[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විශිෂ්ට පුද්ගලයකු වීමේ යුතුකම හා වගකීම

විශිෂ්ට පුද්ගලයකු වීමේ යුතුකම හා වගකීම

බුදුරජාණන් වහන්සේ ලොව පැවති සියලු තතු තමාගේ ම බුද්ධියෙන් දැන ගත්හ. ඒ නිසා ම උන්වහන්සේ සම්මා සම්බුද්ධ වූහ. උන්වහන්සේ දෙවියකු නොවූහ. බ්‍රහ්මයකු නොවූහ. යක්ෂයකු නොවූහ. මිනිසකු වූහ. එහෙත් ඒ උත්තරීතර මිනිසෙකි. මඬෙහි උපත ලද නෙළුම ජලයෙන් මතුව, ජලය නොතැවරී සිටින්නා සේ උන්වහන්සේ මිනිස් ලොව උපත ලබා ඒ මිනිසුන් තුළ වූ නරක ක්‍රියාකාරකම්, වචන, සිතුවිලි තුළ නොගැටී නෙළුමක් සේ මතුව සිටියහ. දෙවිබඹුන්ට සම නොවී අසම සම වන්නේ එබැවිනි.

උන්වහන්සේගේ ධර්මය විශිෂ්ට ධර්මයක් වන්නේ ඇයි? ඒ ධර්මය තුළින් ජීවත්වන කාලය තුළ පුද්ගලයාට සතුට, දියුණුව ලබා දෙයි. මරණින් මත්තේ සතුට, දියුණුව ලබා දෙයි. බොහෝ ශාස්තෘවරුන්ගේ ධර්මය තුළින් මරණින් පසුව ලබන දියුණුව, සතුට දක්වයි. කිසිම ශාස්තෘවරයකු සසර ගමන නිමා කරන ධර්මයක් දේශනා නොකරයි. ආත්මවාදයක් දේශනා කරන ඔවුහු ඒ ආත්මය ස්ථිර වූවක් ලෙස දක්වයි. යළි නූපදින්නක් ලෙස දක්වයි. මේ ආත්මවාදය බුදුරදුන්ගේ ධර්මය තුළ ප්‍රතික්ෂේප වෙයි. සසර ගමන නතර කළ හැකි බව හා ඒ ගමන නතර කරන මඟ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් පමණි. එය ඒ ධර්මයෙහි ඇති විශිෂ්ටත්වයකි.

පුද්ගල විමුක්තිය තුළ පුද්ගල නායකත්වය ගොනු කළේ බුදුරජාණන් වහන්සේ පමණි. පුද්ගලයාගේ පිරිසිදුවීම හෝ අපිරිසිදුවීම හෝ සිදු වන්නේ වෙනත් අයකුගෙන් නොව ඔහුගේ ම ක්‍රියාකාරකම්, වචන, සිතුවිලි තුළිනි.

පුද්ගල දියුණුව ඇත්තේ පුද්ගල සිත තුළයි. සිත සියල්ලට මුල් වෙයි. සියල්ලට නායකත්වය ගනියි. සියල්ල උපදින්නේ සිත තුළිනි. ප්‍රසන්න සිත තුළ ප්‍රසන්න ක්‍රියාකාරකම්, වචන සිතුවිලි උපදියි. එවිට සතුට, දියුණුව ලබයි.

අප්‍රසන්න සිත තුළ උපදින්නේ ඊට අදාළ දේ බැවින් අසතුට, දුක හට ගනියි. එවන් උදවිය සතුට, දියුණුව නොලබයි.

