
ප්‍රඥාව නම් ආලෝකය දැකීම
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
‘ධම්මවිචය’ යනු ප්‍රඥාවට නමෙකි. එහි ධම්ම යන්නෙන් ගම්‍ය වනුයේ ‘ස්ඛන්ධ, ධාතු, ආයතන,
කුසලාකුසල ධර්මයෝ ය. විචය යනු විමර්ශනය කිරීම ය. ඒ අනුව සිය චිත්තාභ්‍යන්තරයේ පහළ
වන ධර්ම හා බාහිර ලොව තුළ ඇති සංස්කාර ධර්ම පිළිබඳ විමර්ශනය කිරීම ය. “තං ධම්මං
පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමංසමාපජ්ජති” යන විග්‍රයෙන් පෙන්වා දෙනුයේ ද, එම
ධර්ම ප්‍රඥාවෙන් විමසයි, හැසිරෙයි, පිරික්සීමට පත් වන බව යි. එනිසා ධම්මවිචය නම් වන
බව යි. ඉහත පාඨයෙන් මෙහි ලක්‍ෂණ තුනක් පෙන්වා දේ.
පවිචින්ති - ධර්මයන් වෙන් වෙන් වශයෙන් ගෙන බැලීම.
පවිචරති - එම ධර්මයන්ගේ ස්වභාවය වෙන් වෙන් වශයෙන් ගෙන බැලීම.
පරිවීමංසමාපජ්ජති - හාත්පසින් ම විමර්ශනය කරමින් එහි ඇති අනිත්‍යාදී ගැඹුරුතා අවබෝධ
කර ගනී.
ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් සංස්කාර ධර්ම පිළිබඳ දැන ගන්නා වූ ප්‍රඥාව හා සිව්සස්
ධර්ම දැනගන්නා වූ නුවණ ද මෙම බොජ්ඣංග ධර්මය යි. බෝධිපාක්‍ෂික ධර්ම විග්‍රහය තුළ දී
ඍද්ධිපාදවල දී ‘විමංසා ඍද්ධිපාදයෙන්’ ද, ඉන්ද්‍රිය ධර්ම තුළ ‘පඤ්ඤාඉන්ද්‍රිය’ නමින්
ද, බල ධර්මවල දී ‘ පඤ්ඤාබල’ ලෙස ද බොජ්ඣංග ධර්මවල දී ‘ධම්මවිචය’ නමින් ද, ආර්ය
අෂ්ටාංගික මාර්ගය තුළ දී ‘සම්මා දිට්ඨි’ යනුවෙන් ද දැක්වෙනුයේ මෙම ප්‍රඥා චෛතසිකය ම
ය.
ඒ අනුව ධම්මවිචය බොජ්ඣංගය යනු තමා තුළත්, බාහිර ලෝකය තුළත් හටගන්නා වූ ධර්මතා
ප්‍රඥාව නමැති ආලෝකයෙන් විමර්ශනය කරමින් ඒවායේ නියම ස්වභාවය අවබෝධ කර ගැනීම යි. මෙය
හුදු තර්කයෙන් හෝ පොතපත ඇසුරෙන් හෝ ලබන දැනුමක් නොව, භාවනාමය ප්‍රඥාවෙන් ලබන
ප්‍රත්‍යක්‍ෂ අත්දැකීමෙකි.
ධම්මවිචය වැඩීමේ ක්‍රියාවලිය යෝගාවචරයකු බෝධිපාක්‍ෂික ධර්ම වැඩීමේ දී පළමුව සති
සම්බොජ්ඣංගය මඟින් තමාගේ කය වේදනා, සිත සහ ධර්ම පිළිබඳ මනා සිහිය පිහිටුවා ගනී. එසේ
සිත මනාව පිහිටුවා ගත් කල්හි සිතේ සමාධිය ඇති වේ. තදනන්තරව ඒ ඇසුරෙන් ධර්ම විමර්ශනය
හෙවත් ධම්මවිචය ඇරඹේ. ධර්ම විමර්ශනය ක්‍රම දෙකක් යටතේ විග්‍රහ වේ.
