|
සුවපත් මනසක්
සුවබර දිවියක් - 53 කොටස:
සෘණාත්මක සිතිවිලි
හඳුනාගෙන සාමය හා යහපත පතන්න
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
අපට නපුරක් කර ඇති සියලු දෙනාම ලෝභය, තරහ, පිළිකුල, වෛරය, ඊර්ෂ්‍යාව හා බියෙන්
මිදෙත්වා! මේ මෛත්‍රි සිතිවිලි ඔවුන් වැළඳගෙන වසා ගනිත්වා! ඔවුන්ගේ සිරුරුවල හැම
සෛලයක් ම, හැම ලේ බිඳුවක් ම, හැම පරමාණුවක් ම, හැම අංශුවක් ම සහ ඔවුන්ගේ සිත්
මෛත්‍රී සිතිවිලිවලින් ශක්තිමත් වේවා! ඔවුන්ගේ සිරුරු සන්සුන් වෙත්වා! ඔවුන්ගේ සිත්
සන්සුන් වෙත්වා! සාමය හා සැනසුමත් ලබා ඔවුන්ගේ සිත කය පිරී යෙත්වා!
මෛත්‍රිය පුරුදු කිරීම නිසා අප ඇබ්බැහිව සිටි ඍණාත්මක (අසුබවාදී) සිතිවිලි රටාව
වෙනස් කොට ධනාත්මක (සුබවාදී) රටාවකට හැරවිය හැකි ය. මෛත්‍රී භාවනාව පුරුදු කරන විට
අපේ සිත් සාමයෙන් හා සතුටින් පිරී යයි. අපි සන්සුන් බවට පත්වෙමු. අපට සමාධිය ඇති කර
ගත හැකි ය. අපේ සිත සන්සුන්ව සාමකාමී වන විට අපගේ ඊර්ෂ්‍යාව, තරහ සහ අමනාපය දුරුවේ.
මෛත්‍රිය සිතින් සිතීමට පමණක් සීමා නොවේ. එය අප වචනයෙන් හා ක්‍රියාවෙන් ප්‍රදර්ශනය
කළ යුතු ය. ලෝකයෙන් වෙන්වී හුදකලාව අපට මෛත්‍රිය දියුණු කළ නොහැක. ඔබ සමඟ දිනපතා
සම්බන්ධකම් පවත්වන අය ගැන කාරුණික සිතිවිලිවලින් ඔබට ආරම්භ කළ හැකිය. ඔබට සතිමත් බව
තිබේනම් ඔබ සමඟ ගනුදෙනු කරන සැමදෙනා සමඟම දවසේ ඔබ අවදියෙන් සිටින සෑම මොහොතක ම මෙය
ප්‍රගුණ කළ හැකි ය. ඔබ කිසිවකු දකින විට, ඔබට මෙන්ම ඔහුටත් සතුට වුවමනා බවත්, දුක
මඟ හැරීමට අවශ්‍ය බවත් සිතන්න. අප හැම දෙනාට ම එසේ ය. සියලු සත්ත්වයන්ට ද එසේම ය.
ඉතාම කුඩා ජීවියා පවා අනතුරට බිය වෙයි. මේ පොදු සාධකය තේරුම් ගන්නා විට, අප
සියල්ලන් එකිනෙකාට කෙතරම් සමීප දැයි අපට දැකගත හැකි ය. මුදල් කවුන්ටරයෙහි සේවය කරන
කාන්තාව, අධිවේගී මාර්ගයෙහි ඔබ පසුකර යන මිනිසා, වීථිය හරහා ගමන් කරන තරුණ යුවළ,
උද්‍යානයේ කුරුල්ලන්ට කෑම විසිකරන මහලු මිනිසා, ආදී සියලු දෙන මේ පොදු ගණයට අයත්
ජීවියකු, කුමන හෝ තවත් ජීවියකු දකින හැම මොහොතක ම මෙය මතකයට ගන්න. ඔවුන්ට සතු, සාමය
හා යහපත පතන්න. එය ඔබගේ මෙන්ම ඔබ අවට සිටින්නන්ගේ ජීවිත ද වෙනස් කළ හැකි පුරුද්දකි.
