 ඇදහිය නොහැකි වූ දුරකතන ඇමතුම
රාජකීය පණ්ඩිත
කොටපොළ චන්දිම හිමි
2018 වසරේ දිනෙක චීනයේ ෂේප්යැං (Zhejiong) පළාතේ ෂියාංජු පෙදෙසේ ගමක විසූ මා
ෂින්ක්පිං මහත්මියගේ කුඩා අවන්හලට දුරකතන ඇමතුමක් ලැබිණි. ඊට පිළිතුරු දුන් ඇයට දැන
ගන්නට ලැබුණේ චීනයේ ප්‍රකට ධන කුවේරයකු වන හේ රොංපිං මහතාට ඇය හමුවීමට අවශ්‍ය වන බව
ය.
ඇයට ඒ පණිවුඩය අදහාගත නොහැකි යම් විහිළුවක් සේ සිතුණු නමුත්, එතුමිය ඔහුට දිනයක්
ලබා දුන්නේ තමා වැනි සාමාන්‍ය කාන්තාවක හමුවීමට ඔහුට ඇති ඕනෑකම කුමක්දැයි සිතමිනි.
ඇගේ නිගමන වැරදිණි. ඇය පුදුමයට පත් කරමින් හේ රොංපිං මහතා කියූ වෙලාවට ම එතුමියගේ
වෙළෙඳසල ඉදිරිපිට පෙනී සිටියේ ය. “මාව අඳුනාගන්න පුළුවන් දැයි” ඔහු ඇසූ පැනයෙන් ඈ
වික්ෂිප්ත වී ගියා ය. ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා බැලූ ඇය, නැතැයි කියන්නට හිස
දෙපසට වැනුවා ය.
“ඔබතුමියට මතක ද මීට අවුරුදු 20කට කලින් හිඟන ළමයි තුන්දෙනාට උදවු කරපු හැටි?”
ඒ ප්‍රශ්නයත් සමඟ ඇගේ මතකය අතීතයට දිව ගියා ය. දිනක් ඇයට මාවතක් අයිනේ බිම හිඳ සිඟා
කන යොවුන් පිරිමි ළමයින් තිදෙනකු දක්නට ලැබිණි. කාරුණික කතක වූ ඇය, ඔවුන්ගෙන් කරුණු
විමසීමේ දී ඔවුන් පිටිසර ගමක සිට නගරයට රස්සාවක් සොයා පැමිණි බවත්, මුදල් ද අවසන් ව
යනඑනමං නැති ව අතරමං වූවන් බවත් දැන ගත්තා ය. ඒ විස්තරයෙන් ඇගේ සිත අනුකම්පාවෙන්
පිරිණි. ඔවුන් තිදෙනා තම නිවෙසට කැඳවාගෙන විත්, දින කිහිපයක් ආහාර හා නවාතැන් දී,
දුර ගමන් ඇවිදයෑමෙන් ඇති ව තිබූ තුවාලවලට ද සාත්තු සප්පායම් කොට, අවසානයේ යුවාන්
තිහ බැගින් දී ප්‍රධාන නගරයක් වෙත පිටත්කොට හැරියා ය. ඇය ඒ විස්තර විමසන විට හේ
රොංපිංගේ මුහුණ සතුටු සිනහවකින් පිරිණි.
“නැන්දා හරියට ම හරි. මම තමා ඒ තුන්දෙනාගෙන් රොංපිං. අපි ඔබතුමිය හොයහොයා හිටියේ”
ඇගේ උපකාරවලට මුව නොසෑහෙන සේ තුති පුද කළ ඔහු ඇයගේ අත්ලෙහි චෙක්පතක් තැබීය. එය
දිගහැර බැලූ ඇයට එහි යුවාන් මිලියනයක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 46කට අධික මුදලකි)
ලියා ඇති බව පෙනිණි. දෙනෙතට නැඟුණ කඳුළු පිසදමමින් ඇය එම මුදල ප්‍රතික්ෂේප කළා ය.
