 ගෞරවය චරිතවත් බව
ආරක්ෂා කර ගැනීමට
කාන්තාව දක්ෂ විය යුතුයි - උඩමාදුර චූලනන්දා මෙහෙණින් වහන්සේ
මෙහෙණින් වහන්ස, සංවරකම කාන්තාව බබළවන ආභරණයක් බව පඬිවරුන්ගේ අදහසයි. සම්බුදු දහම
තුළ එහි වටිනාකම අගයන්නේ කෙලෙස ද?
කාන්තාවකගේ සංවරභාවය කියන්නේ ම සිල්වත් බව හා ප්‍රඥාව මත පදනම් වූ කායික, වාචික සහ
මානසික පැවැත්ම අරමුණු කර ගත් විනයගරුක දිවිපැවැත්මයි.
කායික හා වාචික සංවරබව, හික්මුණු ගමන, කතා කරන විලාසය, තැනට සුදුසු ඇඳුම් පැළඳුම්
භාවිතය වගේ බාහිර සංවරයත්, අනුන්ගේ සිත් නොරිදෙන ආකාරයට කතා කිරීමත් (වචී සංවරය)
මෙහිදී ඉතා වැදගත්.
වර්තමාන සමාජයේ මේ කියන කායික සහ වාචික සංවරභාවය ඇත්තේම නැති තරම්. සමාජයේ ඇතිවන
බොහෝ ප්‍රශ්න සහ ගැටලුවලට මෙය බලපා තිබෙනවා. නොහික්මුණු ගමන් නිසා ඇතිවන විපත්, වචන
හැසිරවීමට නොදන්නාකමින් පැන නඟින ගැටලු මත ඇතිවන විපත් දිනපතා අපට අසන්න දකින්න
ලැබෙනවා. විශේෂයෙන් අද කාන්තාව ඇඳුම් පැළඳුම් භාවිත කරන්නේ කිසිදු අවබෝධයකින් නොවේ.
විලාසිතා පසුපසම යන බොහෝ කාන්තාවන් තැනට සුදුසු ඇඳුමක් අදින්න දන්නේම නෑ. පන්සලකට
ඇදගෙන යන්න ඕන විදිය දන්නේ නෑ. පොදු ප්‍රවාහන සේවයක යන විට ඇඳගෙන යන්න ඕන විදිය
දන්නේ නෑ. තම දූ දරුවන් සමඟ යන විට ඇඳගෙන යන්න ඕන විදිය අම්මා දන්නේ නෑ. සමහර විට
දියණිය සහ අම්මා හඳුනාගන්නත් බෑ. මේ වගේ කිසිදු සංවරභාවයක් නැති ඇඳුම් භාවිතයට අද
බහුතරයක් දෙනා යොමු වෙලා. මේවා දකින අනාගත පරපුර කොතැනින් නවතීද?
ඒ වගේම වර්තමාන සමාජයේ මවුපියන් දරුවන්, දරුවන් මවුපියන්, ස්වාමියා භාර්යාව,
භාර්යාව ස්වාමියා, පාසල් දරුවන් තම ගුරුවරුන්, ගුරුවරුන් තම සිසු දරුවන් හඳුනන්නේ
නෑ. ගුණධර්ම රැක ගැනීමට අපොහොසත් වන මේ පිරිස් නිසා ඇතිවන ප්‍රශ්න අවසන් වන්නේ
ජීවිතවලින් වන්දි ගෙවීමෙන් පසුවයි.
මානසික සංවරය ඇතිකර ගැනීම තවත් එක් වැදගත් කරුණක්. ලෝභ, ද්වේෂ, මෝහ ආදී අයහපත්
සිතිවිලි යටපත් කර ගනිමින් මෛත්‍රිය, කරුණාව සහ ඉවසීම වැනි ගුණාංග වඩා වර්ධනය කර
ගැනීම මේ මානසික සංවරභාවය ඇති කර ගැනීමට ඉවහල් වෙනවා. බුදුදහමේ පෙන්වා දෙන පරිදි
භාවනාව දියුණු කර ගැනීමෙන් මානසික සංවරභාවය ඇති කර ගත හැකියි.
