[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මරණය පැමිණෙන බව සිහි කළ යුතුය නිතර

මරණය පැමිණෙන බව සිහි කළ යුතුය නිතර

“පංචමාර” මෘතෘකාවේ තුන්වෙනි “මාර” වශයෙන් තිබෙන “මච්චුමාර” පිළිබඳව සොයා බැලීම වැදගත්. බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බුද්ධත්වයට පත් වූ බව අප කවුරුත් අසා තිබෙනවා. ඒ මාරයා පස් ආකාරයකින් පවතින බව බෞද්ධ පොතපතේ සඳහන් වෙනවා. පංචස්කන්ධයයි කියන මේ පුද්ගලත්වයම මාරයා ලෙස බුදුරජාණන් වහන්සේ වරක් රාධ තෙරුන්ට පැහැදිලි කර දී තිබෙනවා. එසේම ජීවීතේන්ද්‍රිය සිඳී බිඳී යාමෙන් සිදුවන මරණයම මාරයා ලෙසත් ඊට “මච්චුමාර” කියාත් තෝරා දී තිබෙනවා. මරණයට පත්විය යුත්තන් යන අර්ථයෙන් “මනුෂ්‍යයන්ටද” “මච්ච” කියා කියනවා. “රූපං ජීරති මච්චානං එවං මච්චාන ජීවිතං” යනාදී තැන්වල මච්ච කියන්නේ මනුෂ්‍යයන්ටයි. මච්චු කියන්නේ මරණයටයි. “මච්චු මරණං කාල තිරියා” යන බණ පදවලින් එය පැහැදිලි වෙනවා. යම් පුද්ගලත්වාරෝපයන් මාරයකු ලෙස පෙන්වන තැන්ද බුදුදහමෙහි තිබෙනවා. සබ්බේ මච්චුවසං යන්ති සබ්බේ මච්චු පරායණ යනුවෙන් සියල්ල මාරයාගේ වසගයට යන බවත් සියල්ලන් මාරයා පිහිට කොට සිටින බවත් එයින් පැවසෙනවා.

බ්‍රාහ්මණ ධර්මයන්ට අනුව ස්වර්ගයෙහි එනම්, දිව්‍ය ලෝකයෙහි සිටින සත්ත්වයන් නොමැරෙනවා යන අදහසින් ඔවුන්ට ‘අමර’ කියා නමක් දී තිබෙනවා. නමුත් බුදුදහමට අනුව දෙවියන් ද චුත වන බව අපි කවුරුත් අසා තිබෙනවා. මැරෙන අය සිටින්නේ මනුෂ්‍ය ලෝකයෙහි ය. එනිසා ඔවුන් ඊට මෘත්‍යු කියා නමක් දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මච්චු මාර යනුවෙන් මරණයම මාරයා ලෙස සලකා ධර්ම දේශනා කර තිබෙන්නේ සත්ත්වයන් මැරී නැවත උපදින නිසයි. මැරි මැරී ඉපදී සසර සැරිසරන එක මහ දුකක්. සංසාරයම මාරයාට අයිති තැනක්. මරණය සිදුවන තැනක් නිසා සසරින් එතෙර වීම සඳහා සටනක් කළ යුතුව තිබෙනවා. ඒක මාර යුද්ධයක්. සුළු වූ හෝ කරදරයකින් මිදෙන්නට කරන උත්සාහයටත් ‘මාර යුද්ධයක්’ යයි මිනිසුන් ව්‍යවහාර කරනවා. එම නිසා මරණයෙන් නිදහස්වීමට අමරණීය වීමට අපි කවුරුත් කැමතියි. ඒ සඳහා මච්චු නම් වූ මරණය පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගෙන ඒම මාරයාගෙන් මිදිය යුතු වෙනවා. සියල්ලන් මැරෙනවා. මාත් මැරෙනවා කියා සිතීම භාවනාවක්, කුසලයක් එසේ සිතන විට අනුන් මරන්නට සිතන්නේ නැහැ. අනුන් මරන්නේ නැහැ. මැරෙනවා කියා සිතන එකත් පිනක්. මරණවා කියන එක පවක්. මරණානුස්සති භාවනාව බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි. විශුද්ධි මාර්ගයෙහි මරණය විස්තර කර ඇත්තේ ‘තත්ථ මරණන්ති එක භව රියාපන්න ස්සි ජීවිතීන්ද්‍රිය ස්ස උපච්ඡෙදො” යනුවෙනි. මරණය යනු කිසියම් සත්ත්වයකුගේ එක් භවයකට අයත් ජීවිතේන්ද්‍රිය සිඳීයාමයි. කෙටියෙන් කිවහොත් ජීවිතයක් අවසන් වන්නේ මරණය සිදුවීමෙනි. පඨවි, ආපො, තේජො, වායො, ආකාශ යන පංච මහා භූතයන් යළි පංච මහා භූතයනට එකතුවීමක් ලෙස සමහරු මරණය විස්තර කරති. ඔවුහු උච්ඡේදවාදිහුය.

