[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැබෑ පැවිදි පිළිවෙත නිතර සිහි කරන්න

දසධම්ම සූත්‍රය ඇසුරින්:

සැබෑ පැවිදි පිළිවෙත නිතර සිහි කරන්න

“වෙවණ්ණියම්හි

අජ්ඣුපගතොති පබ්බජිතෙන

අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං”

මම ගිහියන්ගේ ස්වරූපයෙන් වෙනස් ස්වරූපයකට පැමිණියේ වෙමි යි පැවිද්දා විසින් නැවත නැවත සිහි කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දස ධම්ම සූත්‍රයේ දී පෙන්වා දී ඇත.

භික්ෂූන් වහන්සේ යනු කවුද? යන්න භික්ෂූන් වහන්සේ මෙන් ම ගිහියන් ද දැන සිටීම ඉතා වැදගත් වේ. පසුගිය කාලයේ අප රටේ සිදු වූ යම් යම් සිදුවීම් නිසා ගිහි පින්වත් පිරිස මෙන් ම භික්ෂූන් වහන්සේ ද අපහසුතාවට පත් වූ අයුරු දැක ගැනීමට හැකි විය. බෞද්ධයෝ හැටියට ස්වාමීන් වහන්සේ නිසා පව් රැස්කර නොගෙන සිටීමටත්, ස්වාමීන් වහන්සේ ගිහියන්ට අකුසල සිතිවිලි ඇති නොවන ලෙස කටයුතු කිරීමටත් වග බලා ගැනීම අගනේ ය.

කෙනෙක් ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වන්නේ සසර පිනකට ය. පැවිදි වන්නේ සාංසාරික සියලු දුක්වලින් මිදී නිවන අවබෝධ කර ගනු පිණිස ය. එය පැවිදි ජීවිතයේ ඒකායන පරමාර්ථය යි. එවැනි බලාපොරොත්තුවකින් පැවිදි වූවත් ඊට විවිධාකාර බාධා පැමිණේ. විටෙක ඒ ශ්‍රේෂ්ඨ වූ පැවිද්ද පවා හිමි වන ලාමක ක්‍රියාවලට පැවිද්දා ගොදුරු වෙයි. ගිහියන් මෙන් පැවිද්දා නොදැනීම ලාභ ඉපයීම වැනි දේට නැඹුරු වී මසුරු මල ඉපදී පැවිද්ද යනු කුමක්දැයි සහමුලින් ම අමතක වී යාමට ද ඉඩ ඇත. පංච ඉන්ද්‍රීයයන්ට වශී වී ගිහියන් මෙන් ලාමක වූත්, දුස්සීල වූත්, ක්‍රියාවලට යොමුවිය හැකි ය. එනිසා සැබෑ පැවිදි පිළිවෙත කෙබඳු විය යුතු දැයි නිතර සිහි කරමින් පැවිදි ජීවිතය ගත කරන්නේ නම්, එය සුවදායක, පහසු දිවියක් කර ගන්නට පැවිද්දාට හැකි වනු ඇත.

බුදුරජාණන් වහන්සේ දසධම්ම සූත්‍රයේ දී පැවිදි දිවිය සුරක්ෂිත කර ගනු පිණිසත්, අර්ථවත් වනු පිණිසත්, සුවදායක වනු පිණිසත් නිතර නිතර සිහි කළ යුතු (ප්‍රත්‍යවේක්ෂා කළ යුතු) කරුණු දහයක් මෙම සූත්‍රයේ දී පෙන්වා දුන් සේක. “ඉමෙ ඛො භික්ඛවෙ දස ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බාති” මහණෙනි, මෙම දස ධර්ම පැවිද්දා විසින් නිතර මෙනෙහි කළ යුතු ය.

1. වෙවණ්ණියම්හි අජ්ඣුපගතොති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මම ගිහියන්ගේ ස්වරූපයෙන් වෙනස් ස්වරූපයකට පැමිණියේ් වෙමි යි පැවිද්දා විසින් නැවත නැවත සිහි කළ යුතු ය.

