[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

එළැඹ සිටි සිහියෙන් සිටින්න

එළැඹ සිටි සිහියෙන් සිටින්න

බුද්ධ ධර්මය අවබෝධ කර ගත යුතු හා නිරතුරුව විමසීමට ලක් කළ යුතු දහමකි. මාගේ වචන පරීක්ෂා කොට පිළිගත යුතුයි, හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නො පිළිගත යුතු යැයි බුදුන් වහන්සේ වදාළ සේක

බුද්ධ ධර්මය ගැන කරන සාකච්ඡාවක දී වැරැදි වැටහීමකට නො වැටීම සඳහා පළමුවෙන් ම අවධානය යොමු කළ යුතු කරුණක් ඇත. එනම් බුදුන් වහන්සේ මිනිස් බවෙන් වෙනස් වූ පුද්ගලයකු ලෙස තමන් වහන්සේ විසින් කිසිවිටෙක හෝ හඳුන්වා නො දීම යි.

උන්වහන්සේ දේශනා කළ ධර්මය මිනිසා විඳින දුක පිළිබඳ ප්‍රශ්නය වටා ගොඩනැඟී ඇත. බාහිර හෝ ස්වභාවිකත්වය ඉක්මවා ගිය හෝ කිසියම් බලවේගයක පිළිසරණක් හෝ නො පතා මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ මාර්ගයක් ඒ ධර්මයෙන් මිනිසාට පෙන්වා දෙයි.

බුද්ධ යන පදය, වටහාගත් තැනැත්තා නොහොත් පිබිදීමට පත් තැනැත්තා යන අර්ථය ගෙන දෙන පූර්ණ අවබෝධයකින් සමන්විත තත්ත්වයක් ලබා ගත් සිද්ධාර්ථ ගෞතම යන භාරතීය කුමාරයකු හැඳින්වීම සඳහා යොදන ලද අන්වර්ථ නාමයකි. බෞද්ධ මාර්ගය වැටී තිබෙන්නේ අවබෝධයෙන් පසක් කළ යුතු එවැනි තත්ත්වයකට සහ ඒ අවබෝධය තුළින් ඇතිවන බිය සහ දුක යන මේවායින් ලබන නිදහස වෙත ය.

බුද්ධ ධර්මය පහළ වූයේ ඉන්දියාවෙහි (දඹදිව) උතුරු පෙදෙසෙහි ය. එක් කලක බුද්ධ ධර්මය මුළු ආසියාව පුරා පැතිර පැවතිණ. පසුගිය ශත වර්ෂ විසිපහ තුළ එය බොහෝ රටවල පැවති පාරම්පරික විශ්වාස හා ඇදහිලි සමඟ මිශ්‍ර විය. වර්තමාන කාලයෙහි දී ඉන්දියාව, නේපාලය, චීනය, ජපානය, කොරියාව, ටිබෙටය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, මැලේසියාව, බුරුමය, තායිලන්තය හා ශ්‍රී ලංකාව යන රටවල වෙසෙන බෞද්ධයන්ගේ සංඛ්‍යාව පහසුවෙන් ම පනස් කෝටියකට අධික ය. එසේ ම බුද්ධ ධර්මය ගැන උනන්දුවක් අමෙරිකාවෙහි ද ප්‍රංශයෙහි ද වැඩෙමින් පවත්නා බවට ලකුණු ද පහළ වී තිබේ.

ක්‍රි.පූ. 563 දී වෙසක් මස පුර පසළොස්වක පුන් පොහෝ දින දඹදිව උතුරු සීමාව අසල පිහිටි ලුම්බිණි නම් උයනෙහි දි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මෙලොව එළිය දුටු බව කියනු ලැබේ.

උන්වහන්සේගේ පියා වූ සුද්ධෝදන රජතුමා හිමාලය පර්වතයෙහි පාමුල පිහිටි රාජධානියක් වූ ශාක්‍ය ජනපදයෙහි පාලකයා විය. (පසු කාලයෙහි දී ගෞතමයන් වහන්සේ හඳුන්වන ලද නම් රාශිය අතරෙන් එකකි ශාක්‍යමුනි යන නාමය. එහි අර්ථය නම් ශාක්‍යයන්ගේ මුනිවරයා හෙවත් බුද්ධිමත් පුරුෂයා යනු යි.) උන්වහන්සේ ගේ මව මහමායා නම් දේවිය වූවා ය.

