[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සොඳුරු හුදෙකලාවේ මුනි ගුණ සුවඳ

සොඳුරු හුදෙකලාවේ මුනි ගුණ සුවඳ

අප ශාස්තෘන් වහන්සේගේ පළමු පැවිදි ශ්‍රාවකයා වීමේ පරම දුර්ලභ භාග්‍ය උදා කර ගත්තේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහත් මුනිදු ය. පළමුව චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගත් සම්බුදු හද මඬලෙන් උපන් පළමු නිකෙලෙස් මුනිවරයා වන්නේ ද කොණ්ඩඤ්ඤයන් වහන්සේ ම ය.

පදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ දී හංසවතී නුවර කුල පුත්‍රයකු ව ඉපිද සදහම් ශ්‍රවණය කළ දිනෙක පදුමුත්තර බුදුරජාණෝ රහත් මුනිවරයකුට “පළමුව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා දුන් සේක. මෙය දුටු කුලපුතු “අනේ මටත් බුදුරජාණන් වහන්සේ නමකගේ පළමු ශ්‍රාවකයා වන්නට ඇත්නම් කොතරම් හොඳ දැයි කියා සිතුවේ ය. බුදුපාමොක් මහ සඟනට දනට ඇරයුම් කොට සතියක් පුරාවට සුවඳ ඇල් හාල් බත් ද, කැවිලි පෙවිලි ද පිදීය. එමෙන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතුන් විෂයයෙහි චීවර පූජා ද කර, ඇඳිලි බැඳ තම මහානීය පැතුම සැල කළ කල්හි, බුදුරදුන් අනාගතය බලා නියත විවරණ ශ්‍රී දෙවා ”පින්වත් කුල පුත්‍රය, ඔබේ ප්‍රාර්ථනාව යහපත් වූ එකකි. කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාක කුලය සම්භව කොටැති ” ගෞතම” නම් වූ ශාස්තෘන් වහන්සේ පහළවන සේක. ඔබ ඒ සම්බුදුන්ගේ මංගල ධර්ම දේශනාව අසා උතුම් වූ සෝවාන් ඵලයෙහි පිහිටන්නේ යැයි වදාළ සේක.

පදුමුත්තර සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි ධාතු නොවිසිරී රන් කඳක් මෙන් ඒක ඝනව පැවතුණි. යොදුන් සියයක් උසට දාගැබ ස්වර්ණමය ධාතු ගර්භයක් සෑදවීය. පදුමුත්තර සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ධාතු ශරීරය තැන්පත් කළේ එහි ය. දාගැබ වටා ස්වර්ණමය තොරණ දහසක් ද කරවීය. මෙසේ අපමණ පින් රැස් කොට මරණින් මතු දෙව්ලොව ඉපිද මහත් වූ දෙව් සැප වින්දනය කොට සසර සැරිසරමින් විපස්සී සම්බුදුන්ගේ යුගයේ දී බන්ධුමතී නුවර උපත ලැබ ”මහාකාල” යන නම ලැබීය.

බුදුරදුන් ප්‍රමුඛ අසූ හාර දහසක් භික්ෂු සංඝයාට නව වාරයක දී අග්‍ර ශස්‍ය දන් දී මහානීය පින් රැස් කර ගැනීමට කුල පුතුට භාග්‍ය උදා විය. එසේ පින් රැස් කළ එතුමා ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ සමයෙහි රමණීය වූ කිඹුල්වත් නුවරට නුදුරු ”දෝණවත්ථු” ගමේ බමුණු පවුලක උපත ලැබීය. මව්පියෝ ”කොණ්ඩඤ්ඤ” යන නම තැබූ අතර, කුමරු සුව සේ වැඩෙමින් යොවුන් වියට එළැඹ ත්‍රිවේදය මැනැවින් ඉගෙන ගත්හ.