සම්මසන නය : ධර්මයන්ගේ සාධරණ ලක්‍ෂණ වන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව ඒ තුළින්
ඇතිවන දුක මෙන්ම එකී කිසිවක් ආත්ම වශයෙන් ගත නොහැකි බැවින් අනාත්ම ස්වභාවය යන
තිලකුණු පිළිබඳ නුවණින් විමසා බැලීම.
පවිචය නය : කුසල් හා අකුසල් වෙන් කර හඳුනා ගැනීමයි. සිතේ හටගන්නා කෙලෙස් (හිත
කෙලෙසන, අපිරිසිදු කරන ධර්ම) හා ඒවා දුරු කරන ආකාරයත්, වැඩිය යුතු ගුණධර්ම හා ඒවා
වර්ධනය කරන ආකාරයත් නුවණින් පිරික්සා බැලීම ය.
ධම්මවිචය බොජ්ඣංගය වැඩීමට අවශ්‍ය වන පසුබිම ධම්මවිචය බොජ්ඣංග ආහාර ලෙස අටුවා
ග්‍රන්ථ තුළ දක්වා ඇති, මෙකී බොජ්ඣංග ධර්මයාගේ දියුණුව සඳහා අතිශයෝපකාරී වන කරුණු
හතකි.
පරිපුච්ඡකතා
ධර්මය පිළිබඳ ගැටලු ඇති තැන් විචාරශීලී ව උගතුන් වෙතින් විමසීම. මේ පිළිබඳ නොයෙක්
නිදර්ශනාශ්‍රයෙන් කරුණු දක්වා ඇත. ඕනෑම විෂයයක් පිළිබඳ ඉගෙනුම ලබන අයෙක් එකී විෂයය
පිළිබඳ ගැටලු ඇති තැන් උගතුන් වෙතින් විමසීම තුළ (සුස්සූසා ලභතෙ පඤ්ඤා) ප්‍රඥාව ඇති
කර ගත හැකි ය. මෙහි දී ස්ඛන්‍ධ පඤ්චකය පිළිබඳ නාම රූපාදී වශයෙන් විග්‍රහ කර බැලීම
ය.
වත්ථු විසදකිරියතා යෝගාවචරයා නූපන් ධම්මවිචය උපදවා ගැනීමට නම් ආධ්‍යාත්මික හා බාහිර
වශයෙන් පිරිසිදු විය යුතු ය. එනම් සිය ශරීරයේ පිරිසිදුබව හා අවට පරිසරයේ පිරිසිදු
බවයි. කෙස් රැවුල් කපා පැන් පහසුවීම හා සිය වස්ත්‍ර පිරිසිදු බව යි. තම වාසස්ථානය
පිරිසිදු බවයි.
කායික හා බාහිර පාරිශුද්ධ බව මානසික පාරිශුද්ධ බව පිණිස මඟ පාදනු ලැබේ.
