ධර්මාවබෝධයෙන්
ජීවිතාවබෝධය ගෙනදුන්
ලක්දිව
ධර්ම දේශනා
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ඓතිහාසික ලේඛනවලට අනුව මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට පැමිණි දිනයේ සිට සිදුවී ඇති
චින්තන විප්ලවය හා සංස්කෘතික පුනරුදය විදේශිකයන්ගේ පවා විමර්ශනවලට භාජනය වන අතර
ඔවුන්ගේ නිගමන අනුව මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය ඉතා සැලසුම් සහගත වූවකි. උන්වහන්සේ
පූර්ව සැලසුම් සහිතව මෙරටට වැඩම කළ අතර එය වටහා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ
උන්වහන්සේ විසින් කරන ලද දේශනාවන් විමසීම ය. එම දේශනාවන් අසා දින කිහිපයක් ඇතුළත
මෙරට ජනයා හැට දහසක් පමණ බුදුදහම වැළඳගත් බව කියැවේ. එබැවින් මෙම ලිපියෙන් සලකා
බැලෙනුයේ උන්වහන්සේ විසින් මුල් දින කිහිපය ඇතුළත කරන ලද සූත්‍ර දේශනා පිළිබඳව ය.
මිහිඳු මාහිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දෙසිය යුතු පළමු දේශනය සඳහා තථාගත දේශනා
අතර මජ්ක්‍ධිම නිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. මිහිඳු මාහිමියන්ගේ
අභිප්‍රාය වූයේ කිසියම් ජන කොටසක් ආගමට හරවා ගැනීම නොව තථාගත ධර්මයේ ආස්වාදය
පතුරුවා හැරීමයි. චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව ඇසීමෙන් පසු දේවානම්පියතිස්ස රජ
ඇතුළු රජ පවුලේ සියලු දෙනා තෙරුවන් සරණ ගිය බව සඳහන් වේ.
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තරමක් කුඩා සූත්‍රයකි. ඇතකුගේ පා පියවර උපමා කොට මෙම
සූත්‍රය දෙසා ඇත.
එහි පිලෝතික හා ජානුස්සොණි යන බෞද්ධ නොවන බ්‍රාහ්මණ තරුණයන් දෙදෙනකු අතර සිදුවන
සාකච්ඡාවකි. පිලෝතික බුදුදහම වැළඳගත් පුද්ගලයකු නොවුණ ද බෞද්ධ දර්ශනයේ වටිනාකම හා
එහි අනුගාමිකයන් ගැන දැඩි ප්‍රසාදයකින් සිටි කෙනෙකි. ඒ බැව් ඔහු දිනක් ජානුස්සෝණි
නම් තම මිතුරාට ප්‍රකාශ කළේ ය. එය අසා සිටි ජානුස්සෝණි බුදුරදුන්ගේ ප්‍රඥාව හා
වියත් බව පිළිබඳ වැඩි උනන්දුවකින් විමසී ය. බුදුරදුන්ගේ ප්‍රඥාව හා වියත් බවට සම කළ
හැකි තත්ත්වයක සිටින කිසිවෙක් දෙවියන් සහිත ලෝකයේ නොමැති බවත්, එම ප්‍රඥාව, පැසසීමට
තමාට වචන නැති බවත් එහිදී පිලෝතික පවසයි. “ඔබ එතරම් පැහැදුණේ කොහොම ද? ජානුස්සෝණි
ප්‍රශ්න කරයි. පිලෝතික මෙසේ පිළිතුරු දෙයි. යම් සේ ඇතුන් වසන වනයක සිටින පුරුෂයෙක්
දිගින්, පළලින් මහතින් යුතු ඇත් පා සලකුණක් දැක, මේ විශාල හස්තියකුගේ යැයි නිගමනය
කරන්නාක් මෙන් මම ද බුදුරදුන්ගේ ඤාණපද හතරක් දැක උන්වහන්සේ සම්‍යක් සම්බුද්ධ බව,
උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත බව හා ශ්‍රාවක සංඝයා නියම මාර්ගයට නිසි පරිදි පිළිපන්
පිරිසක් බව දැනගතිමි යැයි කීය.
