[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පඤ්චස්කන්ධයට සමීපව බැලීම

 

පඤ්චස්කන්ධයට සමීපව බැලීම

සබෞද්ධ භාවනාවේ මූලික කොටස් දෙකකි. ඒ සමථ භාවනාව සහ විපස්සනා භාවනාව යි. බොජ්ඣංග ධර්මවලින් පළමු හය සමාධිය දියුණු කර ගැනීමට උපකාරී වන අංගයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය යනු විදර්ශනාවට පාදක වන අංගය යි.

උපේක්ෂාව විවිධාර්ථවත් පදයකි. විසුද්ධි මාර්ගයේ නව විධ උපෙක්ෂාවක් ගැන දක්වා ඇත. සාමාන්‍ය වේදනාව සම්බන්ධයෙන් ගත් කල උපෙක්ෂාව යනු මධ්‍යස්ථ භාවය යි. උපෙක්ඛා වේදනාව වශයෙන් දක්වා ඇත්තේ එය යි. මවුපියන්, දරුවන් සම්බන්ධයෙන් දක්වන මැදහත් බව බ්‍රහ්ම විහාර උපෙක්ෂාව යි. බොජ්ඣංග ධර්ම ගැන සඳහන් කරන විට අදහස් කරන්නේ මැදහත්කම පමණක් ම නොවේ. නාමරූප ධර්ම වෙත සමීප ව බැලීම යන අදහස එහි ඇත. එය බොජ්ඣයංගඞ්ගුප්පෙක්ඛාව වශයෙන් හැඳීන්වේ. උපෙක්ඛා සම්බොජ්ඣංගය වශයෙන් හැඳීන්වෙන්නේ ද එයයි.

භාවනාවේ දී ඇති වන ඉන්ද්‍රිය ධර්ම, නීවරණ ධර්මයන්ගෙන් යට වන්නට නොදී මැදහත් ව පවත්වා ගෙන යාම ඉන්ද්‍රිය සමතාව වශයෙන් දක්වා ඇත. ශ්‍රද්ධාව හා ප්‍රඥාව යන ඉන්ද්‍රිය ධර්ම දෙක හා වීර්යය හා සමාධිය යන ඉන්ද්‍රිය ධර්ම දෙක සමබර ව පවත්වා ගෙන යාම භාවනාවේ දී අත්‍යවශ්‍ය කාරණාවකි. කෙනකුට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නට යාම තුළ විචිකිච්ඡා නීවරණය ඇති විය හැකි ය. ශ්‍රද්ධාව අඩු වශයෙන් ක්‍රියාත්මකවීම නිසා ද විචිකිච්ඡාව ඇති විය හැකි ය. එසේ ම ශ්‍රද්ධාව වැඩිවීම නිසා ප්‍රඥාව අඩු විය හැකි ය. වීර්යය වැඩිවීම නිසා උද්ධච්චකුක්කුච්චයත්, සමාධිය වැඩිවීම නිසා ථීනමිද්ධයත් ඇති විය හැකි ය. මේ සිතිවිලි සමබර ව පාලනය කිරීමටත් උපෙක්ෂාව බෙහෙවින් උපකාරී වේ.

එසේ ම හිත සමාහිත වු විට යථාභූත ඤාණ දර්ශනය ඇති වන බව ඉගැන්වීමයි. එම යථාභූත ඤාණ දර්ශනය ඇතිවීමට උපෙක්ෂා සම්බොජ්ඣංගය උපකාරී වෙයි. හිත භාවනා අරමුණෙහි තැන්පත් වූ විට ඒ දෙස ළං ව බැලිය හැකි ය. එසේ ළං ව බැලීමත් උපෙක්ෂාවේ ලක්ෂණයකි. උප + ඉක්ඛති = උපෙක්ඛා. නාම රූප වෙත ළං ව බලන තැනැත්තාට ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ හෙවත් යථාභූත ඤාණ දර්ශනය ඇති වේ. එය විජ්ජා සහ විමුක්ති යන මාර්ගාංග දියුණු කර ගැනීමට ඉවහල් වේ.

උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාරී වන ධර්මතා පහක් ධර්මයෙහි දක්වා ඇත.

සත්ත්වයන් කෙරෙහි මැදහත් බව, සංස්කාර කෙරෙහි මැදහත් බව, සත්ත්වයන් හා සංස්කාරවලට දැඩි ව ඇලී වාසය කරන අයගෙන් දුරු ව සිටීම, සත්ත්වයන් හා සංස්කාර කෙරෙහි මැදහත් ව කටයුතු කරන අය ඇසුරු කිරීම, මැදහත්බව ඇති කර ගැනීමෙහි ම යෙදී කටයුතු කිරීම ක්ලේශ ප්‍රහාණය සඳහා භාවනා කරන තැනැත්තා එම භාවනා කටයුතු සිදු කරන විට මනසට එන සත්ත්වයන්, පුද්ගලයන් හා චිත්ත සංඛාර හෙවත් සිතිවිලිවලට ළං වී එදෙස බැලිය යුතුයි. එසේ බැලීම උපෙක්ෂාවයි. එසේ බැලීම නිසා ඒ සංස්කාර, නාමරූපයන්ගේ යථා ස්වභාවය හෙවත් ත්‍රිලක්ෂණය දැක ගත හැකි ය. ඒ සෑම නාම රූපයක් ම ඇති ව, නැති ව යන ආකාරය වටහා ගත හැකි ය. ඒ තුළ නාම රූප නම් වූ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ දැක ගත හැකි ය. එසේ ත්‍රිලක්ෂණය දකින්නා එම නාමරූප පදනම් කර ගෙන ඇති වන සෑම ආයතන ක්‍රියාකාරීත්වයක් ම, සෑම ස්කන්ධ ක්‍රියාකාරීත්වයක් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යට බව වටහා ගනී. ඒ තුළ ඒවාට ඇති තණ්හා උපාදාන අත හැර ගැනීමට අවකාශ සැලසේ.

භාවනා යෝගියා සත්ත්වයන් කෙරෙහි මැදහත් වන්නේ කෙසේද? සාමාන්‍ය පුද්ගලයකු සිතට සිතිවිල්ලක් පැමිණි විගස මගේ සිතට පැමිණි සිතිවිල්ල මම සිතනවා යන ආත්ම සඤ්ඤාව ඇති කර ගනී. විදර්ශනා නුවණ මුහුකුරා ගිය යෝගාවචරයකු එවන් සිතිවිල්ලක් ඇති වූ විට ඒ දෙස ළං ව බලයි. ඒ සිතිවිල්ල මුල් කර ගෙන පඤ්චස්කන්ධයක් ඇති වූ සැටි බලයි. සිතිවිල්ල ද කැඩී බි¼දී යන බැවින් රූපයකි. එය ධර්ම රූපයයි. සිතිවිල්ල සිතන මට්ටම වේදනාවයි. එය මනෝසම්ඵස්සජා වේදනාවයි. සිතිවිල්ල හඳුනාගැනීම සඤ්ඤාවයි. එය මනෝසම්ඵස්සජා සඤ්ඤාවයි. සිතිවිල්ල මුල් කර ගෙන තවත් සිතිවිලි පහළවීම සංඛාරයි. එය මනෝසම්ඵස්සජා සංඛාරයි. හෙවත් මනෝ සඤ්චේතනාවයි. මේ සියල්ල වෙන් වෙන් වශයෙන් දැන ගැනීම මනෝ විඤ්ඤාණය යි. සිතට සිතිවිල්ලක් පැමිණි විට හෙවත් භාවනා කරන විට සිතට පැමිණෙන සෑම සිතිවිල්ලක් ම ඇති වූ විට මේ අයුරින් පඤ්චස්කන්ධ හටගන්නා අයුරුත්, නැති වෙන අයුරුත් දකින තැනැත්තා ඒ ඇතිවීම හා නැතිවීම හමුවේ උපෙක්ෂක වෙයි. එසේ උපෙක්ෂක වීමට නාමරූප හෙවත් පඤ්චස්කන්ධයට සමීප ව බැලිය යුතු අතර, එය උපෙක්ඛා සම්බොජ්ඣංගය යි.