“මං ඒ වගේ දේවල් කොච්චර කර තියනවා ද” ඇය කීවා ය. “ඒ හැම උපකාරයක් ම කාටත් කළේ කිසි
ම දෙයක් නැවත බලාගෙන නෙවෙයි. ඒත් සමහරු මට කළේ අපකාරමයි. නමුත් ඔබතුමාගේ පැමිණීම මට
කියාදුන්නේ කෘතවේදී මිනිස්සු තවමත් ලෝකයේ ඉන්නා බව ම යි. කොච්චර හිත රිදුණත් මම
දිගට ම ඒ විදිහට අනුන්ට උපකාර කරමින් මගේ ජීවිතය ගෙවනවා.
2013 වසරේ චීනයේ ජනමාධ්‍යවල ඉහළින් ම වාර්තා වූ පුවතක් බවට මේ සිදුවීම පත්විණි.
සමාජ මාධ්‍ය තුළ ද ඩා පිං පිං ගේ පරිත්‍යාගශීලීත්වයත්, හේ රොංපිංගේ කෘතවේදීත්වයත්
ඉහළින් අගය කෙරිණි.
අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෘතගුණය අප විසින් පුහුණු කළ යුතු වටිනා ගුණයක් බව
පෙන්වා දුන්හ. තමන්ට බුද්ධත්වය ලබා ගන්නට සෙවණ සැලසූ හිත්පිත් නැති බෝධිරාජයාණන්
වහන්සේ වෙත සතියක් ඇසිපිය නොහෙලා ම බලා සිටීමෙන් ද, බුදු වූ වහා ම ඒ ධර්මය දේශනා
කිරීමට පස්වග තවුසන් කරා යෑමෙන් ද, සුදොවුන් රජුට මරණ මංචකයේ දී දම් දෙසා රහත් බවට
පැමිණවීමෙන් ද, මාතෘ දිව්‍යරාජයාට දහම් දෙසුමෙන් ද, පිරිනිවන් පෑමට යන මහා
ප්‍රජාපතී ගෝතමී තෙරණිය පසු ගමන් කිරීමෙන් ද, බත් හැන්දක් දුන් මහලු රාධ බමුණා
පැවිදි කිරීමට සැරියුත් තෙරුන්ට අනුශාසනා කිරීමෙන් ද උන්වහන්සේ ලොවට ප්‍රකට කළේ
කෘතවේදීත්වයේ අගයයි.
ලොව කළගුණ දත් පුද්ගලයා දුර්ලභ බව (කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං ) වදාළ
භාග්‍යවතුන් වහන්සේ ලොව ලැබිය හැකි දුර්ලභ තිදෙනකු ලෙස සම්බුදු රජාණන් වහන්සේගේ
ධර්මය පිරිසිදු ව දැන දෙසන පුද්ගලයා සහ කෘතවේදී පුද්ගලයා නම් කළ සේක.
කෘතවේදීත්වය උපතින් ම අප තුළ පහළ වන යහගුණයක් නොව, අභ්‍යන්තරයෙන් ක්‍රම ක්‍රමයෙන්
වඩවා ගත යුත්තකි. ඒ සඳහා අප පැමිණි මඟ දෙස සිහියෙන් හැරී බැලිය යුතු ය. එසේ බලන
ප්‍රඥාවන්තයාට තමා මේ තාක් ලබා ඇති සියල්ල තම හපන්කම් නිසා නොලැබුණු බවත්, ඒ පිටුපස
නොයෙක් කාරුණික මිනිසුන්ගේ ලොකු කුඩා කැපකිරීම් දායක වී ඇති බවත් වැටහෙයි. ඒ
කැපකිරීම් ධනය, ශ්‍රමය හා වටිනා මනුෂ්‍ය කාලය ද මෛත්‍රිය, කරුණාව හා මුදිතාව වැනි
ගුණදම් ද සම්මිශ්‍රිත බව දකින නුවණැත්තා තුළ ඒ උපකාර කළවුන් කෙරෙහි කෘතවේදීත්වය
හටගනියි. සත්පුරුෂයා ඒවා කුඩා හෝ මහත් යැයි හෝ භේද නොකරයි.
බුද්ධ කාලයේ ඉතා මහලු වියේ පසුවූ රාධ බමුණා පැවිදිවීමට කැමැති ව වේළුවනාරාමයට ගොස්
තමන් පැවිදි කරන මෙන් ඉල්ලා සිටි නමුත්, ඔහුගේ වියපත් බව නිසා පැවිදි කිරීමට අදිමදි
කළහ. මෙය දැනගත් භාග්‍යවතුන් වහන්සේ එහි වූ භික්ෂු පිරිස ඇමතූහ.