සියුම් බුද්ධි ඇති තාර්කික ඇතැම් ක්ෂත්‍රියයෝ උන්වහන්සේ සමඟ තර්ක කිරීමට ප්‍රශ්න
සකසාගෙන පැමිණ උන්වහන්සේගෙන් ධර්මය අසා පැහැදී ප්‍රශ්න නො විමසා ම ශ්‍රාවකයන් බවට
පැමිණියහ.
එබඳු ම මහත් බුද්ධි ඇති බමුණු පඬිවරු වාද කිරීමට පැමිණ ප්‍රශ්න නො අසා නිහඬව ම
උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වූහ. ඇතැම් ගෘහපති පඬිවරු ද ශ්‍රාවකයන් බවට පත්වූහ.
ඇතැම් ශ්‍රමණ පඬිවරු ද මෙසේම බුදුරදුන්ගේ දේශනාවෙන් ඉමහත් උත්තේජනයට පත්ව
ශ්‍රාවකභාවය ලැබූහ. මෙම පියවර හතර දැක මම මෙසේ බුදුරදුන්ගේ ප්‍රඥාව ගැන
පැහැදුණෙමි‘යි පිලෝතික කීය.
මෙයින් අතිශය ප්‍රසාදයට පත් ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමන් දෙදෙනා අතර සිදු
වූ සංවාදය හෙළි කළහ.
මෙපමණකින් ඇත් පද උපමාව සම්පූර්ණ නොවේ යැයි වදාළ බුදුන් වහන්සේ සීල, සමාධි,
ප්‍රඥාවන් අනුක්‍රමයෙන් පිරිසිදු කොට, ආධ්‍යාත්මික ජීවිතයක් ලබා ගන්නා අයුරුත්,
චතුරාර්ය සත්‍ය පසක් කර ගන්නා අයුරුත් ඔවුන්ට පැහැදිලි කොට, එසේ කිරීමෙන් හත්ථි පද
උපමාව සම්පූර්ණ වන බව ද වදාරති. අවසානයේ ඔවුහු දිවි ඇති තෙක් බුදුන් සරණ යන බව
සතුටින් ප්‍රකාශ කරති.
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු දිනයෙහි ම කළ මෙම දේශනාව අසා හතළිස් දහසක් දෙනා
සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වේ. මෙසේ ශ්‍රී ලංකාවේ ශාසන ප්‍රතිෂ්ඨාව සිදුවන්නේ
බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් සහිත ශ්‍රී ලාංකික ජනයාගේ දායකත්වයක්
සහිතව ය. ඒ එදින පැවිදි කරන ලද භණ්ඩුක සාමණේරයන් වහන්සේ අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට
සමවැදී ඉන් නැඟිට මුළු දිවයිනට ම ඇසෙන සේ ධර්ම ශ්‍රවණය සඳහා දේවාරාධනයක් කළහ.
සමචිත්තපරියාය
සූත්‍රය
පුද්ගල ආධ්‍යාත්මයේ පවතින සංයෝජන හා බාහිර සංයෝජන අරබයා බුදුරදුන් විසින් සැරියුත්
හිමියන්ටත්, සැරියුත් තෙරුන් විසින් භික්ෂූන්ටත් දේශිත සූත්‍රයකි. සැරියුත් තෙරුන්
පිරිනිවන් පෑමට ආසන්න ව දෙසූ මෙම සූත්‍ර දේශනාව ඇසීමට දෙවි දේවතාවන් ගිණිය නොහැකි
තරම් විශාල සංඛ්‍යාවක් පැමිණි බව සඳහන් වේ. මිහිඳු මාහිමියන් මෙම සූත්‍රය දෙවියන්ට
දෙසීමේ පසුබිම බුද්ධිය පමණක් නොව ශ්‍රද්ධාව සහිත ව බුදුදහම දෙස බලන පුද්ගලයකුට
තේරුම් ගැනීම අපහසු නැත. සමචිත්තපරියාය සූත්‍ර දේශනාව ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල හා
නිර්වාණය ලබා ගන්නා ආකාරය විස්තර කෙරෙන ගැඹුරු ධර්ම පර්යායකි. සය ආකාරයකින්
විදර්ශනා භාවනාව වඩන ආකාරය මෙහි විස්තර වේ. ප්‍රධාන වශයෙන් මෙහි සාකච්ඡා වන කරුණු
අතර, ආධ්‍යාත්මික සංයෝජන යන්නෙන් අදහස් වන්නේ කාම භවයෙහි බැ¼දීමයි. බාහිර සංයෝජන
යනු රූප අරූප භවයන්හි බැ¼දීමයි. සත්ත්වයා කාම භවයෙහි මෙන්ම රූපාරූප භවයන්හි ගෙවන
ආත්මවල ස්වභාවය පිළිබඳ ගැඹුරු දේශනාවක් මෙහි අන්තර්ගත වේ.
