[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක පෝ දා 2026-05-23

ලද දෙයින් තෘප්තිමත් වෙමු

අපි අතෘප්තිකර ආශාවන් වෙත හඹා යන සමාජයක් තුළ අතරමං වී සිටිමු. ශ්‍රී ලංකාවේ නම් ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් බහුතරයක්ම මේ හඹායාමට අසුවී ඇත. කිසිවකින් අපි තෘප්තිමත් නොවන තත්ත්වයක් උදා වී ඇත. යාන වාහන, ගෙවල් දොරවල් මේ සියල්ලම දිනෙන් දිනම අලුත් කර ගන්නට උත්සහ කරනවා විනා දහමට අනුව දිවි ගෙවිය යුතු ආකාරයක් ගැන අපට අවබෝධයක් නැත්තා සේය.

සමාජය තුළ මුල් බැස ගෙන ඇති අතෘප්තිකර ආශාවන් පසුපස හඹා යාම අවසන් වන්නේ අපට හති වැටුණු විටය. එවිට ප්‍රමාද වී වැඩිය. අපට ආපසු හැරෙන්නටද හැකියාවක් නොමැත. අවසන් මොහොත වන තෙක්ම අප කරන්නේ මේ අතෘප්තිකර ආසාවන් මුදුන් පත් කරගන්නට උත්සහ කිරීමයි.

අපට ලැබෙන දෙයින් තෘප්තිමත්ව ඒ ඔස්සේ ජීවන රටාව සකස් කර ගන්නට අප උත්සහ කරන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූවේ ලද දෙයින් සතුටු වීමය. එහෙත් අද ලද දෙයින් සතුටුවන්නෙක් නම් නැත. කෙසේ හෝ ගොඩ ගසා ගන්නට උත්සහ දරනු විනා තමාගෙන් විය යුතු සේවාව, යුතුකම් හා වගකීම් ගැන අවබෝධයක් නැත. තිබුණද ඒ සියල්ල යටපත් කරගෙන ඉස්මතු වන්නේ තම ආශාවන් මුදුන් පත් කර ගැනීමේ මූලික අරමුණයි.

මුදල් මතම යැපෙන සමාජ රටාවක් අප රටේ බිහිවි ඇත. මේ නිසා අපේ බෞද්ධ සාර ධර්ම කෙතරම් දුරට පරිහානියට පත්ව ඇත්ද කියා සිතා බැලිය යුතුය. මවට දරුවන් ගැන වටිනා කමක් නැත. දරුවන් මුදලට විකුණන යුගයක් ගැන අප අසා තිබුණේද? මවුපියන් නොසලකා හරින මවුපියන්ගේ වටිනාකම නොසලකන බෞද්ධ සාරධර්මවලින් අපි ඈත්වූයේ මෙම අතෘප්තිකර තත්වය නිසා නොවේද? මේ සමාජය විෂම වූයේ මෙම මුදල් මත ගිජුවූ සමාජ ක‍‍්‍රමය නිසා නොවේද?

අපේ ශරීරයට වැළදෙන රෝගාබාධ දෙස බැලුවද අපට පෙනී යන්නේ මේ කරුණමය. ක්ෂණික ආහාර පාන නිසා අද අප රටේ රෝගාබාධ බහුල වී ඇත. පිළිකා රෝහලේ දරුවන් වෙනුවෙන්ම වෙනම වාට්ටුවක් තනන්නට සිදුවිය. වස විස කවා හෝ තම මඩිය තර කර ගැනීමට වෙළෙන්දෝ උත්සහ කරති. ජනතාවෝ ඒවාට රැවටෙති. මෙහි වැඩි ආදීනව කුඩා දරුවන්ටය. තවත් ලෙසකින් පෙන්වා දෙන්නේ නම් අනාගත පරම්පරාවටය. රස සොයා යමින් දිව පිනවන්නට යාම නිසා බොහෝ රෝගා බාධ ඇති වේ.

බුද්ධ දේශනාව අනුව ඉන්ද්‍රියන් පාලනයට වඩා ඉන්ද්‍රියන් පිනවීම කෙරෙහි යොමුවීම සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවයයි. ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මනස යන මෙම ඉන්ද්‍රියන් පාලනය කිරීම සෑම අතින්ම සුදුසු බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි. මෙම ඉඳුරන් පාලනය කර ගන්නට නොහැකිවූ විට අපට ඇතිවන ප‍‍්‍රශ්න හා ගැටලු වැඩිවනු ඇත.

එදිනෙදා ජීවිතයේ ගැටලුවලට වැඩිවශයෙන්ම බලපානු ලබන්නේ ඉඳුරන් පාලනය කර ගැනීම සඳහා හැකියාවක් නැතිවීමය. මනස උසස් තැනැත්තා, මනස පාලනය කර නොගෙන තම සිත හැරෙන හැරෙන දෙසට තමාද නැමී යන්නේ නම් සිදුවන්නේ මනසේ වහලෙක් බවට පත්වීමය.

බුදුරජාණන් වහන්සේ විනය නීති පනවක ලද්දේද මේ නිසාය. ගිහියන්ට නිත්‍ය ශීලය හෙවත් පංච ශීලය ආරක්ෂා කරන ලෙස අනුදැන වදාළේ ඒ ඔස්සේ ලද දෙයින් සෑහීමට පත්වීමේ මාර්ගය තුළ රැදෙන්නට උනන්දු කරවීමට මෙන්ම ඒ හරහා තම ආරක්ෂාවත් අන්‍ය ආරක්ෂාවත් සැලසෙන හෙයිනි.

දියුණු රටවල බොහෝ දෙනා සතුටින් ජීවත්වේ යයි අප විශ්වාස කළද එහි නියම ස්වරූපය එය නොවන බව මේ වන විට ඇතිව තිබෙන ලෝක යුද ගැටුම් දෙස බැලූ විට අපට පෙනී යයි. ඔවුන් සියලු දෙනා බලයට ධනයට ඇති ගිජුකම නිසා සටන් වැද ඇත. විවිධ දේ කෙරෙහි ඇල්ම උපදවා කෙසේ හෝ ඒවා ලබා ගැනීමේ අරමුණු නිසා මේ තත්වය උදා වී ඇත. ඒවා ලබා ගන්නට නොහැකි වන විට ඒ සමාජයේ ප්‍රශ්න ඇතිවන අතර පසුව එම ප්‍රශ්න ලෝකය පුරාම ව්‍යාප්ත වනු ඇත. එතෙකින් නොනැවතී ඒවා සසර පුරාම අප පසු පස එනු ඇත.

වෙසක් පුර අටවක

මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ.
23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]