2.පරපටිබද්ධා මෙ ජීවිකාති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මාගේ දිවි පැවැත්ම අනුන් හා බැඳුණකැයි පැවිද්දා විසින් නැවත නැවත සිහි කළ යුතු ය.

3. අඤ්ඤො මේ ආකප්පො කරණීයොති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මා ගිහියන්ට වෙනස් ආකාරයකින් හැසිරිය යුතු යැයි පැවිද්දා විසින් නැවත නැවත සිහි කළ යුතු ය.

4. කච්චි නු ඛො මෙ අත්තා සීල තො න උපවදතීති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මාගේ සීලය නිසා මගේ සිත මට චෝදනා නොනඟන්නේ දැයි පැවිද්දා විසින් නැවත නැවත සිහි කළ යුතු ය.

5. කච්චි නු ඛො මං අනුචිච්ච විඤ්ඤූ සබ්‍රහ්මචාරි සීලතො න උපවදන්තීති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

සබ්‍රහ්මචාරිහූ මා ගැන විමසා, සීලය කරණ කොට මට චෝදනා නොකෙරෙත් දැයි පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු ය.

6. සබ්බෙහි මෙ පියෙහි මනාපෙහී නා නා භාවො විනා භාවොති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මම පි‍්‍රය මනාප වූ සියලු දෙයින් වෙන් විය යුතු වෙමි. සියල්ල අත්හළ යුතු වෙමියි පැවිද්දා විසින් නැවත නැවත සිහි කළ යුතු ය.

7. කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි, කම්මබන්ධු, කම්ම පටිසරණො, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෙ, භවිස්සාමිති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මම කර්මය තමන්ට අයත් දෙය කොට ඇත්තෙම් යැයි ද, කර්මය උරුමය කොට ඇත්තෙම් යැයි ද, මම කර්මයෙන් උපන්නෙම් යැයි ද, මම කර්මය ඥාති කොට ඇත්තෙම් යැයි ද, මම කර්මය පිළිසරණ කොට ඇත්තෙම් යැයි ද, යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරම් ද, මම එහි උරුමකරු වන්නෙමි යැයි ද, පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු ය.

8. කථං භූතස්ස මෙ රත්තිං දිවා වීති පතන්තීති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මගේ රෑ දවාල කුමක් කරමින් ගතවන්නේ දැයි පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු ය.

9. කච්චි නු ඛෝ හං සුඤ්ඤාගාරෙ අභිරමාමිති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මම විවේක සෙනසුන්වල විසීමට කැමැත්තෙම් දැයි පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු ය.

10. අත්ථි නු ඛො මෙ උත්තරි මනුස්සධම්මා අලමරියඤාණ දස්සන විසෙසො අධිගතො, සොභං පච්ජිමෙ කාලෙ සබ්‍රහහ්මචාරීහි පුට්ඨො න මං කුහවිස්සාමීති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං

මරණාසන්න කාලයේ දී “ඔබ සාමාන්‍ය මිනිස් ගුණ ඉක්මවා ගිය ධ්‍යාන මාර්ග ඵලාදියක් ලබා ඇත්දැයි සබ්‍රහ්මචාරින් විචාළ කල්හි දුර්මුඛ නොවී කියන්නට යම් කිසිවක් තිබේ දැයි පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු ය.

ඉහත සඳහන් කරුණුූ දහය පිළිබඳ භික්ෂූන් වහන්සේ නිතර සිහි කළ යුතු බව පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ පැවිදි ජීවිතය මෙලොව පරලොව සාර්ථක කර ගැනීම පිණිස ය. එම කාරණා පිළිබඳ භික්ෂූන් වහන්සේ උදේ, සවස සිහි කළ යුතු ය. එවිට මම කවුද? මාගේ පැවිද්ද කුමක් පිණිස ද? යන්න සිහිපත් වේ. එවිට පාප සිතිවිලි මැඬ පවත්වා ගෙන පැවිදි ජීවිතයේ අභිමථාර්ථය සපුරාගත හැකි වේ. ගිහි පින්වතුන් ද ස්වාමින් වහන්සේට එම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දිය යුතු ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]