ළදරු කුමාරයාණන්ගේ උපත ද මුල් අවධියෙහි දී එතුමාණන් හැදුණු වැඩුණු අයුරු ද පිළිබඳ ව අද්භූත කතා ප්‍රවෘත්ති රාශියක් පහළ වී ඇත. මෙබඳු වෘත්තාන්ත ගොඩනැඟී යාම, ආගමික නායකයන් නිරත වන කාර්ය භාරය හා සම්බන්ධ ව බැඳී පවත්නා සිද්ධියක් ලෙස පෙනී යයි. එසේ වුවත් බෙහෙවින් සරල වූ වාර්තාවල හුදෙක් සඳහන් වන්නේ ආදර්ශවත් බාල කාලයකින් පසුව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ක්‍රීඩකයකුට අයත් කාය බලයකින් ද, ප්‍රාඥයකුට හිමි බුද්ධි බලයෙකින් ද සමන්විත වූ උසස් හැදියාවකින් යුතු තරුණයකු බවට පත් වූ අයුරුයි. සොළොස් වන වියට පා තැබූ එතුමාණෝ ඥාති සහෝදරියක වූ අතිශයින් රූමත් යශෝධරා නම් කුමරිය සරණ පාවා ගත්හ. තෙළෙස් වසරකට පසු ඔවුන් දෙදෙනාට රාහුල නම් පුත් කුමරෙක් උපන්නේ ය.

එකුන් තිස් වියෙහි දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සිය රජ මැධුර, යොවුන් බිසව හා අලුත උපන් දරු සිඟිත්තා ද හැර දමා ගිහි ගෙයින් අබිනික්මන් කොට තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට පිවිසීමේ පුවත කල් යෑමෙහි දී සුරංගනා කතාවෙන් ද, ජනකතාවෙන් ද මිශ්‍ර වී වැඩී ගියේ ය. එහෙයින් යළිත් අපි ඉතාමත් සරල වාර්තාවක් ගෙන හැර දක්වනු කැමැත්තෙමු. තිස් වසරකට ආසන්න කාලයක් මේ තරුණ කුමාරයාණන් ආරක්ෂා සංවිධාන සැලසීමෙන් පාලනය කරන ලද පරිසරයක් යටතේ දිවි ගෙවූ නමුත් උපභෝග, පරිභෝග සම්පත්තියෙන් අතිශයෙන් ආඪ්‍ය වූ ජීවිතයක් ගත කළහ.

එතුමාණන් උපත ලද පවුල සම්පත්තියෙන් සමෘද්ධිමත් ද ආචාර, සමාචාරයෙන් ශිෂ්ට සම්පන්න ද විය. සිය සිත් ඇදී ගිය කායික වූ ද, බුද්ධිමත් වූ ද විවිධ අංශ කෙරෙහි උද්‍යෝගයෙන් නිරත වීම සඳහා එතුමාණන්ට අනුබලය නො අඩුව දෙනු ලැබී ය.

සතුට ගෙන දිය හැකි හැම සුව පහසුවක් ද, රැකවරණයක් ද එතුමාණන්ට සැපයිණි. එහෙත් තමන් අවට දක්නට ලැබුණු ආපදාසම්පන්න පීඩාකාරී පරිසරය නිසා එතුමාණෝ විටින් විට කැළඹීමට පත් වූහ. එහෙයින් තමන්ට ගත කිරීමට ලැබුණු ජීවන ක්‍රමය අසාර වූවක්ය යන සැකයක් එතුමාණන් තුළ පහළ විය. මේ නිසා එතුමාණෝ එකල නුවණැත්තන් ලෙස මහත් කීර්තියට පත්ව සිටියවුන්ගේ අවවාද හා අනුශාසනා පතා ඔවුන් වෙත ගියහ. එහෙත් තමන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු ඔවුන් තුළ නො පැවති බව එතුමාණන්ට පසක් විය.