ඉන්ද්‍රිය සමත්තපටිපාදනතා පඤ්චේන්ද්‍රිය ධර්ම සම සම ව තබා ගැනීම ය. එනම් සද්ධා,
විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම පහ මාර්ග ඵල ලබන අවස්ථාවේ දී අධිපති
වශයෙන් පහළ වන හෙයින් මෙම නම ලැබේ. කාමාවචර කුසලයක් කිරීමේ දී ද මෙම ධර්මයෝ කුසල
චිත්ත වීථියෙහි බලවත් ව අධිපති වෙති. එසේ අධිපති නුවූවේ නම් කුසලය සිදු නොවේ. මෙහි
දී ශ්‍රද්ධාව හා ප්‍රඥාව සම සම ව තිබිය යුතු ය. ශ්‍රද්ධාව අධික වුවහොත් නුවණ අඩු
වේ. එසේ වූ විට නොපැහැදිය යුතු තැන්හි පවා පැහැදීමට පත් වේ. එසේ ම නුවණ අධික ව
යෙදුනහුගේ ශ්‍රද්ධාව අඩු වේ. එවිට කපටි නුවණින් යම් යම් දෙය නුහුරට සිතයි. එවැන්නා
තුළ ශ්‍රද්ධාව මදකම බැවින් පින්දහම් ආදී ප්‍රතිපත්ති අවශ්‍ය නොවන අතර, අපි
අමුතුවෙන් වැරැදි කරන්නේ නැති නිසා අමුතුවෙන් පින් කරන්නට ද අවශ්‍ය නොවන බව ආදී දෑ
කියයි. සිතයි. වක්කලී තෙරුන්ගේ හා සෝණ තෙරුන්ගේ කතා පුවත් මේ සඳහා නිදර්ශන සපයයි.
මේ ආදී සියලු ඉන්ද්‍රිය ධර්ම සම සම ව පැවතිය යුත්තේ ඒ නිසා ය.
දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතා
ප්‍රඥාවෙන් තොර, ධර්ම නො විමසන පුද්ගල ඇසුරෙන් දුරුවීම
පඤ්ඤාවන්ත පුග්ගල සෙවනතා
ධර්මය විමසන, ගැඹුරු නුවණක් අති පුද්ගලයන් ඇසුරු කිරීම, ඒ අනුව ස්ඛන්ධ, ධාතු,
ආයතනාදී වශයෙන් ගැඹුරු ධර්ම නොදන්නා අය ඇසුරෙන් වැළකී, බහුශ්‍රැත ධර්මධර
ප්‍රඥාවන්තයන් ඇසුරු කිරීම ය.
ගම්භීර ඤාණචරිය පච්චවෙක්ඛණතා ස්ඛන්ධ, ධාතු, ආයතන වැනි ගැඹුරු දහම් කරුණු නැවත නැවත
විමසා බැලීම ය. මාර්ගඵල අවබෝධය ලබන ප්‍රඥාවන්තයෝ තම තමන්ගේ ඥානයෙහි තත්ත්වය අනුව
ගැඹුරු ධර්මය පිළිබඳ අවබෝධය ලබා ගනී.
තදධිමුත්තා
මෙම බොජ්ඣංග ධර්මය උපදවා ගැනීම සඳහා සතර ඉරියව්වෙහි දී ම “මම කෙසේ හෝ ධම්මවිචය
බොජ්ඣංගය උපදවා ගනිමි” යන අධිෂ්ඨානයෙන් යුතු මනසකින් යුතුව කටයුතු කිරීම.
‘පඤ්ඤ ඉන්ද්‍රිය’ යනු ප්‍රඥා චෛතසිකය යි. ඒ තුළින් මෝහාන්ධකාරය දුරලා ප්‍රඥා ලෝකය
ඇති කරයි. පුද්ගලයා නිරතුරුව ලොව දකින්නේ මම ය, මාගේ ය, මාගේ ආත්මය යන මුළාවෙනි.
නමුත් ධම්මවිචය වැඩූ පුද්ගලයා ලොව දකිනුයේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන, හේතු
නිරුද්ධ වීමෙන් නැති වී යන ක්‍රියාවලියක් ලෙසින් ය. නිදර්ශනයක් ලෙස සිතේ කේන්තියක්
හටගත් කල්හි දැන් මාගේ සිතෙහි තරහක් හටගෙන ඇති බව ද, එය හටගත් ආකාරය ද නුවණින්
දැකීම හා දුරු කර ගැනීම ය. මේ අනුව ස්ඛන්ධ ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම නුවණින්
දැක, ධර්ම මාර්ගයෙහි නුවණින් ගමන් කර විමුක්ති සුව අවබෝධ කර ගැනීමට මෙම බොජ්ඣංග
ධර්මය උපකාර වේ. |