බුදු දහමෙන් කාන්තාවට සමාජයේ මෙන්ම ආගමික ජීවිතයේ ද ඉහළ පිළිගැනීමක් ලබා දී
තිබෙනවා. කාන්තාවගේ ගෞරවය, චරිතවත්බව සහ ආරක්ෂාව ඇති කර ගැනීමට මේ සංවර ගුණාංගවලින්
හැකියාව ලැබෙනවා.
සැකය සහ අනවබෝධය නිසා අද බොහෝ විවාහ දෙදරා යමින් තිබෙනවා. සම්බුදු දහමට අනුව මේ
ප්‍රශ්නය විසඳා ගන්නේ කොහොම ද?
විවාහයකින් ගොඩනැඟෙන පවුල සමාජයේ විවිධ පැතිකඩවලට බලපෑම් ඇති කරනවා. ස්වාමි,
භාර්යාවන්, මවුපියන් සමාජයට වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එනිසා ස්වාමි භාර්යා අතර
ගොඩනැඟෙන මනා සම්බන්ධය අනාගත සමාජ සංවර්ධනයට කරන මෙහෙය සුවිශේෂී වෙනවා. බුදුරජාණන්
වහන්සේ පවුල නමැති සමාජ සංස්ථාව ක්‍රමවත් ව, විධිමත් ව පවත්වා ගෙන යෑමට අවශ්‍ය
උපදෙස් මාලාවක් දීඝනිකායේ සිඟාලෝවාද සූත්‍රයෙන් ස්වාමි, භාර්යා දෙපාර්ශ්වයට ම ලබා
දී තිබෙනවා. එහි සඳහන් වන පරිදි ස්වාමියාගෙන් භාර්යාවට ඉටුවිය යුතු යුතුකම් පහක්
තිබෙනවා. එනම් භාර්යාවට ආදරයෙන් ගෞරව කිරීම, කිසි විටෙක භාර්යාව අවමානයට හෝ
නින්දාවට හෝ පත් නොකිරීම, තම භාර්යාව හැර වෙනත් ස්ත්‍රීන් කරා නොයෑම, නිවෙසේ
කළමනාකරණ කටයුතු තම භාර්යාවට පැවරීම සහ භාර්යාව ප්‍රිය කරන දේ ලබාදී ඇය සතුටු කිරීම
යනුවෙන්.
ඒ වගේම භාර්යාවගෙන් ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් පහක් ද මේ සූත්‍රයේ මනා ලෙස
විග්‍රහ කර තිබෙනවා. එනම් නිසි කලට වේලාවට පවුලේ කටයුතු සංවිධානය කිරීම, ස්වාමියාගේ
පාර්ශ්වයේ අයට එසේත් නැත්නම් ඔහුගේ යහළු මිත්‍රයන්ට සංග්‍රහ කිරීම, තම ස්වාමියා හැර
වෙනත් පුරුෂයන් කරා නොයෑම, සැමියා උපයන ධනය නිකරුණේ වියදම් නොකර ආරක්‍ෂා කිරීම සහ
අලස නොවී සියලු කටයුතුවල නියැළීම යන්නයි.
මේ ආකාරයට බුදුදහමේ විග්‍රහ කෙරෙන ස්වාමි භාර්යා යුතුකම් සහ වගකීම් නිවැරදිව අවබෝධ
කරගෙන කටයුතු කරනවා නම් එම පවුලේ සමඟිය වගේම දියුණුව ඇති වෙනවා. වර්තමාන සමාජයේ
බහුතරයක් ස්වාමි භාර්යා ප්‍රශ්නවලට මූලික හේතුව සැකය සහ එකිනෙකාට ගෞරව කිරීමට ඇති
අකැමැත්තයි. මේ නිසා පවුල දෙදරා ගොස් ඔවුන්ගේ දරුවන් අසරණභාවයට පත් වෙනවා. එයින්
අනාගතයට සිදු වන්නේ විශාල හානියක්. එබැවින් පවුල් සංස්ථාව තුළ මනා අවබෝධයෙන් කටයුතු
කිරීම ඉතා වැදගත්.