තමන්ගේ සිත් තුළ පහළ වූ නො සන්සුන්කම නිසා ගිහි ගෙය අත් හැර දමා කිසිදු වස්තුවකට හිමිකම් නො දරන තවුස් වියකට එළඹීම සඳහා කළ තීරණය අද වැනි දිනක පුදුමයක් ලෙසත්, ඇතැම් විට වගකීමෙන් තොර ක්‍රියාවක් ලෙසත් පෙනී යා හැකි ය. එහෙත් එදා එසේ නො වීය. ක්‍රිස්තුස් වහන්සේ ලෝකයෙහි පහළ වීමට සිය වස් සයකට පමණ පෙර ඉන්දියාවෙහි දී මෙවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම සමහර විට අන්තගාමී ප්‍රතිපදාවක් වුවත් අසාමාන්‍ය සිද්ධියක් නම් නො වීය. ගෞතමයන් වහන්සේ පිළිබඳ කතා ප්‍රවෘත්තිය අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ එතුමාණන් ගිහි ගෙය අත් හැර දැමීම නිසා නොව, මිනිසාගේ දුකටත්, අසහසනයටත් හේතුව හා ප්‍රතිකාරය සොයනු වස් දැක් වූ අප්‍රතිහත ධෛර්යය නො පිරිහෙළා ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් එතුමාණන් තවුස් දිවි පෙවෙත ද බැහැර කිරීම නිසා ය.

ආරම්භයෙහි දී එතුමාණන් අනුගමනය කළ ක්‍රියා මාර්ගය බොහෝ දුරට ගතානුගතික විය. එතුමාණෝ තම රටවැසියන් අදහූ බමුණු දහම අනුව මහත් ප්‍රාමාණිකත්වයෙන් සලකන ලද බමුණන් ගේ උපදෙස් සොයා ගියහ. එහෙත් එතුමාණන් සෑහීමට පත් වන අයුරු කරුණු පහදා දීමට හෝ උපදෙස් දීමට හෝ ඔවුන් අතරෙන් කිසිවෙක් සමත් නො වූ හ. සිත, කය දෙකට පැමිණෙන දුකෙන් ගැලවීම සඳහා සිරුර පීඩාවට පත් කරමින් තවුස් දම් රැකීම එකල පිළිගත් ප්‍රතිපත්තියක් විය. එහෙයින් එතුමාණෝ ද ඒ ක්‍රමය අත්හදා බැලූහ. ගයාව අසළ පිහිටි උරුවේලා වනයෙහි දී මාරාන්තික ලෙස තවුස් දම් රකිමින් උන්වහන්සේ සය වසරක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළහ.

උග්‍ර ලෙස අනුගමනය කළ තවුස් දම් කරණ කොට ගෙන චිත්ත ශාන්තිය හා චිත්ත පාරිශුද්ධිය ලැබෙනු වෙනුවට තමන් ගේ නිරෝගී භාවය විනාශ වීම ද චින්තන ශක්තිය දුර්වල වීම ද සිදු වූ අයුරු උන්වහන්සේට එක්වර වැටහිණ. කාමසුඛල්ලිකානුයෝගය අත් හැර දැමුවාක් මෙන් ම එතුමාණෝ මෙහි දී අත්තකිලමථානුයෝගය ද එක සේ බැහැර කිරීමට තීරණය කළහ. උන්වහන්සේට සහාය සඳහා පැමිණ සිටි තවුසන්ගේ ප්‍රසාදයට එය හේතු නො වීය. එහෙත් එ තුමාණෝ අන්ත දෙකෙන් ම තොර වූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ වැදගත්කම වටහා ගත්හ. යළිත් ආහාර අනුභව කිරීමෙන් සිය සිරුර ප්‍රකෘතිමත් කර ගත් එතුමාණෝ ගසක් මුල වැඩ හිඳ භාවනා වැඩීම ඇරඹූහ. මුළු රැය මුළුල්ලේ අප්‍රතිහත වීර්යයෙන් බවුන් වැඩීමෙහි නියැළුණු උන්වහන්සේ පසු දිනට පහන් වන විට සිය ධර්මයෙහි පදනම වශයෙන් සැලකෙන කරුණු දෙකක් එනම් දුක ඇත්තේ යන සත්‍ය ද, ඉන් මිදීම සඳහා මඟක් ද ඇත්තේ ය යන සත්‍යය ද අවබෝධ කර ගත් සේක. ඒ වනාහි අන්ත දෙකක් බැහැර කෙරෙන මධ්‍යම මාර්ගයක් වීය. උන්වහන්සේ සිය ජීවිතයෙහි ඉතිරි පන්සාළිස් වසර තුළ උපදෙස් සොයා තමන් වෙත පැමිණි සියලු දෙනාට ම මේ මධ්‍යම මාර්ගය පහදා දෙමින් සංචාරක පැවිද්දකු ලෙස කල් ගෙවූ සේක.