මුලදී, මේ පුහුණුවට විරෝධතා නැඟෙනු ඔබට අත්දැකිය හැකි වේවි. ඇතැම්විට මෙය ආරූඪ
කරගත් හැසිරීමක් මෙන් පෙනිය හැකි ය. මෙබඳු සිතිවිලි ඇතිකර
ගැනීමට සිත පොළඹවා ගැනීම
අපහසු විය හැකි ය. ඔබේ ජීවිතයේ ම අත්දැකීම් නිසා සමහර කෙනකුට මෛත්‍රී කිරීම
පහසුවීමටත් තව අය කෙරෙහි එබඳු සිතක් ඇතිකරගැනීම අපහසු වීමටත් පුළුවන. උදාහරණයක්
වශයෙන්, දරුවන් වෙත මෛත්‍රිය දැක්වීම ඉතා පහසු නිරායාස කරුණකි. එහෙත් වෙනත් අය
කෙරෙහි එය එසේ නොවිය හැක ය. මේ පුරුදු සිතෙහි පරීක්ෂාවට ලක්කරන්න. ඔබේ ඍණාත්මක
සිතිවිලි හඳුනාගෙන ඒවා ටිකින් ටික කඩා බිඳ දමන්න. සතිමත් බව සමඟ ඔබට ඔබේ ප්‍රතිචාර
වෙනස් කළ හැකි වන්නේය.
මෛත්‍රී සිතිවිලි තවත් කෙනකුන් වෙත යොමු කිරීමෙන් ඇත්ත වශයෙන්ම ඔහු වෙනස් පුද්ගලයකු
කළ හැකි ද? මෛත්‍රිය පුරුදු කිරීමෙන් ලෝකය වෙනස් කළ හැකි ද? බෙහෝ ඈතක සිටින අය වෙත
හෝ ඔභ නො දන්නා අය වෙත මෛත්‍රී වැඩීමේ දී එහි ප්‍රතිඵල දැනගැනීමට මාර්ගයක් නැත.
එහෙත් මෛත්‍රී සිතිවිලි ඔබගේම සිතේ සාමය කෙරෙහි ඇති කරන බලපෑම් ඔබට දැකගත හැකිය.
වැදගත් වන්නේ අනුන්ගේ සතුට ගැන ඔබ කරන ප්‍රාර්ථනාව කොතරම් අවංක ද යන්නයි. ඇත්ත
වශයෙන් ම මෙහි ප්‍රතිඵලය ක්ෂණිකය. මෙය ලබාගත හැකි එකම ක්‍රමය ඔබ එය ක්‍රියාත්මක
කිරීම ය.
මෛත්‍රිය වැඩීම යනු අනුන්ගේ අයහපත් ක්‍රියා නො තකා හැරීම නොවේ. එම ක්‍රියාවලට
සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීමයි.
(බුදුන් විසූ කාලයෙහි) අභයරාජ නම් කුමාරයෙක් විය. දිනක් ඔහු බුදුන් වහන්සේ වෙත ගොස්
උන්වහන්සේ කිසිවිටක අන්‍යයන්ට සැරපරුෂ වන්නේ දැයි ඇසීය. මේ අවස්ථාවේ කුමාරයාගේ ළදරු
පුත්‍රයා ඔහුගේ උකුළේ හිඳ සිටියේ ය. බුදුරජාණන් වහන්සේ කුමාරයාගෙන් මෙසේ විමසූහ.
“කුමාරයාණෙනි, ඔබගේ ඔය ළදරු පුතා, කෝටු කැබෙල්ලක් කටේ දමා ගතහොත් ඔබ කුමක්
කරන්නේද?” “ස්වාමීනි, මම ඔහු මගේ කකුල් දෙක අතර තදින් රඳවාගෙන දබරැඟිල්ල ඔහුගේ කට
ඇතුළට දමා, ඔහු දඟලමින් අඬද්දී ම ලේ ගලමින් වුව ද කෝටු කැබැල්ල ඉවතට ගනිමි”යි
පිළිතුරු දුන්නේ ය.
“ඔබ එසේ කරන්නේ ඇයි?”
“මම මගේ දරුවාට ආදරය නිසයි. මට ඔහුගේ ජීවිතය බේරාගන්නට වුවමනායි”
“එසේම, කුමාරය, මට ද මගේ ශ්‍රාවකයන් කෙරෙහි සැරපරුෂ වන්නට සිදුවන්නේ ඔවුන් කෙරෙහි
නපුරු සිතකින් නොව කරුණාව නිසා ම යැයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.
උන්වහන්සේගේ ක්‍රියාවලියට මුල් වූයේ මෛත්‍රිය ම මිස කෝපය නොවේ. |