[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දියුණුවේත් පරිහානියේත් තීරකයා සිතයි

දියුණුවේත් පරිහානියේත් තීරකයා සිතයි

බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස්පහක් ම දේශනා කළ ධර්මයේ මූලික අරමුණ, ඉලක්කය අපේ් සිත හැදීම යි. අප දුක් සහිත ලෝකයට ඇදගෙන යන්නේ සිතයි. සංසාර ගමනේ අප එහාට මෙහාට ඇදගෙන යන්නේ අපේ සිත යි. ඒ වගේම මේ දුක් වේදනා සහිත ලෝකයෙන්, අඬන වැළපෙන ලෝකයෙන්, හැල හැප්පෙන ලෝකයෙන් අප නිදහස් කරන්නේ ද අපේ සිතම යි. බුදුදහමෙහි මූලික පරමාර්ථය සිත නිවැරැදි මඟට යොමු කිරීම යි. සිත නිවැරැදි ව, ගැඹුරින් අවබෝධ කරගත්, සිත විනිවිද දුටු ශ්‍රේෂ්ඨතම උත්තමයා අමා මෑණි බුදුපියාණන් වහන්සේ යි. සියලු බුදුවරුන් සිත විනිවිද දුටු අයයි. මේ දැක්ම, මේ අවබෝධය ලෝකයේ වෙනත් කිසිවකුට නොවේ. බුදුහාමුදුරුවෝ යනු මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා යි. ශ්‍රේෂ්ඨම මනෝ වෛද්‍යවරයා යි. සිත මුල් කරගෙනයි තුන් පිටකයක් ම දේශනා කර තිබෙන්නේ. සිත නරක් වුණොත් එයින් සිදුවන්නේ සංසාර ගමන යි. සිත පිරිසිදු නම් ප්‍රතිඵලය නිර්වාණය යි. මුළු තුන් පිටකයෙන් ම පෙන්නුම් කරන්නේ සංසාරය හා නිර්වාණය යි. සිත කියන්නේ මහා ප්‍රබල ශක්තිවේගයක්. මේ ලෝකයේ විවිධ ශක්තීන් තිබෙනවා. ඒ ශක්තීන් අතර ප්‍රබල ම ශක්තිය තමයි චිත්ත ශක්තිය.

මෙහි සිත පිළිබඳ සලකා බැලිය යුතු කරුණූ දෙකක් පෙන්නුම් කරනවා. ‘අභාවිතං’ සිත නිවැරැදි ක්‍රමයට, හරි ක්‍රමයට පරිහරණය නොකිරීම, ‘අපාතෝ භූතං’ නිවැරැදි ඉලක්කයක්, අරමුණක් නොමැති ව සිත ක්‍රියාත්මක කිරීම, සිත නිවැරැදි කර ගැනීමක් නැත්නම් ඔහුට අනර්ථයක් ම සිදුවන බව පෙන්නුම් කරනවා. මේ අනුව හිත අපවිත්‍ර නම්, අපිරිසිදු නම්, නිවැරැදි ඉලක්කයක් වෙත ගමන් නොකරන්නේ නම් ඒ තුළින් විශාල අනර්ථයක් සිදුවන බව පෙන්වා දෙනවා. “භාවිත” සිතක් එනම්, නිවැරැදි ව දියුණුවට පත්වන සිතක් නම් ‘පාතෝභූත’ පිරිසිදු, කුසල් අරමුණූ කරා ගමන් කරන සිතක් නම් ‘මහතො අත්ථාය සංවත්තති’ ඒ තුළින් විශාල දියුණුවක් ලබනවා. මේ අනුව සිත නිවැරැදි ව, වැරැදි සිතුවිලිවලින් තොරව භාවිත කළ යුතු යි. පුද්ගලයාගේ දියුණුව සිදු වන්නෙත් ඒ අනුව යි. අපේ සිත නරක්වීමටත්, පවිත්‍ර වීමටත් බලපාන ප්‍රධාන සාධක ඇස්, කන්, නාසාදි ඉන්ද්‍රියයන් පරිහරණය යි. මේ ඉන්ද්‍රියය සම්බන්ධ වීමෙන් ඇතිවන ඇලීම හා ගැටීම අපගේ සිත් නරක්වීමට බලපාන ප්‍රධාන සාධක වන බව පැහැදිලි යි. ඇලීමක් නැතිව, ගැටීමක් නැතිව අපේ හිත පවත්වා ගන්න පුළුවන් නම්, ඒ හිත පවිත්‍ර, පිරිසිදු, ප්‍රභාෂ්වර, දීප්තිමත් සිතක් බවට පත්වෙනවා. සිත ඇලීමක්, ගැටීමක් නොවන අයුරින්, එනම් තණ්හාවක්, ග්‍රහණයක්, බැඳීමක් නොවන අයුරින් පවත්වා ගන්න පුළුවන් නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මූලිකම පරමාර්ථය.