ජීවිතයක් පවත්වා ගැනීමට උපකාර වන ශක්තිය ‘ජීවිතේන්ද්‍රිය නාම, රූප යනුවෙන් දෙවැදෑරුම් වේ. විඤ්ඤාණ, වේදනා, සඤ්ඤා, සංඛාරා යන ස්කන්ධ සතර පාලනය කරමින් පවත්වන්නේ තම ජීවිතේන්ද්‍රිය යි. මේ හතර ආධාර වෙමින් එකට බැඳී මිස, තනි තනිව මේ එකකට වත් පැවතිය නොහැකිය. රූප යනු භෞතික ශරීරයට නමකි. ඒ රූපය නමකි. ඒ රූපය පාලනය කරමින් පවත්වන රූප ජීවිතේන්ද්‍රිය හෙවත් ජීවන ශක්තිය බිඳ වැටුණු පසු රූපය ද නාම ජීවිතේන්ද්‍රිය නම් වූ නාමය පාලනය කරමින් පවත්වන ජීවන ශක්තිය බිඳවැටුණු පසු නාමය ද බිඳ වැටේ. එහෙත් මේ දෙක බිඳ වැටෙන්නේ වරින් වර නොව එකටමය. මෙය ඉතා හොඳින් වටහා ගත යුතු කරුණකි. ඒ ආකාරයෙන් එක භවයක් තුළ ජීවිතේන්ද්‍රියාගේ බිඳීම මරණය නමින් හැඳින් වේ. මෙහි භවයක් යන්නද සැලකිය යුතු දෙයක් ඇති වචනයකි. එබැවින් අප එය මැනවින් ඉගෙන ගත යුතු වේ. අප ජීවිතයක් යැයි කියනු ලබන්නේ ඉහත සඳහන් කළ නාම රූප දෙක මිස අන් දෙයක් නොවේ. අපේ ව්‍යාවහාර පහසුව පිණිස ඒ දෙක එකතු කොට ජීවිතයයි කියමු. තවත් අයුරකින් කිවහොත් ප්‍රතිසන්ධි සිතක්, චුති සිතක් අතර ඇතිවන නාම රූපයන්ගේ පැවැත්මට ‘ජීවිතයක්’ යැයි කියනු ලැබේ. භවය යනු ඊට තවත් නමකි.

