපකාරී විපාක

අථ පාපානි කම්මානි - කරං බාලො න බුජ්ඣති
සෙහි කම්මෙහි දුම්මෙධො - අග්ගිදඩ්ඪොව තප්පති

අඥාන පුද්ගලයා පව්කම් කරන විට එහි විපාක ගැන නොදනී. තම පාප කර්මවල විපාක දෙන විට, ගින්නෙන් දැවුණු අයකු මෙන් දුක් විඳීයි.

එක් දිනක් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, ලක්ඛණ තෙරුන් වහන්සේ ද සමඟින් ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියහ. අතරමඟ දී මහ මුගලන් තෙරුන් විසින් ගිනි ගනිමින් දැවෙමින් ඒ මේ අත ගමන් කරන යොදුන් විසිපහක් දිග පිඹුරු ප්‍රේතයකු දක්නා ලදී. එය දුටු මහ මුගලන් තෙරණුවෝ සිනා පහළ කළහ. එලෙස සිනා පහළ කිරීමට හේතු කවරේ දැයි ලක්ඛණ තෙරණුවෝ විමසා සිටියහ. එහිදී මහ මුගලන් තෙරුන් වහන්සේ පවසා සිටියේ බුදුරදුන් සමීපයේ දී, ඊට හේතු පහදා ගත හැකි බවයි. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ආරාමයට සපැමිණි ලක්ඛණ තෙරුන් විසින් පෙර පරිදි ම පැනය විමසන ලදී. එම පැනය අරභයා භාග්‍යවතුන් වහන්සේ අතීත කතා පුවත දේශනා කළ සේක.

අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ දී සුමංගල නම් සිටුවරයෙක් විය. ඔහු එක්සිය විසි රියනක් දිගට මහා විහාරයක් කොට බුදු පාමොක් මහ සඟනට පූජා කළේ ය. පසුදා උදෑසන බුදුරදුන් වෙත යන උපාසක තෙමේ නගරයට ඇතුළු වන ප්‍රධාන දොරටුව අභියස වූ එක් ශාලාවක මඩ තැවරුණු පාද සහිත ව නිදා සිටි එක්තරා සොරකු දැක ‘මඩ තවරාගෙන රාත්‍රියේ ගමන් කර දවල් නිදන්නෙකැයි’ කීවේ ය. එය අසා කිපුණු සොරා වහා අවදි වී සිටුතුමා දෙස බලා හොඳීන් හඳුනාගෙන වෛර බැඳ ගත්තේ ය.