සිත තුළ නැඟෙන යම් අපවිත්‍ර සිතුවිලි උකහා දැමීම බුද්ධත්වය යි. නිවනයි යන්න උන්වහන්සේ දේශනා කරති. දස මාරසේනාවක් පරදා උන්වහන්සේ බෝ මැඩ දී බුද්ධත්වය ලැබූ බව ප්‍රකාශ කරයි. මේ දස මාර සේනාව යනු පුද්ගල සන්ථානය යි. පුද්ගල සිතෙහි වූ අපවිත්‍ර සිතුවිලි වෙයි. පධාන සූත්‍රය, මහා පදුම සූත්‍රය, මාර සංයුක්තය, මහා සීහ නාද සූත්‍රය මේ පිළිබඳ සඳහන් ව ඇත. මේ සියලු සූත්‍ර දේශනාවලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, තමන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ බාහිර අදෘශ්‍යමාන බලවේගයක ආධාරයෙන් නොව, සිත ඇතුළේ උපදින මාර සේනාව (අකුසල) ස්වයං විවේචනයෙන් හා සිහිනුවණින් හඳුනාගෙන, ප්‍රඥාව සහ වීර්යය මඟින් ඒවා සහමුලින් ම නිරුද්ධ කිරීමෙන් බව ය.

මාර සේනා යනු සිත තුළ හටගත් සිතුවිලි සමූහයකි. කාම (පළමු සේනාව) පස්කම් සැප කෙරෙහි ඇතිවන ආශාව, ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශයන්ට සිත ඇදී යාම, අරති (දෙවන සේනාව) මහණදම් පිරීම හෝ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි හෝ ඇතිවන නොඇලීම, කම්මැලිකම සහ කලකිරීම, බුප්පිපාසා (තෙවන සේනාව) බඩගින්න සහ පිපාසය (දීර්ඝ කාලයක් කුසගින්නේ සිටීමේ දී ඇතිවන කායික පීඩාව) තණ්හා (හතරවන සේනාව) විවිධ දේ කෙරෙහි ඇතිවන දැඩි ලාලසාව හෝ ඇලීම ථීනමිද්ධ (පස්වන සේනාව) සිතේ සහ කයේ ඇතිවන අලසකම, නිදිමත ගතිය සහ මන්දෝත්සාහී බව, භය (හයවන සේනාව) පාළු වනාන්තරයක තනිවම සිටීමේ දී ඇතිවන බිය, තැතිගැන්ම, විචිකිච්ඡා (හත්වන සේනාව) ධර්මය කෙරෙහි හෝ තමන් යන මාර්ගය හෝ නිවැරදි ද යන්න ගැන ඇතිවන සැකය සහ දෙගිඩියාව, මක්ඛ/ ථම්භ (අටවන සේනාව) ගුණමකුකම (අනුන්ගේ ගුණ මැකීම) සහ තදගතිය හෙවත් අකීකරු බව මිච්ඡායස (නවවන සේනාව) තමන්ට ලැබෙන ලාභ සත්කාර, කීර්තිය, ප්‍රශංසාව සහ වැරැදි ක්‍රමවලින් ලබන යසසට සිත රැවටීම, අත්තුක්කංසන පරවම්භන (දසවන සේනාව) තමන් උසස් කොට සිතීම (ආත්ම අභිමානය වැඩිවීම) සහ අනෙක් අය පහත් කොට සැලකීම. මේ සියල්ල සිතෙහි ඇති අප්‍රසන්න සිතුවිලි වේ. අප්‍රසන්න සිතුවිලි තුළින් ගොඩනැඟෙන ක්‍රියාකාරකම්, වචන අප්‍රසන්න වේ. ඒවා තුළින් පුද්ගලයාට, සමාජයට හානිකර දේ වේ. සමාජය තුළ විවිධ අපරාධ සිදුවන්නේ එබැවිනි. ඒ අපරාධ කරණ කොටගෙන පුද්ගල සතුට, සමාජ සතුට ගිලිහී ඇත. සතුට නැති තැන දියුණුවක් නැත. සියලු බුදුවරු දේශනා කරන්නේ තමන්ගේ සිත සකස් කර ගන්නා ලෙසයි. (සචිත්ත පරියෝදපනං) බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීම සඳහා තමන් තුළ වූ මාර සේනාව පරාජය කළහ. ස්ව සන්ථාන දමනය කළහ. උන්වහන්සේ පුරිසදම්ම සාරථී ගුණයෙන් යුක්ත වන්නේ එබැවිනි.