බුදු බව සිදු කරන අත්දැකීම ලබා ගත් ඉක්බිතිව උන්වහන්සේ සැපත් වුණු බරණැස් නගරය වනාහි හින්දු බැතිමතුන් ගේ පූජා නගරය වීය. ඒ නගරය අසළ පිහිටි සාර්නාත්හි මිගදායෙහි දී උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන යන නමින් ප්‍රසිද්ධියට පත් සූත්‍රාන්තයෙන් මංගල ධර්ම දේශනාව පැවැත් වූ සේක. උන්වහන්සේගේ ධර්මයෙහි සිව් වැදෑරුම් ව්‍යුහය සරල ලෙස මෙහි ඉදිරිපත් කොට ඇත. එය සාමාන්‍යයෙන් ආර්ය සත්‍ය සතර ලෙස හඳුන්වනු ලැබේ. එනම්, දුක් ඇත්තේ ය යන සත්‍ය, දුකට හේතුවක් ඇත්තේ ය යන සත්‍ය, දුර දුරලිය හැක්කේ ය යන සත්‍ය, දුක දුරලීම සඳහා මාර්ගයක් ඇත්තේ ය යන සත්‍ය.

බුදුරජාණන් වහන්සේ ද තෘෂ්ණාව, ලෝභය හා ඊර්ෂ්‍යාව පෞද්ගලික වූ ද සාමාජික වූ ද දුකට බෙහෙවින් තුඩු දෙන්නේ යැයි ඉගැන් වූ සේක. යුද්ධයටත්, වහල් ක්‍රමයටත් විරුද්ධ ව දේශනා කළ සේ. සතුන් බිලි දී පැවැත්වෙන ඊනිසා ආගමික පූජා විධි අවඥාවට ලක් කළ සේක. ශාස්තෘවරයකු වශයෙන් උන්වහන්සේ ධනවතුන්ට හා බලවතුන්ට මෙන් ම, දිළින්දන්ට හා දුබලයන්ට ද එ සේ දහම් දෙසූ සේක. කුල භේදයෙහි පැවති පන්ති විෂමතා නොතැකූ උන්වහන්සේ උසස් කුල උපන්නවුන්ට මෙන් ම කසළ ශෝධකයන්ට ද පිහිට වූ සේක. තමන් අනුගමනය කිරීමට රිසි වූ හැම කෙනකු ම තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ඇතුළත් කර ගත් සේක. උන්වහන්සේ ඉඩම් හිමියන් හා කුමාරයන් අතර හට ගත් ආරවුල් සමථයකට පත් කළ සේක. මානසික වශයෙන් හෝ කායික වශයෙන් දුකට පත් වූවන්ට සුවයක් සලසා දීමට උන්වහන්සේ ඉදිරිපත් වූ සේක. එහෙත් උන්වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක් හෝ මිනිසත් බව ඉක්මවා ගිය පුද්ගලයෙක් හෝ නොවූ සේක. ප්‍රාතිහාර්ය පිළිබඳ ව උන්වහන්සේ තුළ විශ්වාසයක් නො වී ය. ස්වභාව ධර්මයෙහි ක්‍රියා පටිපාටිය වෙනස් කිරීමට හෝ උන්වහන්සේ තුළ උත්සාහයක් නො වී ය. හේතුව හා ඵලය අතර පවත්නා අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාව මිනිසුන්ට වටහා දීමට තැත් කළ උන්වහන්සේ අනිසි ප්‍රතිඵලයක් පිටුදකිනු සඳහා එහි හේතුව සොයා එය මුලසුන් කර දැමිය යුතු යැයි ද, උගන්වා වදාළ සේක.

