නිසල
පරිසරයක අසිරිමත් පින්බිම විජය ශ්‍රී ගෞතම මහා විහාරය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි එගොඩවත්ත ප්‍රදේශය අදටත් ගැමි
සුන්දරත්වය රැකගත් අපූරු පරිසරයකි. කොළඹ නගරයේ කලබලකාරී ජීවිතයෙන් මදක් ඈත්ව කෙත්
යාය, ඕවිටිල කුඩා දිය පහරවල් සහ නිස්කලංක වටපිටාව මධ්‍යයේ පිහිටි මෙම ප්‍රදේශය තුළ
අද දක්නට ලැබෙන්නේ අධිෂ්ඨානය, කැපවීම සහ ශ්‍රද්ධාව එක්ව ගොඩනැඟූ අපූරු පුණ්‍ය
භූමියකි. ඒ විජය ශ්‍රී ගෞතම මහා විහාරයයි.
අද අලංකාර විහාරස්ථානයක් ලෙස දක්නට ලැබෙන මෙම ස්ථානය මීට වසර කිහිපයකට පෙර කැලෑවෙන්
වැසුණු, කිසිදු පහසුකමක් නොතිබූ භූමියකි. එම භූමිය බුදු සසුනේ උන්නතිය වෙනුවෙන්
පූජා කරනු ලැබුවේ බදුල්ලේ විජයතිලක හිමිපාණන් වහන්සේගේ මෑණියන් වන කරුණාවතී මහත්මිය
විසිනි. එම පුණ්‍යමය ආරම්භයත් සමඟ ඇරඹුණු ගමන අද ආගමික, ආධ්‍යාත්මික සහ අධ්‍යාපනික
වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.
මෙම පුණ්‍ය කාර්යයේ ප්‍රධාන ශක්තිය, දැක්ම සහ නායකත්වය දෙමින් කටයුතු කරන්නේ
ශාස්ත්‍රපති, මුළු දිවයිනටම සාම විනිසුරු බදුල්ලේ විජයතිලක හිමිපාණන් වහන්සේය.
උන්වහන්සේගේ නොසැලෙන අධිෂ්ඨානය, බුදු සසුන කෙරෙහි ඇති ගැඹුරු භක්තිය සහ අනාගත සංඝ
පරපුරක් බිහිකිරීමේ දැක්ම නිසාම අද මෙම විහාරස්ථානය ආගමික, අධ්‍යාත්මික සහ සමාජීය
වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.
එහෙත් මෙම ගමන කිසිසේත්ම පහසු එකක් නොවීය. ආරම්භක කාලයේදී විහාර භූමියට පිවිසීමට
නිසි මාර්ගයක් පවා නොතිබුණි. කෙත් යාය මැදින් දිවෙන පටු ගුරු පාරක් පමණක් තිබූ අතර
වැසි සමයේදී එය මඩ ගොහොරුවක් බවට පත්විය. ගඩොල්, වැලි, සිමෙන්ති, යකඩ සහ අනෙකුත්
ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සිදුවූයේ වීල් බැරැක්ක මඟිනි. බොහෝ අවස්ථාවලදී
විජයතිලක හිමිපාණන් වහන්සේම වීල් බැරැක්ක තල්ලු කරමින් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව
දැනගැනීමට ලැබේ. දහඩිය, කැපවීම සහ අධිෂ්ඨානය මත ගොඩනැඟුණු මෙම පුණ්‍ය භූමියේ සෑම
ගඩොලකම සහ සෑම ඉදිකිරීමකම ඒ වෙහෙසේ සටහන් තැවරී තිබේ.
මෙම විහාරස්ථානය ගොඩනැඟීම සඳහා දේශීය සහ විදේශීය දායක පින්වතුන් රැසකගේ සහයෝගය ලැබී
තිබේ. විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ජයන්තා වරුසවිතාන ප්‍රනාන්දු
මැතිනිය මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් දී ඇත. ආරම්භක
අවධියේ සිටම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ඇය දුන් සහයෝගය මෙම පුණ්‍ය භූමියේ
ඉදිරි ගමනට මහත් රුකුලක් වී තිබේ.
එමෙන්ම දායක පින්වතුන් විශාල පිරිසක්, ප්‍රදේශවාසීන්, හිතවතුන් ඇතුළු විවිධ ආයතනවල
නියෝජිතයෝ මෙම විහාරස්ථානයේ දියුණුව සඳහා අඛණ්ඩව දායක වී සිටිති. විශේෂයෙන්ම ශ්‍රී
ලංකා සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ගේ සහයෝගය මෙම විහාරස්ථානයේ සංවර්ධනයට විශාල
ශක්තියක් වී ඇත. අදටත් විහාරස්ථානයේ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු ඔවුන්ගේ ශ්‍රම
දායකත්වය මත සිදුවෙමින් පවතින අතර, එම දායකත්වය විහාරස්ථානයේ ඉදිරි ගමනටද මහත්
රුකුලක් වී තිබේ.
අද වන විට විහාරස්ථානය තුළ අලංකාර බුදු මැඳුරක්, ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් රෝපණය
කළ බෝධීන් වහන්සේ නමක්, බෝධි මළුවක් ඉදි වෙමින් පවතී. අලංකාර උද්‍යාන රැසක් දක්නට
ලැබේ. කෙත්යායන්ගෙන් හමා එන සිසිල් සුළඟත්, බෝධිය වටා දැල්වෙන පහන් එළියත් මෙම
ස්ථානයට සුවිශේෂී චමත්කාරයක් එක් කරයි. එම නිසා මෙම පුණ්‍ය භූමියට පැමිණෙන ඕනෑම
අයකුට මානසික සැනසීමක් සහ ආධ්‍යාත්මික ප්‍රබෝධයක් අත්විඳීය හැකිය.
