චුල්ලනාග තෙරුන්ගේ දානයේ මහිමය

චුල්ලනාග තෙරුන්ගේ දානයේ මහිමය

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ලංකා ද්වීපය පුරා භික්ෂු ශාසනය පැතිරෙන්න පටන් ගත්තා. මේ හැම කටයුත්තකට ම උන්වහන්සේට උපකාර වුණේ එකල රාජ්‍ය කරපු දේවානම්පියතිස්ස රජතුමා. සම්බුද්ධ ශාසනය හෙළදිව පිහිටුවීමට නම් හෙළදිව උපන් කෙනෙක් හෙළදිව දීම ධර්ම-විනය අධ්‍යයනය කරලා හෙළදිව දීම උපසම්පදා වෙන්න ඕන බව මහරජතුමාට දැන ගන්න ලැබුණා. මේ නිසා රජතුමා ථූපාරාම විහාරය ගොඩනැඟුවා. ථූපාරාම මහා දාගැබ වටා දෙමහල්, තෙමහල් වගේ ම සිවුමහල් ගොඩනැඟිලිත් ඉදිකළා. විහාරය වටා ප්‍රාකාර ඉදිකළා. වැලි මළු සකස් කළා. මෙහෙම විහාරය හරියට දිව්‍ය විමානයක් වගේ ලස්සන කළා. නිතර හේවිසි පූජා නාදවලින් සැරසුවා. සුවඳ මල්වලින් අලංකාර කළා. කලක් යන කොට විහාරයේ භික්ෂූන් වහන්සේ තුන්දහසක් බවට පත් වුණා. මේ හැම දෙනා වහන්සේ ම විහාරයේ පවත්වාගෙන ගිය අසිග්ගාහක නම් පිරිවෙනෙන් ධර්ම-විනය අධ්‍යයනය කළා. ඒ හැම දෙනාවහන්සේ ම කාල සටහනකට අනුව කටයුතු කරන්න පටන් ගත්තා.

මේ සංඝයා අතර හිටියා ‘චූලනාග කියලා තෙර නමක්. උන්වහන්සේගේ පුරුද්දක් තමයි පිණ්ඩපාත ධුතංගයෙන් ජීවත්වීම. ඒ නිසා හැමදාම ථූපාරාම මහා විහාරයේ අනුරාධපුර නගරයේ චන්ද්‍රවංක වීථියට වැඩම කරලා පිණ්ඩපාතය ලබාගෙන ඇවිත් අනෙක් භික්ෂූන්ටත් දීලා වළඳනවා. වළඳා ඉවර වුණාම පාත්‍රය හොඳට සෝදලා, වතුර පිසදමලා සුදුසු ස්ථානයක තැන්පත් කරනවා. ඊට පස්සේ සවස් කාලයේ ටික වේලාවක් විවේක ගන්නවා. දවසක් මෙහෙම විවේක ගනිමින් වැඩ ඉන්න කොට තමන් වහන්සේගේ ආවාසය ඉදිරිපිටින් නිතර නිතර සතෙක් කෑගසන ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. ඉවසන් ඉඳලා ටික වේලාවකින් දොර ඇරගෙන ඇවිත් බලන කොට දැක්කා බැල්ලක්. බොහෝම කුසගින්නෙන් වෙවුල වෙවුලා තමන් ඉදිරියේ ඉන්නවා. ඇය දරුවන් වැදූ මවක් බවත්, ඇයට කිසිම කෙනෙක් කෑම ටිකක් දී නැති බවත්, කුසගින්නෙන් පීඩා විඳින බවත් දැන ගත්තා. ඇය පීඩා විඳින කුසගින්න දිහා දැකලා චූලනාග තෙරුන් වහන්සේගේ සිතේ කරුණාවක් පහළ වුණා. ඇයට කෙසේ හෝ ආහාර ටිකක් හොයා දෙන්න තීරණය කර ගත්තා. දානය තැන්පත් කරන ශාලාවට ගිහින් බැලුවත් කෑම ටිකක් හොයා ගන්න බැරි වුණා. ඉඳුල් අස්කරන තැන්වල ඉඳුල්වත් තියෙනවා ද බලන්න ගියා. ඒත් ඒ තැන්වලත් ඉඳුල් ටිකක්වත් දැක ගන්න ලැබුණේ නෑ.