ප්‍රේතවස්තු විමානවස්තු සච්චසංයුත්ත දේශනා
මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් දෙවන දිනයෙහි දෙවනපෑතිස් නරනිදුන් විසින්
පිරිනැමූ දානයෙන් පසු පේතවත්ථු, විමානවත්ථු හා සච්චසංයුක්ත දේශනා කළහ. විශේෂයෙන්
මෙම සූත්‍ර අනුලා දේවිය ප්‍රමුඛ මෙරට ස්ත්‍රී පක්ෂය ප්‍රමුඛ කොට දේශනා කරන ලදී.
ප්‍රේතවස්තු යනු මිනිස් ලොව සිටියදී අකුසල කර්ම කළ ස්ත්‍රී පුරුෂයන්, ප්‍රේතයන් හා
ප්‍රේතියන් වී දුක් විඳීන අයුරු පෙන්වා දෙන දේශනාවන් ය. මුගලන් මහරහතන් වහන්සේ එම
ලෝකවලට ඍද්ධියෙන් වැඩම කොට ඔවුන් සමඟ කතා බස් කොට යළි මිනිස් ලොවට වැඩම කොට ඒවා
මිනිසුන්ට වදාරන ලද්දේ මිනිසුන් අකුසලයෙන් වැළැක්වීම පිණිස ය.
එසේම උන්වහන්සේ දිව්‍ය විමානවලට ගොස් දෙවියන් හා දෙවඟනන් එම සම්පත් අනුභව කරන්නේ
කුමන පින්කමකින් දැයි ඔවුන්ගෙන් අසා දැනගෙන මිනිස් ලොවට පැමිණ දේශනා කරන ලද්දේ එකී
මිනිසුන් කුසලයෙහි පිහිටුවීම සඳහා ය. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේ මෙම දේශනා මෙහි
දී දේශනා කරන ලද්දේ මෙරට වැසියා අයහපත් ක්‍රියාවලින් වළකා ගැනීමටත්, ඔවුන්ට යහපත්
ආචාර ධර්ම පුරුදු පුහුණු කිරීමටත් බව ඉතා පැහැදිලි ය. මෙම දේශනාව අවසානයෙහි
විශේෂයෙන් කාන්තාවෝ පන්සියයක් සෝවාන් ඵලයෙහි පිහිටි බව මහාවංශය හා සමන්තාපාසාදිකා
වැනි ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.
මෙහි දක්වන ලද සච්චසංයුක්ත දේශනාව කුඩා සූත්‍ර රාශියක එකතුවකි. සංයුත්ත නිකාය නම්
ග්‍රන්ථයේ එම සූත්‍ර දක්නා ලැබේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත විවිධ වූ හා ගැඹුරු
වූ දහම් කරුණු රැසක් මෙහි දක්නට ලැබුණ ද ප්‍රධාන වශයෙන් ආර්ය සත්‍ය නොයෙක් ආකාරයෙන්
ධර්මානුකූල ව විස්තර කිරීමක් දක්නට ලැබේ. සංසාරයෙහි අතිශය බිහිසුණු බවත්, එහෙයින්ම
සත්ත්වයා අසීමිත දුක්ඛ වේදනාවන්ට පාත්‍ර වන බවත් පෙන්වා දෙන මෙම සූත්‍ර අවධාරණය
කරනුයේ සාංසාරික අත්දැකීම් සියල්ල දුක් බව හා ඒවා දුක් වශයෙන් තේරුම් ගෙන එය
අභ්‍යාසයක් වශයෙන් නිතර නිතර භාවනාවක් වශයෙන් වැඩිය යුතු බවයි. මිහිඳු මහරහතන්
වහන්සේ මෙම දේශනාව පහදා දීමෙන් අපේක්ෂා කරන්නට ඇත්තේ ලාංකේය වැසියන්ට හරවත් ජීවන
රටාවක් හඳුන්වා දීමයි.