“පින්වත් මහණෙනි, මෙම රාධ බමුණාගෙන් සුළු උපකාරයක් හෝ ලැබූ කෙනකු මෙහි සිටිනවා ද?”
එවිට අප ධර්ම සේනාපති සැරියුත් මහරහතන් වහන්සේ නැඟී සිටියහ.
“එහෙමයි ස්වාමීනි, දිනක් මා පිඬුසිඟා වඩිනා විට මෙතුමා මට බත් හැන්දක් පූජා කළා
මතකයි.”
ඒ ඇසූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.
“පින්වත් සාරිපුත්ත, ඔබේ කෘතගුණය කෙතරම් අගනේ ද? ඊට කෘතගුණ සැලකීමක් ලෙස මොහු
පැවිදි කර උපසම්පදා කරන්න. අනුශාසනා කොට දහම් පුහුණුවේ යොදවන්න.”
සැරියුත් තෙරණුවෝ රාධ බමුණා පැවිදි කොට, උපසම්පදා කරවා ගම්බද සෙනසුනකට කැඳවා ගොස්
තමාට ලැබුණු සිව්පසින්ම උවටැන් කොට කමටහන් දුන්හ. නොපමාව පුහුණු වූ රාධ තෙරණුවෝ
විදසුන් වඩා, සිව් කෙලෙස් නසා අරහත් ඵලයට පත්වූහ.
එහෙයින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන්ට කළ උපකාරය වැපුරූ බීජයක් සේ බව
ද, අසත්පුරුෂයන්ට කළ උපකාරය ගින්නට දැමූ බීජයකට සමාන බව ද දක්වා වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මුලින් ම උපකාර කරන්නා වැඩි ම ප්‍රත්‍යුපකාර ලැබිය යුත්තා බව
මහා අස්සාරෝහක ජාතකයෙන් පෙන්වා දුන් සේක.
මීට සමාන අදහසක් පේරු ජාතික කවියකු වූ සෙසර් වැලේජෝගේ ස්පාඤ්ඤ කවි පන්තියෙහි එයි.
එම කවියෙහි දැක්වෙන පරිදි එක් දක්ෂ සටන්කරුවකු සටන අතහැර නිදමින් සිටියි. කොතෙක්
ඔහු කරා අවුත් ‘මිතුර නැඟිට සටන් කරන්නට එන්න. මම ද ඔබ හා එමියි කියයි. එහෙත්
සටන්කරු නිදයි. අනතුරුව දහ දෙනෙක් ද, සය දෙනෙක් ද, අනතුරුව ලොව සියලු දෙනා ද ඔහු
කරාවිත් මිතුර අපි ද ඔබ සමඟ එමු. සටනට යනු පිණිස නැඟිටින්නැයි ආයාචනා කළහ. එවිට
සටනට යෑම පිණිස නැඟිටින හෙතෙම පළමු මිනිසා වැලඳගන්නට අමතක නොකරයි. එවන් ආදි උපකාර
කළවුන් අමතක නොකරන, සැමට බොහෝ මිතුරන් වන බව බුදුපියාණෝ වදාළහ.
ඇතැම් උපකාර කළ අයට යළි උපකාර කිරීමට නොහැකි වුවත් අප හානියක් නොකළ යුතු ය. ගසක් යට
හිඳගත්තේ හෝ නිදා සිටියේ හෝ නම් එහි අත්තක් හෝ නොකැඩිය යුතු වේ. එසේ කරන්නා
අකෘතඥයකු බව ද, දද, වණ, කුෂ්ටාදී රෝගවලට ලක්ව මෙලොව ද, නිරයෙහි ද, ඉපිද පරලොවදී ද
දුක් විඳිනා බව ජාතක පාලියේ දැක්වේ.
“කොපමණ ගුණ කළත් - දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්”
යැයි වෑත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍යයේ කී පරිදි සත්පුරුෂයෝ අකෘතඥවීම දුර්ජන
ස්වභාවයක් බව දැන, එවැන්නක් වූ විට වෛර සිත් නූපදවා, ඔවුන්ගේ දුර්ගුණයට අනුකම්පා
කොට ඈත්විය යුතු අතර, පළිගැනීමට නොයා යුතුය. |