බැල්ලට කෑම ටිකක් දෙන්න ක්‍රමයක් ඇත්තේ ම නෑ දැන්. ඒ නිසා තීරණයකට ඇවිත් කකුළින් තමන් හිටි ස්ථානයෙහි බිම හොඳීන් පිරිසිදු කළා. වැලි හෝ දූවිලි නැති විදියට බිම සකසා ගත්තා. ඊට පස්සේ මොකද කළේ ‘මම දවල්ට වළඳූ ඒවායෙන් කොටසක් මැයට දන් දීලා මැගේ කුසගින්න නිවා දමන්න ඕනෑයි තීරණය කළා. අතේ ඇඟිල්ලක් උගුරට දමා බැල්ලගේ කුස පිරෙන තරමට වමනය කළා. ඇය ඒවා ආහාර ලෙස අරගෙන කුස පුරවා ගත්තා. ඒ දෙස බලාගෙන හිටිය චූලනාග තෙරුන් වහන්සේ වළං කැබැල්ලකට වතුර දමා ඇයගේ කුස පිරෙනකම් වතුර බොන්න දුන්නා. සතුටට පත් වුණු මේ බැල්ල තෙරුන් වහන්සේට මහත් ආදරයෙන් හා කරුණාවෙන් නඟුට වනමින් ආදරය පෙන්වා ටික වේලාවක් එතැන ඉඳලා පැටවුන් ඉන්න දිහාවට යන්න ගියා. චූලනාග තෙරුන් වහන්සේට පුදුම සතුටක් ඇති වුණා. මෙහෙම හිතුවා ‘මම අද දවසේ දුර්ලභ දානයක් දුන්නා. දරුවන් වැදූ, කුසගින්නෙන් පෙළුණු බැල්ලකට දානයක් දීලා ඇගේ කුස පිරෙව්වා. මේ පින්කමේ ආනිසංසයෙන් මේ ජාතියේ පටන් උපනූපන් හැම ජාතියක ම ආහාරපානවලින් අඩුවක් නොවේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, සත්කාර සම්මානාදියෙන් පුදනු ලැබේවා, මේ සැප සම්පත් විඳිමින් උතුම් නිවන ලබා ගැනීමට ද හැකි වේවා‘යි ප්‍රාර්ථනා කළා. මේ අසිරිමත් දානය දිහා බලන් හිටිය දෙවි දේවතාවෝ එදින හවසම ගම්වැසි උපාසක-උපාසිකාවන් විදිහට සැරහී උක් සකුරු සහිත චතුමධුර ඇති පමණ සකසාගෙන ඇවිත් චූලනාග තෙරුන් වහන්සේ සොයාගෙන ගිහින් පූජා කළා. චූලනාග තෙරුන් වහන්සේ තමන් වහන්සේට ඇති පමණ ගෙන විහාරවාසී සෙසු භික්ෂූන් වහන්සේ තුන්දහසකට ගිලන්පස පූජා කළා. රාත්‍රියේ දෙවිවරු වෙස්වලාගෙන චන්ද්‍රවංක වීථියට ගිහින් වීථියේ ජීවත් වෙන ජනතාවට කියා සිටියා ‘පින්වත්නි, හෙට දින චූලනාග තෙරුන් වහන්සේ පෙර වගේ ම මේ වීථියේ පිණ්ඩපාතයේ වැඩම කරනවා. හෙට දින දෙන පිණ්ඩපාතය විශේෂ කොට සකසා පූජා කරන්න ඕනෑ කියලා මතක් කරලා එතැනින් යන්න ගියා. ජනතාව තෙරුන් වහන්සේ වැඩම කරන කොට පෙර දැනුවත් කළ ආකාරයෙන් පිණ්ඩපාතය ඇති පමණ සකසාගෙන පාර දෙපැත්තේ බලාගෙන සිටියා. චූලනාග තෙරුන් පිණ්ඩපාතයේ වැඩියහම ඒ සියල්ල පූජා කළා. තෙරුන් වහන්සේ ඒ පිණ්ඩපාතය විහාරයට යවලා තුන්දහසක් වූ භික්ෂූන් වහන්සේට පූජා කළා. තමන් වහන්සේත් වළඳන්නට යෙදුණා.

දවසින් දවස චූලනාග තෙරුන් වහන්සේට මේ විදිහට සිවුපසයෙන් සත්කාර සම්මාන ලැබීම් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ නිසා අනුරාධපුරයේ පමණක් නොව හෙළදිව පුරාම මේ තෙරුන්ගේ කීර්තිඝෝෂාව පැතිරී ගියා.

