
දහමින් සුපෝෂිත ජීවිතයක සුවය
මහාචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරදුන් වදාළ ධර්මය විමුක්ති දර්ශනයකි. එය සසර දුක නිමා කොට එයින් මිදෙන මඟ
නිරවුල් ව, නිවැරැදි ව පෙන්වා දී ඇති අතර, එම පිළිවෙත අනුගමනය කිරීමෙන් කෙනකුට
වර්තමාන ජීවිතයේ ම විමුක්තිය සාක්‍ෂාත් කළ හැකි ය. එයින් මෙපිට ලෞකික ජීවිතය
අර්ථවත් කෙරෙන, සමාජ විමුක්තියට අදාළ වන ආචාර ධර්ම පද්ධතියක් ද බුදුරදුන් වදාළ
ධර්මයේ ඇතුළත් ව තිබේ. පුද්ගල විමුක්තියත්, සමාජ විමුක්තියත් එකම කාසියක දෙපැත්ත සේ
එකිනෙකට සම්බන්ධ ව පවතින අයුරු බුද්ධ දේශනාව පිරික්සීමෙන් වටහාගත හැකි ය. මිහ¼ිදු
හිමියන් විසින් මෙරටට හඳුන්වාදෙන ලද ථෙරවාද බුදුසමය යටකී දෙ අංශයෙන් ම මැනවින්
පෝෂණය වී පැවැති හෙයින් එම දහම සිංහල බෞද්ධයාගේ ජීවිතය ආධ්‍යාත්මික අංශයෙන් මෙන්ම
ලෞකික සමෘද්ධියෙන් ද පරිපූර්ණත්වයට පත්කර තිබේ.
බුදුසමයෙන් යෝජනා කරන ලද සම්මා ආජීවය ලංකාවේ රාජ්‍ය මෙන්ම පුද්ගලික ආර්ථිකය කෙරෙහි
ද බලපා තිබේ. දැහැමි ජීවනෝපාය ලෙස නිර්දේශිත ගොවිතැන, වෙළෙඳාම, රාජ්‍ය සේවය හා
වෙනත් ශිල්ප කර්මාන්ත ආදිය ධනය ඉපැයීමේ ක්‍රමය බවට පත්ව තිබේ. පරිසර හිතකාමී
ගොවිතැන කෙරෙහි සිංහල බෞද්ධයා යොමු වූයේ එය බුදුදහමින් අනුමත වූ හෙයිනි. පාරිසරික
සම්පත් කෙරෙහි මිතුරු ආකල්පයක් ඇතිකර ගත් හෙයින් ඒවාට හානි කිරීමෙන් හෝ ඒවා සූරා
කෑමෙන් හෝ වැළකුණි. මල නොතලා රොන් ගන්නා බඹරකු සේ (බඹරස්සේව ඉරීයතො) ස්වභාව ධර්මයට
හානි නොකර, එයින් ප්‍රයෝජන ලබා ගත්හ. ජල සම්පත මහත් ධනයක් සේ සැලකූ පාලකයෝ මෙන් ම,
පොදු ජනයා ද එය සුරකිමින් ආර්ථික සමෘද්ධිය සඳහා මහා වැව්, කුඩා වැව්, ඇළ වේලි
ඉදිකළහ. පොදු ජනයා ඇළ දොළ, ගංගා, වැව් පොකුණු සිය දිවි දෙවැනිකොට ආරක්‍ෂා කළ අයුරු
ඒ හා සම්බන්ධ ඇදහිලි පුද සිරිත් ආදියෙන් පැහැදිලි වේ.
