සසුන’ඹර එළිය කරන කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි

සසුන’ඹර එළිය කරන කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි


ගාල්ල, කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ “ම්‍රම්ම වංශාභිධජ සිරි සද්ධම්ම යුත්තික” පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ධුරන්ධර, දර්ශනපති, පණ්ඩිත “සිරි චන්දසිරි වංශාලංකාර ධම්ම කීර්ති ශ්‍රී” කණුමුල්දෙණියේ චන්දවිමලාභිධාන නාහිමිපාණන් වහන්සේ සසුන’ඹර එළිය කරන මහා යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ මෙම මස 7 වැනි දින තම දිවියේ 65 වැනි වියට පා තැබීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවට අයත් වලස්මුල්ල, පල්ලේකන්ද ගමේ ගීගනගේ එඩ්වින් හීන්හාමි යන මව්පිය දෙපළට 1961 ජුනි මස 07 වැනි දින මෙම පින්වත් කුමරුවන් ජයවර්ධන නමින් උපත ලැබීය. නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු මොහු පල්ලේකන්දේ ශ්‍රී චන්දිමාරාමාධිපති මුල්ලේවත්තේ චන්දිම නාහිමියන් අතින් අත්පොත් තබා අකුරු කියවන ලදී. එම අවස්ථාවේ දී ද ජන්ම පත්‍රය පරීක්ෂා කළ නාහිමියන් පවසා ඇත්තේ මෙම කුමරුවන් පැවිදි කරවන ලෙස ය. ඒ වන විට මොහු කුඩා නිසා මව්පියන් පවසා ඇත්තේ පසුව සලකා බලන බවයි.

මූලික අධ්‍යාපනය සඳහා කණුමුල්දෙණිය මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී නැවත මුල්ලේවත්තේ චන්දිම නාහිමියන් මව්පියන්ගෙන් විමසන ලද්දේ මෙම කුමරුවන් සසුන්ගත කිරීම පිළිබඳව යි. ඒ සඳහා මව්පිය දෙපළගේ කැමැත්ත හිමි වූ බැවින් ජයවර්ධන කුමරු ප්‍රධාන පල්ලේකන්ද ග්‍රාමයෙන් තවත් හය දෙනකු ඒ සඳහා ඉදිරිපත් විය. මෙම කාලයේ ගාලු නගරයේ කේන්ද්‍ර කර ගනිමින් සුවිශාල ආගමික, සමාජීය මෙහෙවරක නිරත වූ මුල්ලේවත්තේ චන්ද්‍රසිරි නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1973 ජනවාරි මස 11 වැනි දින මෙම කුමරුවන් පැවිදි දිවියට ඇතුළත් වූයේ කණුමුල්දෙණියේ චන්දවිමල යන ශාසනික නාමයෙනි. මෙකී පැවිදි පින්කමේ මූලාසනය දරන ලද්දේ අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් විසිනි. පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසු මූලික බණ දහම් ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි වැඩ වෙසෙමින් තම ගුරු දේවයන්ගේ ඇසුරින් ලැබූ චන්දවිමල සාමණේරයන් වහන්සේ මූලික අධ්‍යාපනය ලැබුයේ ගාල්ල, දඩල්ල විද්‍යාරාජ පරිවේනස්ථානය ඇසුරු කොට ගෙන ය. පාලි, සංස්කෘත, සිංහල වැනි භාෂා මෙන් ම අනෙක් විෂයයන් කෙරෙහි ද ඉතා දක්ෂයෙක් වූ උන්වහන්සේ මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් උසස් ලෙස සමත් විය. පසු ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ද සමත් වීමෙන් අනතුරුව 1980දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව උපාධිය ද ලැබීය. නැවත විවෘත විශ්වවිද්‍යාලයේ වෘත්තීය ඉංගී‍්‍රසි ප්‍රවීනතාව පිළිබඳ සහතිකය 1985දී ලබා ගත් චන්දවිමල හිමියන් ඒ වන විට 20 වැනි වියේ පසුවිය.

1985 ජූනි මස 02 වැනි දින අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූයේ ගාල්ල, මහමෝදර ගං නදියෙහි උදකුක්ඛේප සීමා මන්දිරය ඇසුරු කොට ගෙන ය. උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායන් වූයේ ගෞරවනීය මුල්ලේවත්තේ චන්දිම හා මුල්ලේවත්තේ චන්දසිරි යන නාහිමිවරුන් ය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව තම පළමු ගුරුපත්වීම ගා/ඌරගස්මන්හන්දිය පතිරාජ විද්‍යාලයට ලබන ලද චන්දවිමල හිමියන් ප්‍රථම වතාවට රාජ්‍ය සේවයට ඇතුළත් වන ලදී. පසුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස 1995 දක්වා ද, මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ කථිකාචාර්යවරයකු ලෙස 1996 සිට 2004 දක්වා සේවයේ නිරත වන ලදී. මෙම කාල සමයෙහි බොහෝ ආගමික, සාමාජීය හා ශාස්ත්‍රීය සේවාවක නිරත වූ උන්වහන්සේ තම ගුරු දේවයන් වහන්සේ පෙන්වා දුන් මඟෙහි ම ගමන් කරන්නට විය. උන්වහන්සේ සිදු කරන ආගමික හා සමාජීය මෙහෙවර කෙසේ අගයන්නේ ද යන්න කිව නොහැකි තරම් ය. බොහෝ සංවිධාන හා සුබසාධන සංගම්වල අනුශාසකත්වය දරන උන්වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසක ධුරය ද, ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයන් ද දරමින් ඉටු කරන මෙහෙය ඉතා අගනේ ය. එපමණක් නොව ගාල්ල පිළිකා සංගමයට අනුශාසකත්වය දෙමින් සිදු කරන මෙහෙය ද අතිශයින් ම වැදගත් ය.

“ගාලු පුර බොදු සවිය” සංවිධානයෙන් මෙන්ම විවිධ සංවිධාන හා සමාජ සුබසාධක සංගම් තුළින් ඉටු කරන මෙහෙවර සුවිශාල ය. මෙකී ජාතික, ආගමික හා සමාජීය සේවාව අගය කිරීමක් වශයෙන් 2014දී අමරපුර මහා නිකායේ ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහානායක ධුරයට පත් වූ කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමියන් සැබැවින් ම ආදර්ශ සම්පන්න මහා යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ් චරිතය තුළ දැකිය හැකි වටිනාම ගුණාංගය වනුයේ සරල හා අනතිමානී බවයි. ආගමික, සමාජීය වශයෙන් සුවිශාල මෙහෙවරක නිතර වන කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමියන් සැබැවින් ම සසුන’ඹර ආලෝකයට පත් කරන දිදුලන තාරකාවකි. ගිහි, පැවිදි බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇති අප මහ නාහිමියන් දෙස් විදෙස් වශයෙන් ද ප්‍රචලිත මහා සංඝ පීතෘන් වහන්සේ නමකි.

මෙලෙස තම දිවියේ 65 වැනි වියට පා තබන කණුමුල්දෙණියේ චන්දවිමල මහ නා හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතර, තව බොහෝ කලක් සසුන් වැඩ වසන්නට අවැසි දිරිය හා ශක්තිය තෙරුවන් ගුණ බලයෙන් ලැබේවා’යි පතන්නෙමු.

පොසොන් පුර අටවක

ජුනි 21 ඉරිදා අ.භා. 03.28න්
පුර අටවක ලබා 22 සඳුදා
අ.භා. 03.46න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]