සසුනඹර ඒකාලෝක කරන දඹගස්ආරේ චන්දසිරි අනු නාහිමියෝ

සසුනඹර ඒකාලෝක කරන දඹගස්ආරේ චන්දසිරි අනු නාහිමියෝ

පාණදුරේ, වැලිපිටිය අභයකරුණාරත්න මුදලින්දාරාම මහා විහාරාධිපති, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති දඹගස්ආරේ චන්දසිරි අනු නාහිමියෝ පසුගිය 07 වැනි දින හැත්තෑ පස් වැනි විය සම්පූර්ණ කළහ. ඒ වෙනුවෙන් උන්වහන්සේට ආශීර්වාද කිරීමේ පින්කම් මාලාවක් පාණදුර, වැලිපිටිය විහාරස්ථානයේ දී පසුගිය 06 සහ 07 දෙදින පැවැත්විණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පාණදුර ප්‍රදේශයේ ජාතික, ආගමික, අධ්‍යාපනික සහ සාමාජිය පුළුල් මෙහෙවරකට පුරෝගාමී දායකත්වයක් ලබා දෙන වැලිවිටිය අභය කරුණාරත්න මුදලින්දාරාම මහා විහාරස්ථානයේ දඹගස්ආරේ චන්දසිරි නාහිමි ගිහි, පැවිදි සැමගේ නොමඳ බුහුමනට ලක් වූ ආදර්ශවත් සංඝ පීතෘවරයෙකි.

පැවිද්දකුගේ කාර්යභාරය මැනවින් හඳුනාගෙන එම භූමිකාවේ සිට තමන් වහන්සේගෙන් ඉටුවිය යුතු මෙහෙවර සක්‍රීය ව බෞද්ධ සමාජයට ලබා දෙන චන්දසිරි නාහිමි සිල් ගුණ නුවණින් පිරිපුන් සම්භාවනීය බුද්ධ පුත්‍රයෙකි.

1952 ජූනි මස 07 වැනි දින නාකුළුගමුව, මහවෙල දී උපත ලැබූ උන්වහන්සේ සුවඳ හැන්නැදිගේ පොන්තේනිස් අප්පු සහ කළුහැන්නැදිගේ බේබි නෝනා යන දම්පතීන්ගේ පස්වැනි දරුවා විය. ගිහි කල මාර / දෙමටපිටිය මහ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මෙම පින්වත් කුමරා පෙර පිනෙන් මෙහෙයවන ලදුව 1967 මාර්තු මස 22 වැනි දින එවකට අභය කරුණාරත්න මුදලින්දාරාමාධිපති ව වැඩ විසූ පණ්ඩිත කෙසෙල්වත්තේ චන්දමුනි අනුනාහිමිගේ ශිෂ්‍යයකු ලෙස දඹගස්ආරේ චන්දසිරි නමින් උතුම් පැවිදි දිවියට ඇතුළත් වූහ.

අනතුරුව පාණදුරේ ඓතිහාසික රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාල මූලික පිරිවෙනින් හා පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලැබූ චන්දසිරි සාමණේරයන් වහන්සේ විසි වයස් සපිරිව 1973 ජූලි මස 07 වැනි දින අම්බලන්ගොඩ, මාදම්පාමෝදර උදකුෙක්‍ඛප සීමා මාලකයේ දී කහඳාමෝදර චන්ද්‍රකීර්ති ශ්‍රී පියරතන මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්හ. ඉන්පසු අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව ත්‍රිපිටක ධර්මය හා ප්‍රාචීන භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබාගත් උන් වහන්සේ එවකට මෙරට බිහිවූ ත්‍රිපිටකවේදී උපාධි සාමාර්ථය ලැබූ යතිවරුන් අතර එක්නමකි. 1989දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී බාහිර උපාධිය සමත් වූ චන්දසිරි යතිවරයාණෝ ප්‍රාචීන පණ්ඩිත හා ශාස්ත්‍රපති උපාධි ද දිනා ගන්නට සමත් වූහ.