සියලු සත්ත්වයෝම මිය යන්නාහුය. ලොව වෙසෙන කිසිම සත්ත්වයෙකුට නොමැරී සිටිය නොහැකිය. “සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං” සත්ත්වයන්ගේ මරණය ක්‍රම හතරකින් සිදුවේ. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක යනුවෙනි. ඒ ඒ පුද්ගලයාගේ නියමිත ආයුෂ ප්‍රමාණය අවසන්වීමෙන් මරණය සිදුවේ නම්, එය ආයුක්ඛය මරණයකි. මේ කාලය අනුව මිනිසුන්ගේ පරමායුෂ ප්‍රමාණය අවුරුදු අසූවක් පමණ වේ යැයි සැලකේ. තෙල් පහනක තෙල් ඉතිරිව තිබියදී පහන් තිරය පිළිස්සී පහන නිවී යන්නාක් මෙන්, මිනිසකුට ජීවත්වීමට ඇති පින ඉතිරිවී ඇතත් ආයුෂ ගෙවීම නිසා ආයුක්ඛය මරණය සිදු වේ.

මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක ආදී සැප ඇති තැන්වල උපන් යම් කෙනෙක් පරමායුෂ තිබියදී පින අවසන් වී මිය යාමට ඉඩ තිබේ. නරකය, තිරිසන් අපාය ආදී දුක් ඇති තැනක උපන් අය තමන්ගේ පාප කර්මය අවසන් වී මිය යාමට ඉඩ තිබේ. එසේ පින හෝ පව අවසන් වී මියයාම කම්මක්ඛය මරණය යි. එය පහන් තිරය තිබියදී තෙල් අවසන් වී පහන නිවී යාමට සමානයි.

උභයක්ඛය මරණය යනු පහන් තිරයත් තෙලුත් එකවර අවසන් වී පහන නිවී යන්නාක් මෙන් ආයුෂයත් කර්මයත් යන දෙකම එක්වර අවසන් වී මිය යාමයි. ආයුෂය හා කර්මය යන දෙකම ඉතිරිව තිබියදී යම් කෙනෙකුගේ මරණයක් හදිස්සියේ සිදුවේ නම් එය උපච්ඡේදක මරණයකි. පහන් තිරයත් තෙලුත් දෙකම තිබියදී සුළඟට පහන නිවී යා හැකිය. නැතහොත් කෙනෙකුට නිවා දැමිය හැකිය. එමෙන්ම විරුද්ධ කෙනෙකුගේ වෙඩි තැබීම්, හිංසා කිරීම් ආදී උපක්‍රමයකින් හෝ වස විස කෑමෙන්, දුම්රියට පැනුමෙන්, ගඟේ මුහුදේ පැනීමෙන්, ගෙල වැලලා ගැනීමෙන් ආදී විවිධ උපක්‍රමවලින්ද විදුලිය සර වැදීමෙන්, ගහකින් පර්වතයකින් වැටීමෙන් ආදී ක්‍රමවලින් ද මරණය පැමිණිය හැකිය. මරණය කොයි මොහොතේ පැමිණෙන්නේ දැයි කිව නොහැකිය. බිම් හතු පොළොවෙන් උඩට මතුවන්නේ පස් ස්වල්පයක් හිස මත තබාගෙනය. එමෙන්ම සෑම සත්ත්වයෙක්ම උපතත් සමඟම මරණයක් රැගෙන එයි. උපන් මොහොතේ පටන් කොයි වේලේ හෝ මරාගන්නේ මැයි සිතා අවියක් අමෝරාගෙන පිටුපසින් එන වධකයකු මෙන් මරණයද ඒ පුද්ගලයා ලුහුබැඳ පැමිණේ. ජීවත්වන කාලයත්, සෑදෙන රෝගයත්, මැරෙන කාලයත්, මළ සිරුරු තබන තැනත්, මියගොස් නැවත උපදින තැනත් යන කරුණු පහ දැනගත නොහැකි අනිමිත්ත කරුණු බව බුදුදහමෙහි ඉගැන්වේ.

