 තථාගතයන් වහන්සේගේ
උතුම් දින චරියාව
රත්ගම සුනීත හිමි
නිකෙලෙස් හද මඬලක් දරා වැඩසිටිමින් පන්සාළිස් වසරක් පුරාවට දෙව් මිනිසුන්ට අමා
නිවන් මඟ විවර කළ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ දින චරියාව ඉතා අසිරිමත් ය.
තථාගතයන් වහන්සේගේ දින චරියාව පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස,
පසුළුම් කිස යනුවෙන් පස් වැදෑරුම් ය.
භාග්‍යවතුන් වහන්සේ උදෑසනින් ම අවදි වී උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිස ද, ශරීරයට
පහසුව පිණිස ද මුවදෙවීම් ආදී සිරුර පිරියම් කොට, පිඬු පිණිස හැසිරෙන වේලාව තෙක්
හුදෙකලා අසුනක සමාහිත සිතින් කල් ගෙවන සේක. පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි ඇතැම් විට
තනිව ම ද, ඇතැම් විට භික්ෂු සංඝයා පිරිවරාගෙන ද ගමකට හෝ නගරයකට හෝ පිඬු සිඟා වැඩම
කරන සේක. ඇතැම් දිනක සාමාන්‍ය අයුරින් ද, ඇතැම් දිනක ෂඩ්වර්ණ බුද්ධරශ්මි ධාරා
විහිදුවමින් මහත් වූ ප්‍රාතිහාර්ය සහිතව ද පිඬු සිඟා වැඩම කරන සේක. තථාගතයන් වහන්සේ
භික්ෂු සංඝයා පිරිවරා පිඬු සිඟා වඩින බව දැනගත් මිනිසුන් සැදැහැයෙන් ඉපිළෙමින්,
මනාකොට හැඳ පොරවාගෙන සුවඳ මල් ආදියත් ගෙන නිවෙස්වලින් එළියට පැමිණෙති. භාග්‍යවතුන්
වහන්සේට සුවඳින්, මලින් පුදා සකසා වන්දනා කොට
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට භික්ෂූන් දහනමක්, අපට විසිනමක්, අපට සියක්නමක්
දෙනු මැනව.”යි අයැද, සුගතයන් වහන්සේගේ ද පාත්‍රය ගෙන තම තමන්ගේ නිවෙස්වල අසුන්
පනවා, බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පිණ්ඩපාතය පිරිනමති.
භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම්
කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද, ඇතැමෙක් සෝතාපන්න වෙත් ද, සමහරු සකදාගාමී, අනාගාමී
වෙත් ද, සමහරුන් පැවිදි ව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද, එසේ දහම් දෙසන සේක.
මෙසේ ජනයාට අනුග්‍රහ කොට, වෙහෙරට වැඩම කර, භික්ෂූන් දන් වළඳා නැවත පැමිණෙන තෙක්,
මණ්ඩලමාලයේ උතුම් සම්බුද්ධ ආසනයෙහි වැඩ හිඳින සේක. භික්ෂූන් බත්කිස නිමවා වැඩි
කල්හි, උපස්ථායක තෙරුන් ඒ බව දැනුම් දුන් කල්හි, භාග්‍යවතුන් වහන්සේ සුගන්ධ කුටියට
පිවිසෙන සේක. මේ තථාගතයන් වහන්සේගේ පෙරබත් කිස යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අවවාද දෙන සේක. “මහණෙනි, අප්‍රමාදී ව කුසල්
දහම් වඩන්න. බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය.
පැවිදි බව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය වශයෙනි.