1984 වර්ෂයේ දීි පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන් ආචාර්ය මණ්ඩලයට බැඳුණු උන්වහන්සේ වසර අටක පමණ කාලයක් එහි සංස්කෘත ආචාර්යවරයා ලෙස ඉගැන්වීම් කටයුතුවල නිරත වූ අතර, 1991දී බුද්ධශ්‍රාවක ධර්ම පීඨයෙහි කථිකාචාර්ය ධුරයක් ලැබ වසර තුනක පමණ කාලයක් එහි ද සේවයෙහි නිරත වූහ. ඉන් පසු වසර 15ක පමණ කාලයක් පාණදුර රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු වශයෙන් විශ්‍රාම යන තෙක් අධ්‍යාපන සේවයට කැප වූ උන්වහන්සේ තම ගුරු දේවයන් වහන්සේගේ අපවත් වීමත් සමඟ අභය කරුණාරත්න මුදලින්දාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්වූහ.

වැලිපිටිය විහාරස්ථානයේ වර්තමාන දියුණුවේ නියමුවාණන් වන චන්දසිරි හිමියෝ ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසලක් මෙන්ම සෙනසුරාදා හා බදාදා දින භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් ආගමික හා අධ්‍යාපනික ප්‍රබෝධයක් ඇති කිරීමට කටයුතු කළහ. බෝධිඝරය, අටවිසි බුදු මැඳුර, නව ආවාස හා දහම් පාසල් ගොඩනැඟිලි ඉදිකරමින් එම මෙහෙවර ස්ථාපිත කර තිබේ. ආධ්‍යාත්මික ප්‍රගතිය සඳහා තමන් වහන්සේ ද විවිධ භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා කටයුතුවල නිරත වෙමින් බොදු ශ්‍රාවක ප්‍රජාවට මඟ පෙන්වන චන්දසිරි නාහිමියෝ් සසුන්කෙත හොබවන්නට ශක්‍යතාව ඇති දැන උගත් තරුණ භික්ෂුන් වහන්සේ කිහිප නමක් සසුනට දායාද කරදීමට සමත් වූ යතිවරයෙකි.

අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ අනු නායක ධුරයකින් ද පිදුම් ලැබූ උන්වහන්සේ අල්පේච්ඡ ගතිපැවතුම් ඇති අනතිමානී ගුණයෙන් අනූන ගිහි පැවිදි සැමගේ ප්‍රසාදයට පත්ව වැඩ සිටින ශාසනභාරධාරී පැවිදි උතුමෙකි. තමන් වහන්සේ වෙත පැමිණෙන කවර අයකු සමඟ වුව ද ප්‍රියශීලී ව පිළිසඳරෙහි යෙදෙන උන්වහන්සේ කළ යුතු යමක් වේ නම් නොපැකිළිව ඉටු කිරීමට සැදී පැහැදී සිටින යතිවරයාණන් වහන්සේ නමකි. ලෝක ශාසනික මෙහෙවරක නිරතව වැඩ සිටින උන්වහන්සේගේ 75 වැනි ජන්මෝත්සවය නිමිති කොට සෙත්පැතීමේ පින්කම් මාලාවක් පැවැත්වීමට ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ මෙන්ම දායක දායිකා පින්වත්හු කටයුතු සම්පාදනය කළහ. ඒ අනුව පසුගිය 06 වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 07 වැනි දා ශතාධික මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පින්කමක් පැවැත්විණි. එම පුණ්‍යාශීර්වාද බලයෙන් උන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවායි මෙත් සිතින් සෙත් පතමි.

පොසොන් පුර අටවක

ජුනි 21 ඉරිදා අ.භා. 03.28න්
පුර අටවක ලබා 22 සඳුදා
අ.භා. 03.46න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]