ඇස මහ මුහුද වගෙයි. මහ මුහුදට කොපමණ වතුර ආවත් භාර ගැනීමට මහ මුහුද සූදානම්. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ වගේම තමයි ඇස දකින, බලන, පෙනෙන හැම දෙයක් ම පිළිගැනීමට සූදානම්. පෙනෙන දේ සමඟ ඇලෙනවා. ලස්සන රූපයට ඇලෙනවා. අකැමැති දෙයට ගැටෙනවා. ලස්සන රූපය පසුපස පන්නනවා. ඒ දෙස බලා වින්දනයක් ලබන්නට උත්සාහ කරනවා, එය කෙසේ හෝ ලබා ගැනීම තමයි එකම අරමුණ.

තමන් ආශා කරන දේ, පි‍්‍රය කරන දේ ලබා ගන්න බැරි වුණාම සමහරු මොනතරම් සිත් වේදනාවට පත්වෙනවා ද? ඇස පිනවීමට ලොල්වන පළඟැටියා පහන් ආලෝකය දුටුවිට එයට ළඟා වෙනවා. එය වටා කැරකෙනවා. තව තවත් එයට සමීප වීමට බලනවා. නැවතීමක් නෑ. දැල්ල වැළඳ ගන්නවා. පිළිස්සී මිය යනවා. ඇස පිනවා ජීවිතක්ෂයට පත්වෙනවා.

මදකිපුණු අලියාගේ කම්මුල්වලින් වැගිරෙන ශ්‍රාවයට වශීවන මී මැස්සා නාසය පිනවීමට යනවා. කන්පෙති පහරින් දිවි අහිමි කර ගන්නවා.

දිව පිනවීමට ලොල්වන මාළුවා බිලී කොක්කට හසුවීමෙන් නැසෙනවා. ස්පර්ශය ලබන්නට යන මකුළුවා ද ජීවිතය නැති කර ගන්නවා. මෙසේ පස්කම් සැප විඳීමට යන සත්ත්වයාට ගැලවීමක් නම් නෑ. වඳුරන් මරා ගැනීමට අවශ්‍ය වැද්දා වඳුරු පුවරුවක් සකසනවා. ලෑල්ලක් හෝ ගසක පැතලි තැනක තද ලාටු ගල්වනවා. අත තිබ්බොත් ගලවා ගන්න බැරි තරමේ ලාටු වර්ග තනා අර ලෑලි පුවරුව මත හෝ කඳෙහි සමතලා කොටසෙහි තවරනවා. ලාටු පුවරුව මැද රසවත්කෑමක් තබනවා. කෑමෙහි ආශාවෙන් එන වඳුරා කෑම ගැනීමට අත තබනවා. ඒ ලාටු පුවරුවෙහි අත ඇලෙනවා. ඇලුණුු අත ගලවා ගන්නට නොහැකි යි. අනිත් අත ද ඇලෙනවා. ඒ මත මූණ තබනවා. මූණත් ඇලෙනවා. වැද්දා පැමිණ වඳුරා මරා රැගෙන යනවා. කොටස් පහම ඇලීමෙන් වඳුරා විනාශ වන්නා සේ පංචකාම සම්පත්තියෙහි ඇලෙන පුද්ගලයා විනාශයට පරිහානියට ගමන් කරන බව උපමා මඟින් පෙන්නුම් කර දී තිබෙන්නේ.

අනුන්ගේ විවේචන, නින්දා, අපහාස අසා අප මොනතරම් තරහෙන් ඒ අය දෙස බලනවා ද? වෛරයක් ඇති කර ගන්නවා ද?