පසු දිනක සොරා විසින් සිටුතුමාගෙන් පළි ගන්නෙමි’යි සිතා සත් වරක් සිටුතුමාගේ කුඹුර ගිනිබත් කළේ ය. ඉන් වෛරය පිරිමසා ගැනීමට නොහැකි වූ සොරා සත් වරක් සිටුතුමාගේ ගවගාලේ සිටි ගවයන්ගේ ද පාද සින්දේ ය. එයින් ද නොනැවතුණු ඔහු සිටුතුමාගේ සුළු සේවකයා සමඟ මිත්‍රකමක් ඇති කර ගත්තේ ය. පසුව සිටුතුමා වඩාත් ප්‍රිය කරන්නේ කුමකට දැයි අසා දැනගත් සොරා විසින් බුදුන්ගේ ගඳකිළිය දවා අළු කරන ලදී. බුදුන්ගේ ගඳකිළිය ගිනිබත් වන බව ඇසූ සිටුතුමා වහා එහි පැමිණ ගිනි ගෙන දැවෙන ගඳකිළිය දෙස බලා සිටියේ ය. මොහොතකින් ඔහු අත්පොළසන් දෙන්නට විය. අන්තේවාසික පිරිස ඊට හේතු විමසූහ. ඊට පිළිතුරු දෙමින් සිටුතුමා පැවසූයේ එම කුටිය ගිනි ගෙන දැවීමෙන් තවත් පිනක් සිදු කර ගැනීමට මඟ පෑදුණු බවයි. ඒ දුටු සොරා තව තවත් ප්‍රකෝප වී සිටුවරයා මරා තම කෝපය සංසිඳුවා ගනිමියි සිතා කිනිස්සක් ද ගෙන දින හතක් විහාරයට පැමිණියේ ය. එය ද ව්‍යර්ථ විය. මෙම දින හත පුරාවට සිටුවරයා විසින් බුදුරදුන් ප්‍රමුඛ මහ සඟ රුවන විෂයෙහි මහ දන් පවත්වන ලදී. සත් වන දිනයේ දී සිටුතුමා බුදුරදුන් ඉදිරියේ දී තමන්ට මුහුණ පෑමට සිදු වී ඇති කරදරය පිළිබඳ පවසා සිටියේ ය. එසේ ම අවසන් දිනයේ දානයේ අනුසස් එම හානි සිදු කරන ලද පුද්ගලයාට දීමට ද අවසර ඉල්ලා සිටියේ ය. එම පුවත ඇසූ සොරා විසින් සිටුතුමා අභියසට පැමිණ මෙපමණ අයහපතක් කළ ද කිසිත් අමනාපයක් නොමැති ඔබට මා අතින් සිදු වූ සියලු දෝෂයන්ට කමා කරන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ ඇසූ සිටුතුමා මෙපමණ අවැඩක් කිරීමට හේතු කවරේ දැයි විමසුවේ ය. ඊට පිළිතුරු දෙමින් සොරා ප්‍රකාශ කර සිටියේ නුවර දොරටුව අසල ශාලාවේ නිදා සිටි මොහොතේ දී තමන් අරභයා සිදු කරන ලද ප්‍රකාශයට පළිගැනීම් වශයෙන් එලෙස කටයුතු කළ බවයි. ඒ ඇසූ සිටුතුමා විසින් තමා අතින් සිදු වූ දෝෂයට සොරාගෙන් සමාව ඉල්ලා සිටියේ ය.

එනමුදු සොරා විසින් කළ පවිටු ක්‍රියාවට විපාක වශයෙන් මරණින් මතු අවීචි නිරයෙහි උපන්නේ ය. මෙම සිදුවීම අරභයා බුදුරජාණන් වහන්සේ විසින් ඉහත ගාථාව දේශනා කරන ලද සේක.

මෙම කතා පුවත අපට පවසන්නේ මහඟු පණිවිඩයකි. එනම් සියලු බුදුවරුන්ගේ දේශනාවයි.

සියලු පව් නො කිරීමයි. මක් නිසාද යත්, පව් කිරීම දුකට හේතු වන හෙයිනි. පුද්ගලයා කායික ව හෝ වාචසික ව හෝ මානසික ව හෝ පවිටු ක්‍රියා සිදු කරන්නේ, තමා කරන ක්‍රියාව සහ එහි විපාකය පිළිබඳ ව ඇති අනවබෝධය නිසාවෙනි. බන්ධනාගාරගතව දඬුවම් විඳීන අයකු පවා පසුතැවෙනුයේ අනවබෝධයෙන් කටයුතු කළ නිසාවෙනි. ලෝවැඩ සඟරාවේ සඳහන් ‘කරන කලට පව් මීරිය මීසේ - විඳීන කලට දුක් දැඩි වෙයි ගිනි සේ’ යන පද්‍ය පාඨයෙන් කියැවෙනුයේ ද එය ම ය.

යමක් කරන්නට මත්තෙන් එහි විපාකය හෝ ප්‍රතිඵලය හෝ කෙබඳු වන්නේ ද යන්න එක් වතාවක් නොව සියක් වතාවක් සිතා බලා මෙලොවටත්, පරලොවටත් වැඩ දායක වන දෙයක් ම සිදු කිරීමට සිත්හි තබා ගනිමු.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]