එහි දී ඇතැම් භික්ෂූන් කමටහන් හෙවත් භාවනා අරමුණු විමසති. භාග්‍යවතුන් වහන්සේ
ඔවුන්ට චාරිත්‍රානුකූල ව භාවනා උපදෙස් ලබා දෙන සේක. ඉන්පසු සැම දෙනා වහන්සේ ම
භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට තමන්ගේ වාසස්ථානවලට වැඩම කරති. ඇතැම් භික්ෂූන්
ආරණ්‍ය වෘක්ෂ මූලාදී නිදහස් තැන්වලට වැඩම කරන අතර, ඍද්ධිමත් භික්ෂූහු දිව්‍ය ලෝකවලට
ද වැඩම කරති. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියට පිවිස කැමති වන සේක් නම් මොහොතක්
සිංහ සෙය්‍යාවෙන් සැතපී සිරුර සන්සිඳුවා අවදි වී ලෝකයා දෙස බුදු ඇසින් බලන සේක.
තථාගතයන් වහන්සේ යම් ගමක හෝ නගරයක හෝ වැඩ වසන සේක් ද. එහි මහජනයා සවස් කාලයේ
සුවඳමල් ආදිය ගෙන, මැනවින් හැඳ පොරවාගෙන දහම් ඇසීමට පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ
පැමිණි පිරිසට අනුරූප වූ පෙළහරින් වැඩම කොට දම් සභාවෙහි පනවන ලද උතුම් බුදු අසුනෙහි
වැඩහිඳ සුදුසු දහමක් දෙසා, සුදුසු කාලයෙහි පිරිස විසුරුවා හරින සේක. බ්‍රහ්ම
ස්වරයෙන් යුතු තථාගත සදහම් අසා ඔද වැඩී ගිය සිතින් යුතු පිරිස සුගතයන් වහන්සේට
ආදරයෙන් වන්දනා කොට ආපසු යති. මෙය පසුබත් කිස යි.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පැන් පහසුවීමට කැමති නම්, නහන කොටුවට පිවිස ස්නානය කරන
සේක. උපස්ථායක තෙරුන් සුගන්ධ කුටි මිදුලේ බුද්ධාසනය පැන වූ කල්හි, අඳනය හැඳ තනිපට
සිවුරට ඒකාංශ කොට පොරවා, එහි මොහොතක් හුදෙකලාව වැඩ සිටින සේක. එවිට භික්ෂූන් ඒ ඒ
තැනින් එතැනට වැඩම කොට සමහරුන් සදහම් පැන අසති. ඇතැමෙක් භාවනා උපදෙස් අයැදිති.
තවකෙක් දහම් දෙසන්නට ආරාධනා කරති. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතු ව ඔවුන්ට
ධර්මයෙන් අනුග්‍රහ කරමින් රාත්‍රියේ ප්‍රථම යාමය ගත කරන සේක.
එසේ පෙරයම අවසන් වී භික්ෂූන් වන්දනා කොට නික්ම ගිය විට, දස දහසක් ලෝක ධාතුවලින්
දෙව් බඹුන් පැමිණ දහම් පිළිසඳරේ යෙදෙති. භාග්‍යවතුන් වහන්සේ දෙව් - බඹුන්ගේ පැන
විසඳමින් මධුර වූ සදහම් දේශනා කරමින් රාත්‍රියේ මධ්‍යම යාමය ගත කරන සේක. මෙය
මැදියම් කිස යි.
උදෑසන පටන් ම බොහෝ වේලාවක් වාඩිවෙමින් ම කල් ගත කළ භාග්‍යවතුන් වහන්සේ, එයින්
සිරුරට වූ විඩාව සන්සිඳවා ගැනීම පිණිස, රාත්‍රී පශ්චිම යාමයේ මුල් කොටසෙහි සක්මන්
කරමින් වැඩ සිටින සේක. දෙවැනි කොටසෙහි සුගන්ධ කුටියට පිවිස දකුණු ඇළයට හැරී
සිහිනුවණින් යුතු ව සිංහ සෙය්‍යයාවෙන් සැතපෙන සේක. තෙවැනි කොටසෙහි පිබිදී පෙර බුද්ධ
ශාසනවල දී දාන, සීලාදී වශයෙන් පින් රැස් කළ, පිළිවෙත් සපිරූ අය බුදු ඇසින් දකිනු
පිණිස මහා කරුණා සමාපත්තියට සමවැදී ලොව බලන සේක. ඒ එළැඹෙන දිනයේ දී ඔවුන්ට මෙලොව -
පරලොව යහපතත්, උතුම් ධර්මාවබෝධය ලබා දීමට උපකාර කරනු පිණිසත් ය.