පරිසර සංරක්‍ෂණයේ වැදගත්කම වනරෝප සූත්‍රය ඇසුරෙන් වටහාගත් පාලක පාලිත දෙපිරිස ම ගස්
සිටුවීමටත්, උද්‍යාන හා පාලම් ඉදි කිරීමටත්, මං මාවත් ගොඩ නැඟීමටත්, පානීය හා
පරිභෝජනීය ජලය සුරැකෙන අයුරින් ක්‍රියා කිරීමටත් පුරුදු වූහ. ජලයට කැළි කසළ එකතු
නොකළ අතර, හැකි තාක් පැන් පොකුණු ළිං ඉදිකිරිමෙන් ද, මගීන්ගේ ප්‍රයෝජන සඳහා මඟ දෙපස
පැන්තාලි තැබීමෙන් ද අනාගත මෛත්‍රී බුදුන් දැකීම උදෙසා වෙහෙසුණහ.
අනාගත වංශයේ එන මෛත්‍රී බුදුන් දැකීමට හේතුවන පරිසර සංරක්‍ෂණයට අදාළ සමාජ සත්කාර
කිරීම මහත් පුණ්‍ය කර්මයක් සේ සලකා තිබේ.
කුටදන්ත සූත්‍රය හා සුත්ත නිපාත බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය ආදි දහම් කරුණු මැනවින්
ප්‍රගුණ කළ සිංහල බෞද්ධයෝ සත්ත්ව ඝාතනය, සත්ත්ව හිංසනය බැහැර කළහ. ඒ වෙනුවට කරණීය
සූත්‍රය ආදර්ශයට ගෙන සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත පැතිර වූ අතර, මෙම බෞද්ධ
ප්‍රතිපදාව අනුගමනය කළ ඇතැම් රාජ්‍ය පාලකයයෝ කලින් කලට මාඝාතය පනවමින් අභය දානය
තහවුරු කළහ. චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන දස සක්විතිවත් රාජ්‍ය පාලනයට යොදාගත්
ඇතැම් රජවරු ලක්දිව ස්වභාවික පරිසරය, ගහකොළ, සතා සීපාවා මැනවින් සුරක්‍ෂිත කිරීම,
රාජ්‍ය පාලනයේ කොටසක් බවට පත්කළහ. මහින්දාගමනයෙන් පසුව මෙරට ආර්ථික ප්‍රතිපත්ති
සකස් වූයේ ථෙරවාද බුදුසමයෙන් හඳුන්වාදෙන ලද සාරධර්මවලට අනුගතව ය. ඒ හෙයින් සමාජයට
හා පරිසරයට හිතකර ආර්ථිකයක් නිර්මාණය වූ බව පැහැදිලි ය.
මහේච්ඡතාව, අධිපරිභෝජනය වෙනුවට අල්පේච්ඡතාව මූලික කරගත් සරල පරිභෝජන රටාවකට සිංහල
බෞද්ධයෝ හුරු වූයේ මහින්දාගමනයෙන් ලැබුණු මාර්ගෝපදේශකත්වය නිසයි. ලක්දිව වාසී
භික්‍ෂූන්ගේ සිව්පස පරිභෝජනය සකස් වූයේ අරියවංස සූත්‍රයේ දැක්වෙන පිළිවෙළ අනුව ය.
විමුක්තිය සාක්‍ෂාත් කිරීම ඒකායන අරමුණු කර ගත් උන්වහන්සේ සිව්පසය පරිභෝජනය කළේ එම
අරමුණ සඵල කර ගැනීම වෙනුවෙනි. දිවා රෑ දෙකෙහි වෙහෙස මහන්සි වී ධනය ඉපැයීමේ නිරත වූ
ගිහියා තම ධනය පරිභෝජනයේ දී ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සහ සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන
පරිදි අයවැය සමව පවත්වා ගනිමින් අරපිරිමැස්මෙන් සිය ධන සම්පත් ප්‍රයෝජනයට ගත්හ.
ආදායමට වඩා වියදම් කොට ණය වීමත්, සැලකිය යුතු ආදායමක් තිබියදී සුවපහසු දිවියක් ගත
නොකිරීමත් යන අන්ත දෙක බුදුදහමින් ප්‍රතික්‍ෂේප කර ඇති හෙයින් ධනය විනාශ වන දොරටු
සැකෙවින් හඳුනාගත් බුද්ධිමත් ගිහියා සමජීවීකතාව ස්වකීය ආදර්ශය කොට ගත්තහ.