මරණය සිදුවන තවත් ක්‍රම තුනක් ඇත. එනම් සම්මුති මරණ, බණික මරණ, සමුච්ඡෙද මරණ යනුවෙනි. සම්මුති මරණය මුලින් දැක්වූ ක්‍රම සතරින් සිදු වේ. සිරුරෙන් ආයුෂ, උණුසුම හා විඤ්ඤාණය ඉවත් වූ පසු ප්‍රාණය නිරුද්ධ වේ. එවිට දිරාගිය දර කොටසක් මෙන් පොළොව මත ඇද වැටේ. බල්ලෙක් මැරුණ, ළමයෙක් මැරුණ ආදී වශයෙන් ව්‍යවහාර කරන්නේ මේ සම්මුති මරණයයි. ක්ෂණයක් පාසා සිදුවන මරණය බණික මරණයයි. ක්ෂණය යනු ඇසිපිය හෙළන තරම් ඉතා සුළු වේලාවකි. තත්පරයක් ගානේ අප මිය යනවා. එහෙත් එය අපට නොදැනේ.

එක් රූප ධර්මයක ආයු කාලය චිත්තක්ෂණ 17ක් බව අභිධර්මයෙහි ඉගැන්වේ. එක් චිත්තක්ෂණයක් වුවද උත්පාදථිති, භංග යනුවෙන් ඉපදීම, පැවැත්ම, විනාශය යන අවස්ථා තුනකට පැමිණේ. සත්ත්වයන්ගේ ශරීර නාම, රූප යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. නාම යනු චිත්ත චෛතසිකයි. ඒ සිතත් සිතිවිලිත් නැති වී තවත් සිතිවිලි පරම්පරාවක් සමඟ වෙනත් සිතක් පහළ වේ. ඉන්පසු එයත් නැතිවේ. රූප කොටස අයත් වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායො, වණ්ණ, ගන්ධ, රස, ඕජා යන මේවායින් ඇති වූ කෙස්, ලොම්, නිය, දත් ආදී දෙතිස් කුණුප කොටස් ය. මේවාත් ක්ෂණයක් පාසා වෙනස් වේ. මහලු වන විට කළු කෙස් සුදුපාට වේ. දත් දිරා යයි. ගැලවී යයි. මෙසේ වන්නේ රූප ධර්ම ක්ෂණික මරණයට ලක්වන බැවිනි. සමුච්ඡේද මරණය යනු සියලු කෙලෙස් නැතිකොට නැවත නූපදින්නට පිරිනිවීමයි. සංසාරයේ ඇලී ගැලී වාසය කරන කුරා කුහුඹුවාගේ පටන් මහා බ්‍රහ්මය දක්වා සියලු සත්ත්වයෝම මිය යති. ඒ සෑම සත්ත්වයෙක්ම තණ්හාව තිබෙන තුරු නැවත භවයක උපදී. මරණය නැතිකිරීමට නම් ඉපදීම නැතිකළ යුතු ය. තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රාහාණය කළ නික්ලේෂී රහත් උතුමන්ට පුනර්භවයක්, ඇති නොවේ. එබැවින් බුදු, පසේබුදු, මහරහතුන් පිරිනිවීම සමුච්ඡේද මරණය ලෙස හැඳින් විය හැකිය.

මරණය අරමුණු කොට උපන් සිහිය ‘මරණානුස්සති’ යයි. එනම් මරණය පිළිබඳ නැවත නැවත සිහි කිරීමයි. “ජීවිතං අනියතං මරණං නියතං” යනුවෙන් ජීවිතය අස්ථිරය. මරණය ස්ථිරය. මෙම අරමුණු කිරීමෙන් සසර කලකිරීමට ද, නුවණ දියුණු වීමටද, චතුරාර්ය සත්‍ය අවබෝධවීමට ද, නිවන ප්‍රත්‍යක්ෂ කිරීමටද හේතු වේ. එබැවින් මරණය ගැන සිහි කිරීම උසස් භාවනාවකි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ නිර්මාතෘ හෑගොඩ ඛේමානන්ද නා හිමියන්ගේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

වෙසක් පුර අටවක

මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ.
23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]