
පසුනොබසින
වීර්යය
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය වූ කලි ‘වීර්යය’ පිළිබඳ දැක්වෙන
ආදාසතලයක් වැන්න. දෙව් මිනිසුන් විසින් ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළ යුතු
වීර්යය කෙසේ කටයුතු දැයි බුදු මුවින් ම අනන්ත අප්‍රමාණ ලෙස වර්ණනාවට පාත්‍ර කොට
තිබේ.
හීන වැර ඇත්තහුට සසුන්මඟ බඹසර අභව්‍ය වූවකි. වීර්යය පිළිබඳ පසසනු වස් භාග්‍යවතුන්
වහන්සේ වදාළ මේ ඔවදන කෙතරම් අගනේ දැයි බලන්න.
මහණෙනි, මම් නොපසුබස්නා වීර්යයෙන් යුතු වූයෙම්. ඒකාන්තයෙන් මේ කයෙහි සම ද, නහර ද,
ඇට ද ඉතිරි වෙතොත් ඉතිරි වේවා! මස් ලේ වියැළී යතොත් වියැළී යේවා! පුරුෂ වීර්යයෙන්,
පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු යම් සත්‍යාවබෝධයක් වේ ද, ඒ සත්‍යාවබෝධයට නොපැමිණ
වීර්යයෙහි නැවැත්මක් නොවන්නේ ම යැයි අදිටනින් වැර වැඩීමි. මහණෙනි, මවිසින් සාක්ෂාත්
කරන ලද සම්‍යක් සම්බෝධිය වනාහී අප්‍රමාදී ව වීර්යයෙන් ලබන ලද්දකි. අනුත්තර යෝගක්ෂේම
සංඛ්‍යාත නිර්වාණ ධාතුව පසක් කිරීම ද අප්‍රමාදී ව වීර්යයෙන් ම ලබන ලද්දකි.”
(උපඤ්ඤාත සූත්‍රය -
අංගුත්තර නිකාය)
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය තුළ ශ්‍රාවකයකු විසින් ද අකුසල්
ප්‍රහාණයත්, කුසලෝත්පාදනයත් කිරීමෙහිලා දැක්විය යුත්තේ කෙබඳු උත්සාහයක් දැයි මෙසේ
වදාරා තිබේ.
“මහණෙනි, ඇසුරුගැසීමක් කරන කලෙක වුව, යම් භික්ෂුවක් සිය සිතෙහි නූපන් පාපී අකුසල්
නූපදවීම පිණිසත්, උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත්, නූපන් කුසල් දහම්හි
ඉපැද්ම පිණිසත්, උපන් කුසල් දහම් පවත්වා ගනු පිණිසත්, නොනැසීම පිණිසත්, වඩාත්
දියුණු වීම පිණිසත්, මහත් බව පිණිසත්, පිරිපුන් බව පිණිසත් කැමැත්ත උපදවා ද? වෑයම්
කැරේ ද? වැර අරඹා ද? සිත නඟාසිටුවා ද? ප්‍රධන් වීර්යය කැරේ ද? එකල්හි ඒ භික්ෂුව
අත්නොහළ දැහැනින් වසයි. සිය ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව කරයි. ඔවදන් පිළිපදී.
ලොවැස්සා පුදන දන්පැන්හි විපාකය ඵලරහිත නොකොට වළඳයි’ යි කියනු ලැබේ. යම් කෙනෙක්
මහණෙනි, මෙකී වීර්යය බහුල වශයෙන් කරත් නම්, එහි විපාක ගැන කවර කතා ද?”
(අච්ඡරාසංඝාත වර්ගය -
අංගුත්තර නිකාය)
සත්‍යාවබෝධයෙහිලා ශ්‍රාවකයකු තුළ තිබිය යුත්තේ කෙබඳු වීර්යයක් දැයි මෙසේත්
උපමාවකින් දක්වන සේක.
“මහණෙනි, යමකුගේ හැඳීවත හෝ හිස හෝ ඇවිළගත් කල්හි ඔහු විසින් කුමක් කටයුතු ද?”
“භාග්‍යවතුන් වහන්ස, යමකුගේ හැඳීවත හෝ හිස හෝ ඇවිළගත් කල්හි ඔහු විසින් ඒ හැඳීවත ම
හෝ හිස ම හෝ නිවා ගැනුම පිණිස අතිශය බලවත් කැමැත්තක්, වීර්යයක්, උත්සාහයක්, අධිකතර
උත්සාහයක්, අත්නොහළ වීර්යයක්, සිහියක්, නුවණක් ඇති ව කටයුතු කළ යුතු ය.”
භික්ෂූන් වහන්සේ විසින් එසේ පිළිතුරු දුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ වදාළේ එයටත්
වඩා දැඩි වීර්යයක් කුසල් ඉපදවීමෙහිලා දැක්විය යුතු බව ය. ඒ මෙසේ ය.
“මහණෙනි, යමකුගේ හැඳීවත හෝ හිස හෝ ඇවිළගත් කල්හි, ඒ ගිනි ඇවිලීම පවා නොසලකා,
නොමෙනෙහි කොට, මෙතුවක් කල් අවබෝධ නොකරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය ඒ වූ පරිදි අවබෝධ
කරනු වස්.... සිහියත් නුවණත් ඇති ව කටයුතු කළ යුතු ය. ඒ දුක නමැති ආර්ය සත්‍ය
අවබෝධය පිණිස ය. එනම් ත්‍රිවිධ තණ්හාව නමැති දුක් උපදවන හේතුව) දුක්ඛ සමුදයාර්ය
සත්‍ය අවබෝධය පිණිස ය. (ඒ ත්‍රිවිධ තණ්හාව ම නොඉතිරි කොට නිරුද්ධ කිරීම ය.) දුක්ඛ
නිරෝධාර්ය සත්‍ය අවබෝධය පිණිස ය. එනම් ඒ සඳහා පවත්නා ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික
මාර්ගයයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය අවබෝධය පිණිස ය.”