ලද සම්පත් නිසි සේ කළමනාකරණය කර ගැනීම බෞද්ධ ජීවිතයක ලක්‍ෂණය වේ. තැන නොතැන නොදැන,
උචිත අනුචිත බව නොදැන, තමාගේ තරම මැනවින් වටහා නොගෙන කටයුතු කරන පුද්ගලයාට ගිහි
ජීවිතය දුක් සහිත ය. එවැනි අනුවණ තැනැත්තෝ ඉතා කෙටි කලෙකින් ම ධනයෙන් ද, සැපයෙන් ද
පිරිහෙති.
අතීතයේ මිනිසා වින්දනය කළ නිදහස, පුද්ගලිකත්වය හා මානසික සාමය වර්තමාන මිනිසාගෙන්
දුරස් වී ඇත්තේ නව තාක්‍ෂණයේ ආනුභාවයෙනි. ආත්ම දමනය, ස්වයං විනය නොමැති කෙනකුට නූතන
තාක්‍ෂණය අහිතකර වේ. එහෙත් ආත්ම සංයමය හා සදාචාරය පිළිබඳ නිවැරැදි දැනුමක් සහිත
කෙනකුට නව තාක්‍ෂණය තමාට අවශ්‍ය ආකාරයට හසුරුවා ගත හැකි ය. බොහෝ දෙනකු නව තාක්‍ෂණයේ
වහලුන් බවට පත්ව ඇති හෙයින් මනුෂ්‍යත්වයට නිගාදෙන අයුරින් හැසිරීම අරුමයක් නොවේ.
විවිධ මතවාද, දෘෂ්ටිවල එල්ලී ඒ වෙනුවෙන් දෙපිලකට බෙදී වාද විවාද කිරීම සුලබ
දර්ශනයකි. බොහෝ සමාජ මාධ්‍ය ආශ්‍රිත සිදුවීම් පෙන්වා දෙන්නේ දෘෂ්ටි සංග්‍රාමයක
හෙවත් වාග් යුද්ධයක පවතින යථා ස්වභාවය යි.
බුදුරදුන් වදාළ සක්කපඤ්හ, කලහා විවාද සූත්‍ර දේශනා වර්තමාන සමාජ මාධ්‍ය ඇසුරු කර
ගත් ගැටුම්වල පවතින මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පදනම මැනවින් විදහාපායි.
මතවාද දෘෂ්ටි පදනම් කරගත් වාග් සංග්‍රාමය අවසන් වන්නේ පුද්ගල මෙන්ම සමාජීය
අර්බුදයක් තවදුරටත් වර්ධනය වීමෙනි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය මෙන්ම වාචසික
දුෂ්චරිතයට අදාළ බොරු කීම, කේළාම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම ආදිය සමාජ
මාධ්‍ය හා සම්බන්ධයෙන් දක්නට ලැබෙන පොදු තත්ත්වයයි. අභ්‍යන්තර සාමය නොමැති අයකු ඉතා
කඩිනමින් මෙම ගැටුම්වල පැටලෙන අතර, එමඟින් ඇති කෙරෙන මානසික ආතතිය කායික රෝගී බවට
හේතුවක් වේ.
ඉන්ද්‍රීය සංවරය, මානසික අවදිබව (යෝනිසෝමනසිකාර) සිහිය හා නුවණ (සතිසම්පජඤ්ඤ) මෙන්ම
දෘෂ්ටි උපාදානයෙන් (දිට්ඨි උපාදාන) වැළකීම සමාජ මාධ්‍ය භාවිතයේ දී බෙහෙවින් අවශ්‍ය
වේ. බුදුරදුන් වදාළ සදාචාරය අදාළ වන්නේ සජීවී පුද්ගලයකුට මිස අජීවී වස්තුවකට නොවේ.
තාක්‍ෂණික මෙවලම්වලට විනය අදාළ නැත. විනය හා සදාචාරය අදාළ වන්නේ එය භාවිත කරන
පුද්ගලයාට ය. |