කාර්යබහුල සමාජයේ බොහෝ ළමයින් නොමඟට යොමුවී විවිධ ගැටලු මතුව තිබෙනවා. මවුපිය දූ
දරු සබඳතාව ශක්තිමත්ව රඳා පැවැත්ම බුදුදහමේ විග්‍රහ කරන්නේ කෙසේද?
බුදු දහමට අනුව මවුපිය දූ දරු සම්බන්ධය ඉතා පූජනීය, අන්‍යෝන්‍ය වගකීම්වලින් බැඳුණු
එකක්. මවුපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් සහ දරුවන් විසින් මවුපියන්ට ඉටු
කළ යුතු යුතුකම් ගැන බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේම ඉතා පැහැදිලිව විග්‍රහ කර
තිබෙනවා.
දරුවන් පවින් වළක්වා ගැනීම, යහපතෙහි යෙදවීම, හොඳීන් ශිල්ප ශාස්ත්‍ර හා අධ්‍යාපනය
ලබා දීම, සුදුසු වයසේ දී ආවාහ විවාහ කර දීම, නියමිත කාලයේ දී දේපළ හා උරුමය පවරා
දීම කළ යුතු යි. ඒ වගේම දරුවන් විසින් මවුපියන් රැක බලාගැනීම, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු
කිරීම, පරම්පරාවෙන් එන යහපත් කුල පරපුර සහ ගුණධර්ම රැක ගැනීම, මවුපියන් සතු දේපළ හා
උරුමය නිසි ලෙස ආරක්ෂා කිරීම, මවුපියන් මියගිය පසු ඔවුන් සිහිපත් කර පින් අනුමෝදන්
කිරීම දරුවන්ගේ වගකීමක්.
බුදු දහමට අනුව මව්පියන් බ්‍රහ්ම සහ පුබ්බාචරිය (පළමු ගුරුවරයා) ලෙස හඳුන්වනවා.
දරුවන් විසින් මවුපියන්ට කොතෙක් සැලකුවත් එය අවසන් කළ නොහැකි බව ද දේශනා කර
තිබෙනවා.
පවුලේ සාමාජිකයන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් වගේම සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.
මෙහිදී ඔවුනොවුන් කෙරෙහි පවතින විශ්වාසය ඉතා වැදගත්. සෑම දරුවකුටම සිටින
විශ්වාසනීයම තැනැත්තා හෝ තැනැත්තිය මව සහ පියා විය යුතුයි. තමන් ළඟ කිසිදු රහසක්
නැති බව දරුවන්ට ඒත්තු ගැන්වීමට මවුපියන් කටයුතු කළ යුතුයි. දරුවන්ගේ දුකේදීත්,
සැපේදීත් නොවෙනස්ව සිටින්නේ මවුපියන් බව ඔවුන්ට අවබෝධ වන ආකාරයට කටයුතු කළ යුතුයි.
එසේ වූ විට දරුවන් මවුපියන්ට නොකියා කිසිදු දෙයක් නොකරයි.
දරුවන්ට නිදහස ලබා දිය යුතුයි. නමුත් ඔවුන් කරන්නේ කුමක්දැයි මවුපියන් විමසිල්ලෙන්
සිටිය යුතු ය. ඉගෙන ගන්නා වයසේ සිටින දූ දරුවන් පිළිබඳ මවුපියන්ගේ අවධානය
නිරන්තරයෙන් යොමු කළ යුතුයි. දරුවන්ට සමාජය පිළිබඳ නිවැරැදි අවබෝධයක් වගේම මවුපියන්
ඔවුන් කෙරෙහි දක්වන ආදරය සහ කරුණාව අවබෝධ කර දුන්නොත් ඔවුන් නොමඟ යෑම බොහෝ දුරට අවම
කර ගන්න පුළුවන්.
- දිල්හානි ජයවර්ධන |