එසේ සමීප ව බැලීම නිසා නාමරූප නිසා හෝ පඤ්චස්කන්ධය නිසා හෝ තණ්හා උපාදාන ඇති නොකර ඒ හමුවේ ඒ සියල්ල ඇති ව, නැති ව යන බව දන්නා නුවණින් යුතුවීම නිසා උපේකෂකවීම විදර්ශනා උපෙක්ෂාවයි. එලෙසින් සත්ත්ව පුද්ගලයන්ගේ ඇතිවීම, නැතිවීම, සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම නුවණින් දකින පුද්ගලයාට විදර්ශනා උපෙක්ෂාව ඇති වන බැවින් ඔහුගේ සිත ඇලීමකට හෝ ගැටීමකට හෝ මුළාවකට හෝ යන්නේ නැත. ඒ සිත තුළ සංස්කාර ගොඩනැඟෙන්නේ නැත. කර්ම රැස්වෙන්නේ ද නැත. සත්ත්ව පුද්ගලයන් හා සංස්කාර දෙස එලෙසින් දැකිය හැකි තැනැත්තාට භව නිරෝධය සිදු වේ. නිවනට පත්වීමට හැක්කේ ඒ තැනැත්තාට ය.

‍ මෙලෙසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය ඇති කර ගෙන වාසය කිරීමේ දී යෝනිසෝමනසිකාරය අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් බුදුදහමෙහි උගන්වා ඇත. යෝනිසෝ මනසිකාරය යනු උත්පත්තිස්ථානයේ සිට මනා ලෙස මෙනෙහි කිරීමයි. කිසියම් කෙනකුගේ කනට කිසියම් ශබ්දයක් ඇසුණා යැයි සිතමු. ඒ ඇසීම කරණ කොට ගෙන ඒ තැනැත්තාට තණ්හාවක් ඇති වී ඒ ශබ්දය සමඟ ඇලීමක් (රාග) හෝ ගැටීමක් (දෝස) හෝ ඇති කර ගත හැකි ය. ඒ අකුසල සිතිවිලිවලින් සිත නිදහස් කොට මැදහත් ව තබා ගැනීමට කුමක් කළ යුතු ද? ඒ වේදනාව ඇති වූ හැටි යෝනිසෝ මනසිකාර කළ යුතුයි. කනට ශබ්දයක් ඇසීම සෝත සම්ඵස්සජා වේදනාව වශයෙන් හැඳීන්වේ. එය ඇතිවීමට හේතුව සෝත සම්ඵස්සය යි. සෝත සම්ඵස්සය ඇතිවීමට හේතු තුනකි. ඒ කන, කන හා බැඳුණු සිත හෙවත් සෝතවිඤ්ඤාණය හා ශබ්දය යි. මේ සියල්ල ඇති ව, නැති ව යන සංස්කාරයි. ඒවා සියල්ල වේදනාවේ සිට ආපස්සට බැලීම යෝනිසෝ මනසිකාරය යි. එසේ බැලීම නිසා ඒ සියලු සංස්කාරයන්ගේ උපෙක්ෂාව ඇති වේ. එය බොජ්ඣංග උපෙක්ෂාව හෙවත් උපෙක්ඛා සම්බොජ්ඣංගය යි.

එසේ බලන තැනැත්තාට ඒ සියලු සංස්කාර විදර්ශනා කළ හැකි ය. ඒ විදර්ශනා උපෙක්ෂාවයි. එලෙස කටයුතු කරන තැනැත්තාට වේදනා පච්චයා තණ්හා ඇතිවන්නේ නැත. අරමුණු නිසා ඇතිවන තණ්හාව නවතා දැමීමට හැකියාව ඇත්නම් එය නිවන යි.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]