සැනසිලිදායක තත්ත්වයක් ලබා ගත හැකි යැයි ද, ඒ තත්ත්වය මේ අත්බැව් හි දී ම මුළුමනින් ම අත්පත් කර ගත හැකි යැයි ද උන්වහන්සේ උගන්වා වදාළ සේක. එහෙත් එය දෙවියන්ට යාග පැවැත්වීමෙන් හෝ යාච්ඥා කිරීමෙන් හෝ නොව අනවරත උත්සාහයෙන් ද ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණත්වයට පත්කර ගන්නා වූ තෘෂ්ණාව නැතිකර ගැනීමෙන් අත් පත් කර ගත යුතු යයි ද උන්වහන්සේ උගන්වා වදාළ සේක.

නියත වශයෙන් ම අන්ධ භක්තියෙන් පිළිගත යුතු ආගමක් නොවේ බුද්ධ ධර්මය. අවබෝධ කර ගත යුතු හා නිරතුරුව විමසීමට ලක් කළ යුතු දහමකි. මාගේ වචන පරීක්ෂා කොට පිළිගත යුතුයි. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නො පිළිගත යුතු යයි බුදුන් වහන්සේ වදාළ සේක. කාලයාගේ ඇවෑමෙන් බුදු සමය කෙරෙහි ද සම්ප්‍රදාය පූජා විධි ආදියෙන් ඇතැම් විට සිදු වූ බලපෑම් දක්නට ඇත. එහෙත් ඒ ධර්මය සොයා ගත් සම්බුදු රජාණන් වහන්සේ එය ඉදිරිපත් කළේ පරීක්ෂණයට භාජනය කළ යුතු ක්‍රමයක් වශයෙනි ආත්ම විශ්වාසයත්, ඉවසීමත් බුදු දහමෙහි දක්නට ලැබෙන ප්‍රධාන ඉගැන්වීම් දෙකකි. බොහෝ අවස්ථාවල දී බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඔබ ඔබ ම උත්සාහ කළ යුතු යි. බුදුවරු වනාහි මාර්ග දේශකයෝ පමණත් වෙති.” එහෙයින් බුදු දහම තම මතයට අනුගාමිකයන් හරවා ගන්නා වූ ආගමක් නම් විය නොහැකි ය. ධර්මය “එතෙර යැම සඳහා පහුරක් මෙන්” යොදා ගන්නා ලෙස ඇත්ත වශයෙන් ම බුද්ධ ශ්‍රාවකයාට අනුශාසනා කොට ඇත. අරමුණ වූ නිවන ලබා ගත් කෙණෙහි පහුර අත් හළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම වචනය මෙසේ ය. අප්‍රමාද ව කටයුතු කරන්න. එළඹ සිටි සිහියෙන් යුක්තව සිටීම යනු ලෝකය පැහැදිලිව දැකීම ද අප ඇසුරු කරන්නවුන් පැහැදිලි ව ද, විනිශ්චයෙන්, ඊර්ෂ්‍යාවෙන් හා ද්වේෂයෙන් තොරව බැලීම ද වේ. මෙය කිරීම සඳහා අප අප ගැන ඇතුළත් ව දැන ගත යුතු ය. අප තුළ හට ගන්නා දුක් සැප දෙකෙ හි මුල ද දැන ගත යුතු ය.

වර්ෂ 1985 ප්‍රකාශිත බුද්ධ මාර්ගය කෘතියෙන් උපුටා ගන්නා ලදී.

වෙසක් පුර අටවක

මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ.
23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]