පුද්ගලයා රටක් නම්, ඒ රටෙහි අග නගරය සිතයි. අගනගරය අනාරක්ෂිත වූ කල රටම විනාශ වෙයි. සිත විනාශ වූ කල පුද්ගල විනාශය ගොඩනැඟෙයි. අගනගරයට සතුරන් ඇතුළු වන දොරටු වෙයි. පුද්ගල සිතට පව් නැමති සතුරන් ඇතුළු වන දොරටු වෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය ඒ දොරටු වෙයි. ශ්‍රද්ධාව, වීර්යය, සිහිය, සමාධිය, ප්‍රඥාව වැනි සේනාංක යොදවා මේ දොරටු ආරක්ෂා කරයි නම්, සතුරන් ඇතුළු නොවෙයි. අගනගරය ආරක්ෂා වෙයි. සතුරු මාර සේනා පරාජය කොට පුද්ගල ජයග්‍රහණය ලබයි. උන්වහන්සේ එසේ ජයගත් බැවින් අරහං වෙයි. විජ්ජාචරණ වෙයි. සුගත වෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විශිෂ්ට වන්නේ මේ පුද්ගල නායකත්වය අගය කිරීමයි.

උන්වහන්සේ අපට විමුක්තිය ලබා නොදෙයි. ලබා ගැනීමට මඟ පෙන්වයි. පුද්ගල විමුක්තිය ඇත්තේ පුද්ගලයා තුළයි. එය ඔහුට නොපෙනෙයි. ඊට හේතුව දූෂ්‍ය වූ සිතයි. පුද්ගල සිත ළිඳකි. ළිදේ පත්ලේ මැණිකක් ඇත. ළිඳෙහි ජලය වර්ණවලින් යුක්ත නම්, ළිං ජලය ගිනියම් ව නටන ජලයක් නම්, ළිං ජලය බොර නම්, ළිං ජලයෙහි දිය සෙවළ කුණු ගහනව තිබේ නම් මැණික දැකිය නොහැකි ය. ඒ අයුරින් සිත තුළ කම්සැප විඳීමේ දැඩි ආශාව, තරහ, ගතෙහි, සිතෙහි කම්මැළිකම, නොසන්සුන්කම, පසුතැවිල්ල, සැකය වේ නම්, පුද්ගල විමුක්තිය නම් වූ මැණික දැකිය නොහැකි ය. ඉහත දැක් වූ ආරක්ෂක සේනාංක මෙහෙයවයි නම් සිත නම් වූ ළිඳ පිරිසිදු කර ගත හැකි ය. එවිට විමුක්තිය නම් වූ මැණික හොඳින් පෙනෙයි. ඒ සඳහා නිවැරැදි මාර්ගය උන්වහන්සේ දේශනා කරති.

උන්වහන්සේ බුද්ධ අවබෝධ ලැබූහ. භව සසරින් මිදුණහ. සංසාර සාගරය තරණය කළහ. ශාන්ත වූ සේක. ඒ ලෝකය නිවැරැදි ව දැකීම තුළිනි. ඒ ශක්තිය බුද්ධ නම් විය. ලොවෙහි වූ ගැටලුව, ගැටලුවට හේතුව, ගැටලුව නැති කිරීම, ගැටලුව නැති කිරීමේ මඟ උන්වහන්සේ අවබෝධ කොට ගත්හ. ගැටලුව දුකයි. දුක හටගන්නා හේතුව දැඩි ආශාවයි. දුකින් මිදීම නිවනයි. දුකින් මිදීමේ මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මෙහි ඇදහිල්ලක් නැත. කන්නලව් කිරීමත් නැත. ඇත්තේ අනුගමනය කිරීමකි. ප්‍රතිපදාවකි. ඒ ප්‍රතිපදාව තුළ ගමන් කිරීමෙන් සතුට දියුණුව ලද හැකි ය.

උන්වහන්සේ විශිෂ්ට පුද්ගලයකු වූහ. විශිෂ්ට දහමක් දේශනා කළහ. ඒ මඟ ගොස් විශිෂ්ටයකු වීම අපගේ යුතුකම හා වගකීම වෙයි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]