බාලපණ්ඩිත සූත්‍ර දේශනා
අංගුත්තර නිකායේ දක්නට ලැබෙන මෙම සූත්‍ර දේශනාවලින් බාලයකුගේ ලක්ෂණ හා පණ්ඩිතයකුගේ
ලක්ෂණ පැහැදිලි කෙරේ. බාලයා නිතර ම වැරැදි ලෙස සිතන්නෙකි. වැරදි දෙයක් ම කියන්නෙකි.
වැරදි ක්‍රියා කරන්නෙකි. ප්‍රාණඝාතාදී අකුසල කර්ම අනුමත කරමින් දුසිරිත්හි යෙදේ.
දෙවනුවට ඔහු එම වැරැදි නිසා නීතියට හසුවී බන්ධනාගාරගත වීම, දඬුවම් වි¼දීම හා මරණයට
හෝ ඊට සමාන වේදනාවට භාජනය වේ. තෙවනුව මේවායේ කර්මානුරූප විපාක මෙලොව දී ම
අත්විඳීමටත්, පශ්චාත්තාපයට පත්වීමටත් සිදුවේ.
පණ්ඩිත පුරුෂයා මෙයට ප්‍රතිවිරුද්ධ චර්යාවක නිරත වේ. ඔහු නිතර යහපත් දෙයක් සිත.
යහපත් දේ ම කියයි. එසේම යහපත් දේ කරයි. මිහිඳු මාහිමියන් මෙම දේශනාවෙන් ශ්‍රී
ලාංකික ජනයාට තම චින්තනය ආචාර විද්‍යාත්මක ව ගොඩනඟා ගත යුතු ආකාරය පැහැදිලි කොට
දුන් බව පෙනේ. හැදියාවක් නොමැති දියුණුව නියම සංවර්ධනයක් නොවන බව මෙයින් තේරුම් ගත
හැකි ය. දහසක් ස්ත්‍රීහු මෙම දේශනාව අවසානයේ සෝවාන් ඵලයට පත්වූහ.
අග්ගික්ඛන්ධොපම
සූත්‍රය
මිහිඳු මහරහතන් වහන්සේගේ් ශාසනික ක්‍රියාවලිය අතිශය ජනප්‍රිය කරුණක් විය. මහ සෙනඟ
ඒකරාශී විය. නන්දන උයනෙහි ද ඉඩ ප්‍රමාණවත් නොවුණි. ඒ හේතුවෙන් රජතුමා මහමෙවුනා උයන
සංඝයාට පූජා කළේ ය.
මහමෙවුනාව පිළිගැනීමෙන් අනතුරුව මිහිඳු මාහිමියන් දේශනා කරන ලද්දේ අග්ගික්ඛන්ධොපම
සූත්‍රය යි. මෙම සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ මහත් ගිනි කඳක් පෙන්වා දුසිරිත්
කරමින්, දුසිල්වත්, පාපී හා මිච්ඡා ආජීවයෙන් යුතු ව, ලෞකික සම්පත් පරිභෝජනය කරමින්
ජීවත්වීමට වඩා එම ගිනි කඳ වැළඳගෙන මියයාම උතුම් බව වදාරති. මිහිඳු මහරහතන් වහන්සේ
මෙම සූත්‍රය දේශනා කිරීමේ අරමුණ වන්නට ඇත්තේ හොරකම, වංචාව, අල්ලස වැනි පාපධර්ම
කෙරෙන් තොර හා අව්‍යාජ මානව දයාවෙන් යුතු සංස්කෘතියක් සැකසීමයි. මෙම සූත්‍ර දේශනා
සමඟ සෝවාන් ඵලයට පත් උතුමන්ගේ සංඛ්‍යාව අට දහස් පන්සියයක් විය.
ආසිවිසෝපම
සූත්‍රය
මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ තෙවන දිනයෙහි දී දේශනා කරන ලද්දේ
ආසිවිසෝපම සූත්‍රය යි. අප පරිහරණය කරන ශරීරයේ සංයුතියක් වන සතර මහාභූත දරුණු විස
ඇති නාගයන් සිවු දෙනකුටත්, පඤ්චස්කන්ධය දරුණු වධකයන් පස් දෙනකුටත්, අප තුළ පවතින
තෘෂ්ණාව ඇතුළත සැරිසරන වධකයකුටත් ආදී වශයෙන් සම කොට මෙහි ආලය දුරුකොට කාම, භව,
දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝයන් තරණය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්නා ආකාරය මෙම
සූත්‍රයේ පෙන්වා දෙයි. මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ මෙම සූත්‍රය අසා දහසක් දෙනා
සෝවාන් ඵලයට පත්වූහ.