එ සමයෙහි මහ බෝසතුන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහිවිය. කුමරු උපත ලැබ පස්වැනි දින නම් තැබීමේ මංගල්‍ය සඳහා එකසිය අටක් වූ බ්‍රාහ්මණ පඬිවරුන් කැඳවූ අතර, ඒ අතරින් ප්‍රධාන වූ බමුණු පඬිවරුන් අට දෙනෙක් මූලිකත්වය ගති. කුමරුගේ දේහ ලක්ෂණ පිරික්සූ රාම, ධජ, ලක්ඛණ, මන්ීල, භෝජ, සුයාම, සුදත්ත යන පඬිවරුන් ඇඟිලි දෙකක් ඔසවා, ”මේ කුමරු ගිහිගෙයි වාසය කළොත් සක්විති රජ වෙයි. පැවිදි වුවහොත් ලොව්තුරා බුද්ධත්වයට පත්වෙයි” කියා පැවසූහ. ලක්ෂණ ශාස්ත්‍රයෙහි අග තැන්පත් කොණ්ඩඤ්ඤ තෙමේ කුමරුගේ දකුණට කරකැවී පිහිටි රිදීවන් ඌර්ණ රෝම ධාතුව දැක ඒකාන්තයෙන් ම මේ උතුමා පැවිදිව, ලොව්තුරා සම්බුදුබව ලබා දෙවි මිනිසුන් සහිත ලෝක සත්ත්වයාට මහත් වූ ශාන්තියක් ම සිද්ධ කරන්නේ යැයි එක් ඇඟිල්ලක් පමණක් ඔසවා නියත ලෙස ම පැවසීය.

බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකීමෙන් අනතුරුව විසිනව වැනි වියෙහි දී මහා අභිනිෂ්ක්‍රමණය සිදුකොට පැවිදි විය. කොණ්ඩඤ්ඤ බමුණා එය අසා වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන මානවකයන් සමඟ මතු බුදුවන බෝසතාණන් වහන්සේ උදෙසා ශ්‍රමණභාවය ලැබූහ. ගම් දනව් සැරිසරා බෝසතුන් සොයමින් ඇවිද උරුවෙල් දනව්වේ දුෂ්කර ක්‍රියා කරන ශ්‍රමණ ගෞතමයන් මුණගැසී, මෙත් සිතින්, ගෞරවයෙන් බොහෝ කලක් උපස්ථාන කළහ. අතිශය කටුක තපස් චර්යා පුරමින් බෝසතාණන් වහන්සේ අත්ථකිලමතානුයෝගය නිවනට මඟ නොවන බව ප්‍රත්‍යක්ෂයෙන් දැන අත්හළ සේක. පිඩුුසිඟා බොජුන් වළඳමින් මැදුම් පිළිවෙතේ පිළිවෙත් පුරද්දී, නිවන් මඟ වරද්දා ගත්තා යැයි වැරැදි වැටහීමක් ගත් පස්වග මහණුන් බෝසතුන් අත්හැර බරණැස ඉසිපතන මිගදායට පිටත්ව ගියහ.

බෝසතාණන් වහන්සේ වෙසක් පොහොය දිනක සව් කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත්වී වදාළ සේක. බෝමැඩ සමීපයේ සත්සති ගත කොට ඇසළ පුන් පොහෝ දිනක පස්වග භික්ෂූන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය වදහළ සේක. සවන්පත් යොමා නුවණින් විමසමින් දම් දෙසුම ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤයන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්ව දහම් ඇස පහළ කර ගත් මුල්ම ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වූ සේක. ශාස්තෘන් වහන්සේ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤ පින්වත් කොණ්ඩඤ්ඤයන් ඒකාන්තයෙන් ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා යැයි උදම් ඇනූ සේක.

එතැන් පටන් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ” අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් හැඳීන්විණි. කොණ්ඩඤ්ඤ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇඳිලි බැඳගෙන ” ස්වාමීනි, ඔබ වහන්සේ සමීපයේ පැවිදි බව ලබම්වා ! උපසම්පදාව ලබම්වා ! යැයි ඉල්ලා සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තය දිගුකර ” මහණ, මෙහි එව ! ධර්මය මනා කොට දේශනා කරන ලදී. සියලු දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙන්න ” යැයි වදාරමින් ” ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදා කළ සේක. එමෙන්ම වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන හිමිවරු ද සෝවාන් ඵලය සාක්ෂාත් කොට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා ගත්හ.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් අරභයා අනාත්ම ලක්ඛණ සුතුර දේශනා කොට වදාළ කල්හි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රධාන පස්දෙනා වහන්සේ ම සකල ක්ලේශ ප්‍රහාණයට පත් කරමින් සිව්පිළිසිඹියාවන් ද සමඟින් මහරහත්භාවයට පත්වූහ.

