|
වෙසක් පුර පසළොස්වක පෝ දා
2026-05-30 තමන් දැකීම
කිසිවකුට වරදක් කිව නොහැකි, අයහපත් යැයි, අවැඩ යැයි ප්‍රතික්ෂේප කළ නොහැකි, අඩුවක්,
හිස්තැනක් පෙන්විය නොහැකි අනභිභවනීය සංස්කෘතියකට අතීතයේ සිට අපි උරුමකම් කියමු. ඒ,
සම්බුදු දහමින් සුපෝෂිත බෞද්ධ සංස්කෘතියයි. එහි වූ වැවත් - දාගැබත්, ගමත් - පන්සලත්
යා කළ ශක්තිමත් බැම්ම ජාතියට, ආගමට රැකවරණය දුන්නේ මහා පවුරක් ලෙසිනි. එහි
පුරෝගාමියාණෝ භික්ෂූන් වහන්සේ ය.
මවුකුසහොත් දා සිට සෙත් පිරිතෙන් රැක, මෙලොව එළිය දුටු දා පටන් ජීවිතයේ අනේකවිධ
දුක් දොම්නස් දරාගන්නට, සැප, සතුට උපේක්ෂාවෙන් විඳින්නට අපට ශක්තිය දුන්නේ මඟ
පෙන්වූයේ ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ ය.
මරණ මඤ්චකයේ දී සෙත් පිරිත් දෙසා මියගිය පසුත් පින්කම් මඟ නොහැර අවසන් මොහොතේත් සසර
මඟ සුගතිගාමි කරන්නට කාරුණික වන්නේ ද උන්වහන්සේ ම ය.
ගිහියන් විසින් ආර්ය මහා සංඝ රත්නය සිව්පසයෙන් පුදා ආරක්ෂා කරනු ලබන්නේ ඒ අපිරිමිත
මෙහෙවරට උපහාරයක් ලෙසින් පමණක් නොව සසර මඟ කෙටි කර ගන්නා ගමනේ නිරතව සිටින
බුද්ධශ්‍රාවකයන් වහන්සේ වෙත වූ සුපටිපන්නාදී උතුම් ගුණ කඳට පූජෝපහාරයක් ද ලෙසිනි.
මිහිඳු මහ රහතන් වහන්සේ රැගෙන වැඩි අමා දහමේ ආලෝකයෙන් මේ දේශය ධර්මද්වීපයක් කළ දා
පටන් මේ අපූර්ව ගිහි පැවිදි බන්ධනය ලාංකේය බෞද්ධ සමාජය ආධ්‍යාත්මික ගුණයෙන් අනූන
අර්ථ සම්පන්න තැනකට ඔසවා තබන්නට සමත් විය. ඒ ගුණ සුවඳේ මිහිර අද වන විට ඇතැම් ගිහි
පැවිදි දෙපාර්ශ්වයේ ම සිත් තුළින් ටිකෙන් ටික ගිලිහී යාමේ ඛේදවාචකය අපි අත්දකිමින්
සිටිමු. එදා ආගම, ජාතිය රැකගත් ඒ ශක්තිමත් බැම්ම ඉරිතලා යන අයුරු සංවේගජනක ය. ඒ
පවුර කැඩී විසිරී ගියේ නම් ජාතියේත්, ආගමේත් විනාශය නවතන්නට සමතෙක් නොවනු ඇත.
සමාජයේ නමක් හදාගන්නට හෝ කැපී පෙනෙන්නට හෝ වෙනත් පාපකාරී අරමුණකින් හෝ ඇතැම් කෙනෙක්
සමාජ මාධ්‍ය ඔස්සේ නිර්දය ලෙස එකිනෙකා විවේචනය කරමින් සිටිති. සම්බුදු දහම, ධර්ම
මාර්ගයට පිවිසෙන ලෙස කිසිවකුට බල නොකරයි.
‘ධම්මො හවේ රක්ඛති ධම්මචාරී’ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව
බුද්ධාවවාදය යි. තවත් කෙනෙක් දහම තුළ හැසිරවීම කිසිවකුට කළ නොහැකි ය. එය තමන් ම
අනුගමනය කළ යුත්තකි. කළ හැකි මඟ පෙන්වීම පමණි. කෙනෙක් පාපයක් කළේ නම් දුගතියට යන්නේ
ඔහු ම ය. අනුන්ගේ වැරැදි දකිමින්, පරිභව කරමින් ඒ පාපය තමන් ද කරතබා ගත යුතු නැත. ඒ
අඥානයාගේ ස්වභාවය යි. සැබෑ බෞද්ධයා ඒ තැනට නොවැටීමට බුද්ධිමත් ය.
අංගුත්තර නිකායේ දුක නිපාතයේ ආයාචන වර්ගයේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට තිබේ.
කරුණු දෙකකින් යුතු බාලයා, අසත්පුරුෂයා, උදුරා දැමූ ගුණැති ව, නැසුණු ගුණ ඇතිව,
ජීවිතය පරිහරණය කරන්නේ ය. වැරදි කරමින් නැණවතුන්ගේ ගැරහුමට ලක්වන්නේ ය. බොහෝ පව්
රැස් කරන්නේ ය. ඒ කවර කරුණුූ දෙකකින් ද? නොවිමසා බලමින්, ඇත්ත, නැත්ත තේරුම් නොගෙන
නුගුණ කිව යුතු කෙනාගේ ගුණ කියන්නේ ය. නොවිමසා බලමින්, ඇත්ත නැත්ත තේරුම් නොගෙන ගුණ
කිව යුතු කෙනාගේ නුගුණ කියන්නේ ය. මේ දෙකරුණින් යුතු ඒ බාල වූ, අව්‍යක්ත වූ,
අසත්පුරුෂයා උදුරා දැමූ ගුණ ඇති ව, නැසුණු ගුණ ඇති ව දිවි ගෙවන්නේ ය.
ප්‍රඥාවන්තයින්ගේ ගැරහුමට ලක්වන්නේ ය. බොහෝ පව් රැස් කරන්නේ ය, යනුවෙනි. මෙය
ගිහියාත්, පැවිද්දාත් නිතර මෙනෙහි කළ යුත්තකි.
පව් කරන්නාට හිමි දුගතිය යි. අප වැරැදි කීවද නොකීවද ඔහුට සොබාදහමෙන් ගැලවුමක් නොවේ.
එවැන්නන් විවේචනය කරමින් තමන් ද දුර්ගන්ධවත් වනවා වෙනුවට ඒ වටිනා කාලය තමන්ගේ
වැරැදි, අඩුපාඩු දකින්නට, ඒවා නිවැරැදි කර ගන්නට, තමන් දකින්නට වෙන් කර ගන්නට මේ
උතුම් පෝදා අදිටන් කර ගනිමු. ඒ වගේම අපේ වටිනා උරුමයන් රැක ගනිමින් උදාර
සංස්කෘතිකාංගවලට නැවත ජීවය දීමට කාලය එළැඹ ඇති බව ද තරයේ අවධානයට ගෙන එහි අප්‍රමාදී
වෙමු. |