මහා කරුණාවෙන් යුතු ව, විස්මිත ප්‍රඥාවෙන් යුතු ව, මේ උතුම් සම්බුදු කිස,
භාග්‍යවතුන් වහන්සේ පන්සාළිස් වසරක් පුරාවට සිදුකරමින් අපමණ ලෝසතුන්ට සෙත ශාන්තිය
උදාකළ සේක. ඒ සෑම දිනයක් ම, සෑම ඉරියව්වක ම සුගතයන් වහන්සේ ගත කළේ සමාහිත සිතිනි.
නිකෙලෙස් විහරණයෙනි. ඒ බව වරක් චේනාගපුර නම් බ්‍රාහ්මණ ගමේ වැසියන්ට පහදා දුන්නේ
මෙලෙසිනි.
“බ්‍රාහ්මණය, දිව්‍ය ආසනය ගැන මෙසේ කියමි. මම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරද්දී
උදේ වරුවේ පිඬු සිඟා වැඩ ලැබුණ දෙයක් වළඳනවා. ඊට පස්සේ වනාන්තරයක් ඇතුළට වැඩම කර
ගසක් මුල තිබෙන කොළරොඩු ටිකක් එකතු කර, ඒ මත දෙපට සිවුර එළා වාඩි වෙනවා. ඉන්පසු
කාමයන්ගෙන් වෙන් වූ, අකුසලයන්ගෙන් වෙන් වූ, විතර්ක විචාර සහිත, විවේකයෙන් හටගත්
පී‍්‍රතිය සැපය ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේ ම විතර්ක විචාර
සන්සිඳුවලා ආධ්‍යාත්මයේ පැහැදීම ඇති, මනා ඒකාග්‍රතාවයෙන් යුක්ත, විතර්ක විචාර නැති
චිත්ත සමාධියෙන් හටගත් පී‍්‍රතිය සැපය ඇති දෙවැනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ
පී‍්‍රතියටත් නොඇලෙමින් උපේක්ෂාවෙන් යුතු ව, කයෙනුත් සන්සිඳීමක් ලබමින් ආර්යයන්
වහන්සේ යම් සමාධියකට ‘පී‍්‍රති සැප ඇති විහරණය’ කියා කියනවා නම් ඒ තුන් වැනි
ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. එලෙස සැප දුක් දෙක ම අත්හැර, මුලින් ම සෝමනස්ස,
දෝමනස්ස දෙක ම අත්හැරලා පාරිශුද්ධ උපේක්ෂා සතිය ඇති හතර වැනි ධ්‍යානයත් උපදවාගෙන
වාසය කරනවා.
“ඒ වගේ ම බ්‍රාහ්මණය, මම දස දිශාවට ම වෛර නැති, තරහා නැති මෙත් සිත වඩනවා, කරුණාව
වඩනවා, මුදිතාව වඩනවා, දස දිසාවට ම උපේක්ෂාවත් වඩනවා. එලෙස මම බ්‍රහ්මවිහාර
භාවනාවෙන් කල් ගෙවනවා.”
“බ්‍රාහ්මණය, මා තුළ රාගය නැති බව, ද්වේෂය නැති බව, මෝහය නැති බව හෙවත් නිකෙලෙස් බව
සිහිකරමින් මම වාසය කරනවා. ඒ මගේ වටිනා සුඛෝපභෝගී ආර්ය ආසනය යි. |