සමූහයා සමඟ ගැවසීම ප්‍රිය නොකළ කොණ්ඩඤ්ඤයන් වහන්සේ සිය පැවිදි දිවියේ වසර දොළහක් පමණ වූ අවසන් අවධිය ගතකළේ හිමාලයේ ජද්දන්ත වනයේ මන්දාකිනි පොකුණු තෙර විවේකස්ථානයක ය. එහිදී උන්වහන්සේට සියලු උපස්ථාන සිදුකළේ අටදහසක් පමණ ජද්දන්ත හස්තීන් ය. ආයුෂ අවසන් බව අරහත් ඤාණයෙන් දුටු කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කොට පාද නමස්කාර කරමින් පිරිනිවන් පෑමට අවසර ගෙන භික්ෂු සංඝයාට ඔවදන් දී සමුගෙන යළි වැඩම කළ සේක. පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශ්‍රී දේහය මහපොළොව වාසී දෙවිවරුන්ගේ පටන් අකනිටා බඹලොව තෙක්ම මහත් වූ පුද පූජා මධ්‍යයෙහි වැඩමවන ලද්දේ ය. යළි අනුක්‍රමයෙන් හිමාලයට වැඩමවා ජද්දන්ත හස්තීන්ගේ ද අවසන් ගෞරව මැද දේහය ආදාහනය කරද්දී නිකෙලෙස් මහරහතුන් පන්සිය නමක් ද හිමාලයට වැඩම කළහ. ඒ මුනිවරුන් රැගෙන වැඩම කළ අඤ්ඤාකොණ්ඩඤ්ඤ අරහන්තක ධාතූන්

වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ස්පර්ශය ලැබ එකණෙහි වේළුවනාරාමයේ සම්බුදු බලයෙන් පැනනැඟුණු රිදී ස්ථූපය තුළ සම්බුදු දෑතින් ම තැන්පත් කළ සේක. සසුන් පරපුරෙන් දායාද වූ ඒ උත්තම අඤ්ඤාකොණ්ඩඤ්ඤ අරහන්තක ධාතූන් වහන්සේ තැන්පත් කිරීම පිණිස වර්තමානයේ මොරගහකන්ද මහමෙව්නාව වන සෙනසුනෙහි ” ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ සෑය ” නමින් අභිනව සෑ රජාණන් වහන්සේ නමක් ඉදිවෙමින් පවතී.

හිමාල වනයේ කඳුපන්තීන් සිහිගන්වන කඳු වළල්ලකින් වටවුණ, මන්දාකිනි පොකුණ සදිසි මොරගහකන්ද ජලාශය සමීපයේ මනරම් උස් බිමක ඉදිවන එම සෑ රදුන්ගේ සතරැස් කොටුවෙහි ශ්‍රී සර්වඤ්ඤ ධාතූන් ද ධාතු ගර්භයෙහි ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ අරහන්තක ධාතූන් වහන්සේ ද නිධාපිත ව ඒ උතුම් සෑ රදුන් දෙවි මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ගෞතම බුදු සසුනට පිදෙනු ඇත. ගෞතම බුදු සසුනේ සියලු නිකෙලෙස් මුනිවරුනට ජ්‍යෙෂ්ඨ වූ පරම නිෂ්කාමී දිවිපෙවෙතක් ගතකළ ඒ උත්තම අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට මුනිඳුන්ට අපගේ නමස්කාරය වේවා ! අභිනවයෙන් ඉදිවන ශ්‍රී කොණ්ඩඤ්ඤ මහ සෑ රදුන්ටද අපගේ හදපිරි නමස්කාරය වේවා !

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]