දේවදූත සූත්‍රය
දෙවනපෑතිස් රජතුමා ඇත්හල පිළිසකර කොට සරසවා එහි මඟුලැතු සිටින ස්ථානයෙහි තෙරුන්ට
අසුනක් පැනවීය. මිහිඳු මහරහතන් වහන්සේ එහි රැස්ව සිටි පිරිස අමතා පව් කළ අයට
මරණයෙන් පසු හිමිවන දරුණු දුක් වේදනා ගැන කියැවෙන දේවදූත සූත්‍ර දේශනාව කළහ. කයින්,
වචනයෙන්, මනසින් දුසිරිත් කොට මිසදිටු ව ආර්යයන්ට උපවාද කළාහු මරණින් මතු නිරයේ
උපදිති. යමරජු ළදරුව මළ මූත්‍ර ගෙඩෙහි උඩුකුරුව සිටීම, ලෙඩවීම, ඉඳුරන් දිරා යාමෙන්
මහලුවීම, මරණයට පත්වීම යනාදී වශයෙන් තොප වෙත පැමිණි දේවදූතයන් නො දැක්කෙහු දැයි
ඔවුන්ගෙන් ප්‍රශ්න කරති. නො දුටුවෙමි ස්වාමීනීයි පැවසූ කල්හී ඉපදීම, ලෙඩවීම, ජරාව
හා මරණය ස්වභාව කොට සිටියදී ප්‍රමාදය හේතුවෙන් ඒවා තේරුම් නොගෙන දුසිරිත්කම් කිරීම
තොපගේ මව්පිය ඥාති ආදි අන් කිසිවකු විසින් කරන ලද ඒවා නොවන බවත්, තොප විසින් ම කළ
ඒවා බවත් පවසා එහි විපාක විඳීව් යැයි ඔවුන්ට සිතීමට පවා නොහැකි තරමේ දරුණු වධ හිංසා
පමුණුවති. එයින් ඔවුහු මහත් දුක් විඳීති. මෙය මිනිසුන් වන අපට සාංසාරික ව මුහුණ
පෑමට සිදුවන තත්ත්වයක් බව සූත්‍රයේ දක්වයි. උන්වහන්සේ මෙම සූත්‍රය දේශනා කිරීමෙන්
සිංහල ජනයාට අපූරු ජීවිත ගැඹුරක් ප්‍රකට කළහ.
අනමතග්ගිය සූත්‍රය
මිහිඳු මාහිමියන් ලක්දිවට පැමිණ සිවුවන දිනයෙහි දී දෙවනපෑතිස් රජතුමා රජ මැඳුරෙහි
දී සංඝයාට මහ දන් දුන්නේ ය. ඉන් අනතුරුව මිහිඳු මාහිමියෝ අනමතග්ගිය සූත්‍රය දේශනා
කළහ. එයින් පැවසෙන්නේ අක් මුල් නැති සසර පිළිබඳ ව ය. මහණෙනි, මේ සංසාරය අනවරාග්‍රය,
මුලක් අගක් නො දත හැක්කේ යැ. අනමතග්ග යනු සූත්‍ර රාශියක සංයුක්තයකි. මෙම සූත්‍රවල
සංසාරය කෙතරම් දීර්ඝ ද යන්න පැහැදිලි කිරීමට උපමා රාශියක් දක්වා ඇත. සංසාරයෙහි
සැරිසරන කල්හි කෙනකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව
දක්වා තිබීම ඉන් එක් නිදසුනකි. මෙතරම් දිගු සසර අපට අත්වි¼දීමට සිදුවන දුක් කන්දරාව
කොපමණ දැයි මෙම සූත්‍රවලින් සිතා ගත හැකි ය. සැබැවින්ම සංසාරයෙහි සැරිසැරීම දුකක්
මිස සැපක් නොවේ. එහි ලැබිය හැකි ආස්වාදය අල්ප ය. දුක් වේදනා අනල්ප ය.