මෙම විහාරස්ථානයේ වටිනාම සේවාවක් වන්නේ අනාගත සංඝ පරපුර ගොඩනැඟීමයි. පසුගිය වසර
තුනක කාලය තුළ සාමණේර ස්වාමීන් වහන්සේ එකොළොස් නමක් පැවිදි කරවා බුදු සසුනට දායාද
කර ඇති අතර, දැනටද, එම කුඩා ස්වාමීන් වහන්සේගේ රැකවරණය, නේවාසික පහසුකම්, ආහාරපාන,
අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂාව සහ දෛනික අවශ්‍යතා සියල්ල විහාරස්ථානය මඟින් සපයනු ලබයි.
පිරිවෙන් අධ්‍යාපනය ලබන මෙම සාමණේර හිමිවරුන්ගේ විනයානුකූල ජීවිතය, ආරක්ෂාව සහ
අනාගතය ගොඩනැඟීමට විජයතිලක හිමිපාණන් වහන්සේ ඇතුළු දායක පින්වතුන් විශාල කැපවීමකින්
කටයුතු කරති. එම නිසා විජය ශ්‍රී ගෞතම මහා විහාරය හුදෙක් විහාරස්ථානයක් නොව අනාගත
බුදු සසුන භාරගන්නා සංඝ පරපුරක් බිහිකරන ශාසනික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද
හැඳීන්විය හැකි ය.
ආගමික කටයුතුවලට අමතරව මෙම විහාරස්ථානය සමාජ සත්කාරක සේවා රැසක් ද සිදු කරයි. සෑම
මාසයකම ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සංවිධාන කරන අතර, අසරණ රෝගීන් සඳහා රෝද පුටු
සහ අත්වාරු දීම, පාසල් දරුවන්ට අධ්‍යාපනික උපකාර සැපයීම සහ විවිධ සමාජ සත්කාරක
වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද සිදු කරයි. සෑම වසරකම මැයි 18 වැනි දා පැවැත්වෙන මහා
බත් දන්සල සඳහා පන්දහසකට ආසන්න පිරිසක් සහභාගි වන අතර ජුනි 30 වැනි දා කිරි අම්මා
දානය ද විශාල පින්කමක් ලෙස සංවිධානය කරනු ලැබේ.
විජයතිලක හිමිපාණන් වහන්සේගේ දැක්ම තවමත් ඉදිරියටම ගමන් කරයි. මෙම වසරේ ජුනි 30
වැනිදා අඩි 40ක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර,
දෙදහසකට අධික පිරිසකට එකවර ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි නව ධර්ම ශාලාවක් ඉදිකිරීමට ද
සැලසුම් කර ඇත.
එමෙන්ම වර්තමාන බෝධීන් වහන්සේ වටා සම්පූර්ණ බෝධි මළුවක් සංවර්ධනය කිරීම, නව විහාර
ගෙයක් ඉදිකිරීම, බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අලංකාර චෛත්‍යයක් ඉදිකිරීම, භාවනා
මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසලක් ස්ථාපිත කිරීම සහ
සාමණේර භික්ෂූන් වහන්සේලා සඳහා අතිරේක නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම ද ඉදිරි
සැලසුම් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. මෙම සියලු ව්‍යාපෘති සාර්ථකව නිමවූ දිනක විජය
ශ්‍රී ගෞතම මහා විහාරය ප්‍රදේශයේ ප්‍රමුඛතම ආගමික, අධ්‍යාත්මික හා අධ්‍යාපනික
මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත.
අද කෙත් යාය මැදින් දිවෙන ගුරුපාරකින් පමණක් ළඟා විය හැකි මෙම නිහඬ පුණ්‍ය භූමිය,
කරුණාවතී මහත්මියගේ පුණ්‍යමය ආරම්භයත්, බදුල්ලේ විජයතිලක හිමිපාණන් වහන්සේගේ
නොසැලෙන අධිෂ්ඨානයත්, ජයන්තා වරුසවිතාන ප්‍රනාන්දු මැතිනියගේ වටිනා දායකත්වයත්,
දායක පින්වතුන්ගේ ශ්‍රද්ධාවත්, සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයත්
එක්ව නිර්මාණය කළ අපූරු සසුන් කාර්යයකි. වීල් බැරැක්කයකින් ගෙන ආ ගඩොල්, වැලි සහ
සිමෙන්තිවලින් ආරම්භ වූ මෙම ගමන අද බොහෝ දෙනකුගේ සිත් සනසන ආධ්‍යාත්මික නිකේතනයක්
බවට පත්ව තිබේ.
අමරපුර සිරි ධර්ම රක්ෂිත මහා නිකායට අයත් විජය ශ්‍රී ගෞතම මහා විහාරය, බෞද්ධ කටයුතු
අමාත්‍යාංශයේ නිල ලියාපදිංචිය ලත් පිළිගත් විහාරස්ථානයකි. වසර තුනක් වැනි කෙටි
කාලයක් තුළ අසීරුතා රැසක් මධ්‍යයේ ගොඩනැඟුණු මෙම පුණ්‍ය භූමිය, ශ්‍රද්ධාව, කැපවීම,
එකමුතුව සහ අධිෂ්ඨානය එක්වූ විට කළ නොහැකි දෙයක් නොමැති බව සනාථ කරන ජීවමාන
සාක්ෂියකි.
- දුමින්ද කාරියවසම් |