කතාව, ක්‍රියාව, වින්දනය, ආදි කොට ඇති සෑම පැත්තකින් ම දිව ආරක්ෂා කර ගැනීම තම යහපැවැත්මට ප්‍රබල ශක්තියක් වනවා. තමන්ටත්, අනුන්ටත් අහිතකර නොවන වචන පිට කිරීමට වග බලා ගත යුතු යි. වචනය නිසා වාද විවාද, ගැටුම් ඇතිවිය හැකි යි. වචනය දුර දිග ගොස් මරණීය තර්ජන පව් ඇතිවිය හැකි යි. හොඳ වචන මොනතරම් සුවයක් ගෙන දෙනවා ද? බුදුරජාණන් වහන්සේ පිට කළ සෑම වචනයක් ම මිනිසාට මොනතරම් සුවයක්, සැනසිල්ලක් ලබා දුන්නා ද? ඒ වදන් කිසිම කෙනකුට වේදනාවක් අසහනයක්, පීඩාවක් ලබාදුන් වචන නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම වචනයක් ම පිරිසිදු යි. කනට සුවදෙනවා. හදවතට සැනසිල්ල දෙනවා.

අපි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් එකිනෙකාගේ අඩුපාඩු කතාකරන අවස්ථා තිබෙනවා. කිසිවකුට ප්‍රයෝජනයක් නැති, හිස්වචන කතා කරන අවස්ථා තිබෙනවා. දුර්විපාක නොසිතා, පිටකරන වචනයෙන් සිදුවන භයානක විපාක මොනතරම් ද? මේ නිසා සෑම වචනයක් ම සිහි බුද්ධියෙන්, කල්පනාවෙන්, සිදුවන වැඩ අවැඩ ගැන කල්පනා කර බලා ප්‍රවේශමෙන් පිට කිරීමට අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතු යි.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අප නිතරම “මිතභාණි” විය යුතු බව යි. අනවශ්‍ය දේ කතා නොකර, අවශ්‍ය දේ පමණක් කතා කරන අය විය යුතු බව යි. බුදුහාමුරදුවෝ “අප්ප සද්දකාමා” ගුණයෙන් යුක්ත යි. බුදුරජාණන් වහන්සේ දිනක් පිඬු සිඟාවඩින විට පිණ්ඩපාතය සඳහා තව කල්වේලා ඇති නිසා ආසන්නයේ පිහිටි අන්‍ය ආගමික ආරාමයකට වැඩම කළා. එම ආරාමයෙහි ප්‍රධාන පූජක තැන බුදුරදුන් තම ආරාමයට වඩිනු දැක ඉතා ඉක්මනින් තම ආරාමයෙහි පූජක පිරිස කැඳවා මෙසේ ප්‍රකාශ කර ඇත.

“ගෝතමො බුද්ධෝ ඉධාගච්ඡති, සෝ අප්ප සද්දකාමෝ, අප්ප සද්දා හොන්තෝ හොන්තු” ගෞතම බුදුරදහු මේ ආරාමයට වැඩම කරති. උන්වහන්සේ නිහඬතාව අගය කරන කෙනෙකි. ඔබ හැම දෙනාම නිහඬ ව සිටිත්වා” මෙසේ තම පිරිසට ප්‍රධාන පූජක තුමා කීවේ ඇයි? හේතුව ඒ ශ්‍රාවක පිරිස අනවශ්‍ය කතාවලින් යුතු පිරිසක් නිසා ය. ඔවුන්ගේ ඝෝෂාකාරි කතාබහ නතර කිරීම අරමුණු කරගෙන නිහඬ ව සිටින ලෙස ඔවුන්ට දැනුම් දුන්නේ.

බුදුරදුන්ගේ නිහඬ පැවැත්ම අන්‍ය ආගමිකයන් පවා අගය කළ අයුරු මෙවැනි සිද්ධීන්ගෙන් පෙන්නුම් කරයි. අනවශ්‍ය කතාවලින් තොරව අවශ්‍ය, ඵලදායි, ප්‍රයෝජනවත් කතාබහට අප හුරු පුරුදු වෙමු.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]