ඛජ්ජනීයක හා ගොමය පිණ්ඩික
සූත්‍ර
පස්වන දිනයෙහි දී මිහිඳු මාහිමියන් නන්දන වනයෙහි සිට දේශනා කළ සූත්‍රය වන්නේ
ඛජ්ජනීයක සූත්‍රය යි. මෙම සූත්‍රයෙහි පඤ්චස්කන්ධය හා බැඳුණු රූප වේදනා ආදී ධර්මයන්
අතීත, වර්තමාන හා අනාගත වශයෙන් උපාදාන කොට සිහි කරන ආකාරය පෙන්වා දේ. එසේම ඒවායේ
සැබෑ ස්වභාවය විදර්ශනා වශයෙන් සැලකිය යුතු ආකාරය ද පෙන්වා දෙයි. ශ්‍රැතවත් ආර්ය
ශ්‍රාවකයා එසේ විදර්ශනා වශයෙන් රූප වේදනාදිය සලකා එහි නො ඇලෙයි. අතීතානාගත වශයෙන්
අපේක්ෂා නොකොට වෙසෙයි. එවිට ඔහුගේ සිත විරාගය පිණිස, නිවන් පිණිස නැවෙයි. විමුක්තිය
පසක් කර ගනී. සයවනි දිනයෙහි දී ගොමයපිණ්ඩික සූත්‍ර දේශනාව කළහ. එක්තරා භික්ෂුවක්
බුදුරදුන්ගෙන් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ධර්මයන්ගේ ස්ථිර, සදාතනික
පැවැත්මක් ඇද්දැයි කළ විමසීමකට බුදුන් වහන්සේ දුන් පිළිතුර එහි සාකච්ඡා වේ. බුදුන්
වහන්සේ ගොම ස්වල්පයක් අතට ගෙන දක්වා ‘මහණෙනි, මෙතරම් ප්‍රමාණයක්වත් ආත්මීය වශයෙන්
ගත හැකි දෙයක් වේ නම් මෙම දුෂ්කර බ්‍රහ්මචරියාව තොපට නො පණවමි’යි වදාළහ.
ධම්මචක්කප්පවත්තන හා අප්පමාද සූත්‍ර
සත්වන දිනයෙහි දී දේශනා කරන ලද්දේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය යි. බුදුන් වහන්සේ
විසින් පස්වග මහණුන්ට දේශනා කරන ලද මෙම සූත්‍රයෙහි චතුරාර්ය සත්‍ය පිළිබඳ විශිෂ්ට
විවරණයක් වේ. ජාති, ජරා, මරණාදිය පමණක් නොව සමස්ත විශ්වයේ සියලු දේ හා
ක්‍රියාකාරකම් දුකකි. එම දුක්ඛ ස්වභාවය සම්බන්ධ ප්‍රභවය, නැති කිරීම හා ඒ සඳහා වන
ක්‍රමවේදය පිළිබඳ ඇති කර ගත යුතු සවිඤ්ඤාණික බව මෙම සූත්‍රයෙන් පෙන්වාදී ඇත. එහිදී
ද දහස් ගණන් මෙරට ජනයා අවබෝධයට පැමිණි බව වාර්තා වේ. මිහිඳු මාහිමියන් විසින් මුල්
දින කිහිපයක තුළ දේශිත අවසාන සූත්‍රය වන්නේ අප්පමාද සූත්‍රය යි. අප්‍රමාදය යනු
පමාවීම නොවේ. සතියෙන් හෙවත් සිහියෙන් කටයුතු කිරීමයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව
සමස්ත බුදුදහම ම මෙම පදයට ඇතුළත් වේ. එතරම් වැදගත්කමක් එහි පවතී. අප්‍රමාදී ව සිහි
නුවණින් යුතු ව කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේ ලෞකික හා ලොකෝත්තර ජයග්‍රහණයේ සැබෑ
රහසයි. මෙම සූත්‍ර කිහිපයේ අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඉතා
විධිමත් සැලසුමකින් යුතුව මෙරට ජනයාගේ සංස්කෘතිය, ජීවිතාවබෝධය හා සංස්කෘතික හැසිරීම
සමස්ත ලෝකයට ම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් දමා ඇති බවයි. |