[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

මහනුවර යුගයේ සිතුවමින් අලංකාර ඓතිහාසික රිදී විහාරය

කුරුණෑගල නගරයේ සිට කැප්පෙටිපොළ මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ ගිය විට රිදීගම නගරය හමුවේ. එය පසුකර තවත් කිලෝමීටර් 15ක් පමණ ඉදිරියට ගිය විට දකුණු පසට හමුවන අතුරු මාර්ගයේ රිදී විහාරය පිහිටා තිබේ. අඩි 200ක් පමණ උස්වූ කඳු ගැටයකි. ඒ පාමුල ඉපැරැණි කටාරම් කෙටූ ගල්ලෙන්, ගුහා, පොකුණු ආදියෙන් සැදි, පුරාවිද්‍යාත්මක සාධකවලින් අනූන ආරාමයක නටබුන් දැකිය හැකි ය. අවුරුදු දෙදහසක පමණ දිගු ඉතිහාසයක් ඇති, මුල්කාලයේ දී වනවාසී රහතන් වහන්සේගේ සේනාසනයක් ලෙස ද මෙම රිදී විහාරය පැවතී ඇත. දුටුගැමුණු රජතුමාට (ක්‍රි.පු. 161-137) අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් සෑදීමටත්, එහි තැන්පත් කිරීමටත් මෙම ස්ථානයෙන් රිදී ලබා දුන් බව ජනප්‍රවාදයේ පවතී. එනිසා මෙම විහාරය රිදී විහාරය නමින් ප්‍රකට වේ. එම කාර්යයට කෘතගුණ සැලකීමට දුටුගැමුණු රජතුමා විසින් රිදී විහාරය ගොඩනඟා රනින් සැදු බුදු පිළිමයක් එහි තැන්පත් කළ බව ද මහාවංශයේ සඳහන් ව ඇත. මහාවංශයේ සඳහන් පරිදි රුවන්වැලි සෑය ගොඩනැඟීමටත්, එහි තැන්පත් කිරීමටත් වස්තුව සොයන විට රිදී විහාරය පිහිටි ස්ථානයේ දී රිදී හමු වී ඇත්තේ ඉන්ද්‍රගුප්ත නම් රහතන් වහන්සේගේ උපකාරයෙනි. මෙම ප්‍රදේශය හරහා වෙළෙඳ කණ්ඩායමක් ගමන් කිරීමේ දී ගැල් බැඳි ගවයන් සොයන විට වරකා ගසක් දැක ඇත. ඉන්ද්‍රගුප්ත හිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේ හතර නමක් ඒ අසල වැඩ සිට ඇති අතර, වෙළෙඳ කණ්ඩායම වරකා පිළිගන්වා ඇත. පසුව යාමට අවසර ඉල්ලා ඇති විට උන්වහන්සේ මෙම විහාරය හරහා පිහිටි මාර්ගයක් පෙන්වා දී තිබේ. පිරිස එසේ යන විට රිදී ඉල්ලමක් දැක තම රජ්ජුරුවන්ට සැල කර ඇත. ඉන්පසු ඇමතිවරුන් ලවා රිදී අස්කරවා ගෙන ඇති අතර, රිදී ලැබුණු සතුටට මේ ස්ථානයේ විහාරයක් කරවා ඇත. මහා වංශයේ මෙම ලෙන රජත ලෙන වශයෙන් ද හඳුන්වනු ලැබේ. මෙසේ ආරම්භ වූ රිදී විහාරයෙහි අභිවෘද්ධියට ආමණ්ඩගාමිණී අභය රජු (ක්‍රි.ව. 21 – 31) , මහා පැරකුම් රජු (ක්‍රි.ව. 1153 – 1186) නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187 – 1196) සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 – 1782) යන පාලකයන්ගේ අනුග්‍රහය ලැබී ඇත.

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]