|
පොසොන් පුර පසළොස්වක පෝ දා
2026-06-29
මෙත් සිත් වඩමු
අනුබුදු මිහිඳු මාහිමියන් ලක් වැසියන්ට සම්බුදු දහම හඳුන්වා දුන්නේ අද වන් උතුම්
පොසොන් පුර පෝ දාක ය. එදා පටන් “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී’ යන සම්බුදු වදනට අනුව
අපේ මුතුන් මිත්තෝ ධර්මානුකූල දිවි මඟට පිවිසෙමින් මේ ජීවිතයේත්, පරලොව ජීවිතයේත්
රැකවරණය ලැබූහ.
එදා අපේ සමාජයේ සෑම බොදු හදවතක ම විද්‍යමාන වූයේ ඒ ශ්‍රී සද්ධර්මයේ අසිරිය යි.
පස්පවින් මිදුණු අන්‍යෝන්‍ය සුහදත්වය අගය කළ, ඔවුනොවුන්ට ගරු කළ, සරල බව අගය කළ,
ආදරය, කරුණාව හැඳින ගත්, එකිනෙකා කෙරෙහි සංවේදී වූ ඒ මිනිසුන් අපට දායාද කළ
වටිනාකම් අද ද ඉතිරිව තිබේ.
තමන්ට අර්ථවත් ව, අනුන්ට අනර්ථයක් නොවී ධර්මානුධර්ම පටිපන්නව ජීවත්වන සැබෑ බෞද්ධයන්
අදට ද ජීවත්වන නිසා බෞද්ධ රටක් ලෙස අපි ඉදිරියෙන් සිටිමු. එහෙත් ඒ වටිනාකම් ගිල
ගන්නා පිළිල තැනින් තැන මතුවෙමින් තිබෙන බව ද මනාව ධාරණය කර ගත යුතු ව තිබේ. පුංචි
දරුවාගේ සිට ම බෞද්ධකම ආරක්ෂා කර ගන්නට වෙර වීරිය වැඩීමේ වගකීමට දැනුම් තේරුම් ඇති
වැඩිහිටියන් වගවිය යුතු වේ.
ඝන පිළිල හටගත් සල් වනයක් දකින නුවණැති මිනිසෙක් සල් වනයේ දියුණුව කැමැති ව එහි
ගොස් පිළිල නිසා හටගත් ඕජා ගලන ළපටි සල් අතු කපා ඉවත් කරයි. මුළු වනය ම පිරිසිදු
කරයි. සල් පැළවලට සාත්තු කරමින් පෝෂණය කරයි. එවිට සල් වනය හොඳින් වැඩෙන්නාක් මෙන්
යම් පුද්ගලයෙක් අකුසල් දුරු කොට කුසල් දහම් වඩන්නේ නම්, ශාසනයෙහි වැඩිදියුණු වන බව
අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
සාල වනයේ විනාශයට හටගත් පිළිල සේ අපේ ආධ්‍යාත්මය වනසන පිළිලයෝ ද වෙති. ඊර්ෂ්‍යාව,
ක්‍රෝධය, වෛරය, පළිගැනීම එයින් සමහරෙකි. අද අපි ඉදිරියේ වන අසමගිකම්, කලකෝළාහල,
රැවටීම් ආදී අනේක දුර්ගුණ එහි පලයන් ය. තමන් තමන් දෙස, තමන් සමඟ ජීවත්වන අය දෙස
මෛත්‍රියෙන් නොදැකීම මේ සියලු නොවටිනාකම්වලට මුල ය.
සැබෑ බෞද්ධයා වෛරී පුද්ගලයෙක් නොවේ. ලෝකයට මෛත්‍රියේ සිසිලස බෙදන්නෙකි. සෑම
බෞද්ධයෙක් ම ඒ සිතිවිල්ලෙහි සිත පිහිටුවනවා නම් වෛරයෙන්, ක්‍රෝධයෙන් සිත ගිනි ගන්නා
මොහොතේ ම එය නිවා දමන්නට දක්ෂ වනු ඇත.
ශ්‍රී සද්ධර්මයෙහි මෙත් සිත පැවැත්විය යුතු ආකාරය විස්තර කෙරෙන අපූර්ව සදූපදේශයක්
වේ. එයට අනුව යම් පුද්ගලයෙක් දැල්වෙන ගිනි සුළකින් ගංගා නදිය රත් කරන්නෙමි’ය කියනවා
නම් එය ඔහුට කිසිසේත් කළ නොහැක්කකි. ගංගා නදිය ඉතා ගැඹුරු ය. ප්‍රමාණ කළ නොහැකි ය.
එය රත් කරන්නට සැරසෙන්නාට ඇතිවන්නේ වෙහෙස පමණි. ගංගා නදිය හා සමාන මෙත් සිත
පතුරුවන්නට හැකි නම් එහි හික්මෙන්නට හැකි නම් තමන්ගේ අභ්‍යන්තරයේ හටගන්නා යුද්ධයේ
පටන් පවුල තුළ ගම, රට, ලෝකය තුළ දැවෙන ගිනිදැල් නිවීමේ එකම මඟ එය ම වනු ඇත. අද වන්
උතුම් පොසොන් පෝදාක මෙත් සිත පතුරුවා එහි හික්මීමට සැවොම අදිටන් කර ගනිමු. |