(චේල සූත්‍රය - සංයුත්ත නිකාය)
චතුරාර්ය සත්‍යාවබෝධයෙහිලා පවත්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය වූ කලි එක ම විමුක්ති
මාර්ගය ය. “ඒසෝ’ව මග්ගෝ නත්ථඤ්ඤෝ - දස්සනස්ස විසුද්ධියා (ධම්මපදය) සත්‍යාවබෝධයෙන්
පිරිසිදු බව ලබනු පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් ම ඇත්තේ ය. අන් මඟක් නැත්තේ
ය.”
මෙකී ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රාවකයකු විසින් ප්‍රායෝගික ව භාවිතාවට ගැනීමේ දී
බෝධිපාක්ෂික ධර්ම තිස්හතකින් යුක්ත වන බව ධර්මයෙහි තවදුරටත් සඳහන් වේ. සත්තිස්
බෝධිපාක්ෂික ධර්ම යනු මේවා ය. ‘සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර
ඍද්ධිපාද, (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන) පංච ඉන්ද්‍රිය ධර්ම, (ඒ
ඉන්ද්‍රිය ධර්ම බලවත් වීමෙන් උපදනා) පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික
මාර්ගය’ වශයෙනි.
මේ බෝධිපාක්ෂික ධර්මයන්හි ඇතුළත් බොජ්ඣංග ධර්ම යනු මේවා ය. සති, ධම්මවිචය, විරිය,
ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන බොජ්ඣංග ධර්ම ය.
මෙකී බෝධ්‍යාංග ධර්ම ශ්‍රාවකයකුගේ ප්‍රතිපදාව තුළ කිසිදු කලෙක හේතු ප්‍රත්‍ය රහිත
ව, ඉබේ හට නොගනී. එසේ ම බාහිර කෙනකුගේ බලහත්කාරයේ යෙදවීමකින් ද හට නොගනී. මේ
බෝධ්‍යාංග ධර්ම උපදිනුයේ ද හේතු ප්‍රත්‍ය සහිත ව ම ය. උපකාරක ධර්මයන්ගෙන් ලත්
අනුග්‍රහයෙන් ම ය.
“මහණෙනි, ආහාරය උපකාරයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් මේ කය පවත්නේ යම් සේ ද, නිරාහාර ව
නොපවත්නේ යම් සේ ද, එසේ ම මහණෙනි, සප්ත බෝධ්‍යාංග ධර්ම පවතිනුයේ ආහාර සහිතව ය.
උපකාරක ධර්ම සහිතව ය. සප්ත බෝධ්‍යාංග ධර්මයෝ නිරාහාර ව නොපවතිත්....මහණෙනි, නූපන්
විරිය සම්බොජ්ඣංගයේ ඉපැද්ම පිණිසත්, උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් පිරිපුන් වීම
පිණිසත් හේතු වන ආහාරය කුමක්ද?
මහණෙනි, ආරම්භධාතු නමින් පටන් ගත් වීර්යයක් ඇත්තේ ය. නික්කමධාතු නමින් පටන් ගත්
වීර්යය බාධා මැඬගෙන තවදුරටත් පවත්වා ගන්නා වීර්යයක් ඇත්තේ ය. පරක්කමධාතු නමින් සිය
දිවි පරදුවට තබා ඉතා දැඩි ව යොදවන ලද වීර්යයක් ඇත්තේ ය. මෙහිලා නුවණින් මෙනෙහි
කිරීම හෙවත් යෝනිසෝ මනසිකාරය ම බහුල ව යෙදිය යුතු ය.
මෙය වනාහි නූපන් විරිය සම්බොජ්ඣංගයේ ඉපැද්ම පිණිසත්, උපන් විරිය සම්බොජ්ඣංගය
භාවනාවෙන් සම්පූර්ණ කර ගැනීම පිණිසත් පවත්නා ආහාරය වේ.”
(කාය සූත්‍රය - සංයුත්ත නිකාය)
මෙයින් පැහැදිලි ව පෙනෙනුයේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන ශ්‍රාවකයකු විසින්
බෝධ්‍යාංග ධර්මයක් වශයෙන් වීර්යය භාවිත කිරීම පිළිබඳ ඔහු විසින් මනාව දැන සිටිය
යුතු බව ය.
මෙහිලා වඩාත් පැහැදිලි කරුණක් නම්, බොජ්ඣංග ධර්ම වශයෙන් ‘සතිය’ හැම කල්හි ම
පැවැත්විය යුතු බව යි. සිහිනුවණින් තොර ව යෝනිසෝ මනසිකාරය නූපදී. යෝනිසෝ
මනසිකාරයෙන් තොර ව බොජ්ඣංග ධර්ම නූපදී.
චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ශ්‍රාවකයකුගේ සිත සකස් වනුයේ මෙකී ධර්ම පදනම් කොට ය.
නීවරණයන්ගෙන් මුදාගත් සමාධිමත් සිත, යෝනිසෝ මනසිකාරයෙහි බහුල ව යෙදවීම හේතුවෙන්
සත්‍යාවබෝධයත්, විමුක්තියත් සාක්ෂාත් කිරීමේ භාග්‍ය ලබයි.
කෙනකු වීර්යය ඉපදවීමෙහිලා කෙතරම් දක්ෂ ද, අවශේෂ බෝධ්‍යාංග ධර්ම යෝනිසෝ මනසිකාරයෙන්
අවස්ථානුරූපී ව භාවිතාවෙහි යෙදීමට ද එතරම් ම දක්ෂ විය යුතු ය. |