මේ කාලයේ භික්ෂූන් වහන්සේ පන්සියනමක් කල්පනා කළා ‘ශ්‍රී මහාබෝධීන් වහන්සේ වන්දනා කර ගන්න දඹදිව වැඩම කරන්න ඕනෑ. ඒත් අපට මඟදිගට පිණ්ඩපාතය ලබා ගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒ ගැටලුවට මොකද කරන්නේ?‘යි කියලා හිතමින් වැඩ ඉන්නකොට එක් භික්ෂුවක් කියනවා ‘ස්වාමිනි, අපි ථූපාරාමවාසී චූලනාග තෙරුන් වහන්සේත් මේ ගමනට සම්බන්ධ කර ගමු. එතකොට අපට ආහාර හිඟයක් ඇති වෙන්නේ නෑ‘ කියලා. ඒ අදහසට හැමෝම කැමැති වෙලා චූලනාග තෙරුන් වහන්සේට දඹදිව වන්දනාවට වැඩම කරන්න ආරාධනා කළා. තෙරුන් වහන්සේත් ආරාධනාව පිළිගෙන ගමනට සම්බන්ධ වුණා. අනුරාධපුරයෙන් පිටත් වෙලා මාවටුතොටින් නැව් නැඟී දඹදිවට සාරමසකින් ගොඩ වුණා. ඒ හාරමසම දෙවියන්ගේ උපකාරයෙන් පිණ්ඩපාතය ලැබුණා. දඹදිවට ගොඩ බැහැලා තවත් තුන් මසකින් බෝ මැඬ කරා ළඟා වුණා. ඒ තුන් මාසය පුරාවටත් ආහාර පාන හිඟ වුණේ නෑ. බෝධීන් වහන්සේ වන්දනා කරගෙන නැවතත් පිටත් වෙනකොට චූලනාග තෙරුන් වහන්සේට මහත් වූ බඩේ වේදනාවක් හටගත්තා. ඒ නිසා පන්සිය දෙනා වහන්සේ ම දුකටත්, ශෝකයටත්, වික්ෂේපයටත් පත් වුණා. ඔවුන්ගේ දුකත්, ශෝකයත්, වික්ෂේපයත් දැක චූලනාග තෙරුන් වහන්සේ අහනවා

‘ඇවැත්නි, ඇයි දුකින්, ශෝකයෙන් වගේම වික්ෂේපයෙන් ඉන්නේ‘කියලා.

‘ස්වාමිනි, නුඹ වහන්සේගේ කුසලානුභාවය නිසා අපි හැම දෙනා වහන්සේ ම මෙතෙක් කලක් ප්‍රත්‍ය පහසුකම්වලින් පීඩා වින්දේ නෑ. ඒත් නුඹ වහන්සේට අන්තරායක් වුණොත් නැවතත් අපගේ රට බලා වැඩම කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අප හැම දෙනාට ම විපත්තියක් ම යි වෙන්නේ.‘යි පිළිතුරු දුන්නා. එවිට චූලනාග තෙරුන් වහන්සේ කියනවා ‘ඇවැත්නි, එහෙම හිතන්න එපා. මම පිරිනිවන් පෑවොත්, ආදාහනාගාරයෙන් මගේ අළු ටිකක් අරගෙන පෙරහන්කඩයක ඔතාගෙන ඉදිරියෙන් කෙනෙක් වැඩම කරන්න. ඔබ වහන්සේට අවශ්‍ය පිණ්ඩපාතය අඩුවක් නැතිව ලැබේවි‘යි කියා පිළිතුරු දීලා උන්වහන්සේ එදින රාත්‍රියේ ම පිරිනිවන් පෑවා. සෙසු භික්ෂූන් වහන්සේ පන්සිය දෙනාම එකතුවී උන්වහන්සේ ආදාහනය කොට, අළු අරගෙන නැවතත් ලංකා ද්වීපයට වැඩම කළා.

ඒ ගමනේ දී පිණ්ඩපාතාදිය කිසිදු අඩුවකින් තොරව ලැබුණු බවත්, ඒ සදහා චූලනාග තෙරුන් වහන්සේගේ දාන කුසලානිසංසය හේතු වුණු බවත් සඳහන් වන රසවත් කතා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා. කෙනෙක් චේතනාව පෙරටු කරගෙන පිරිසිදු සිතින්, ප්‍රිය උපදවන අයුරින් දානයක් යම් සතකුට හෝ දෙනවා නම් මහත් විපාක විඳීමට පුළුවන් බව මේ කතා පුවත අපට කියා දෙනවා. ඒ නිසා හැම මොහොතක ම දාන චේතනාව ඇති කරගෙන තමන්ට හැකි දෙයකින් දන් දෙන්න. එය මෙලොව වගේම පරලොව සැප පිණිසත්, කීර්ති ප්‍රශංසා පිණිසත් හේතු වෙනවා.

පොසොන් පුර අටවක

ජුනි 21 ඉරිදා අ.භා. 03.28න්
පුර අටවක ලබා 22 සඳුදා
අ.භා. 03.46න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]