|
සුවපත් මනසක්
සුවබර දිවියක් - 52 කොටස:
සීමා රහිතව කරුණාව වැඩිය යුතු අය
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
මෛත්‍රිය වැඩීම...
“මම සිතින් මේ මුළු ලෝකුස සිසාරා බලන්නෙම්, තමාට වඩා වෙනත් කෙනකුට ආදරය කරන කිසිදු
සත්ත්වයකු දැක නැත්තෙමැ”යි බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කොට තිබේ. එබැවින් තමාට
ආදරය දක්වන කෙනකු විසින් මෙම මෛත්‍රී සිත වැඩිය යුතු ය.
පළමුකොට ඔබ වෙත ම මෛත්‍රී කරගන්න. ඒ, එම සිතිවිලි අන්‍යයන් සමඟ ද බෙදා ගැනීමේ අරමුණ
ඇතිව ය. මේ හැඟීම දියුණු කරගන්න. ඔබට ම සම්පූර්ණයෙන් කාරුණිකවන්න. ඔබ සිටින
සැටියෙන් ම පිළිගන්න. අඩුපාඩු ගැන සාමකාමීවන්න. අඩුපාඩු වුවද පිළිගන්න. මේ මොහොතේ
ඔබ සිටින අන්දම ගැන මුදු මොළොක් වී සමාව භජනය කරන්න. ඔබ මේ මේ විදිහට සිටිය යුතු
යැයි සිතිවිලි පැන නඟින්නේ නම් ඒවාට යන්න හරින්න. මිත්‍රශීලී හා කාරුණික සිතිවිලි
ගැඹුරට ම ඇතිකර ගන්න. මෛත්‍රී සහගත සිතිවිලිවල බලය ඔබේ සිතකය පුරා උතුරා යන්නට ඉඩ
හරින්න. එහි උණුසුම් කිරණ තුළ සන්සිඳියාවෙන් සිටින්න. මේ හැඟීම, ඔබගේ ආදරවන්ත අය
වෙතත්, ඔබ නොදන්නා අය වෙතත්, ඔබ උපේක්ෂාවෙන් සලකන අය වෙතත් එමෙන්ම ඔබගේ පසමිතුරු අය
වෙතත් මුදා හරින්න.
අප සෑම සියලු කෙනකුගේ ම සිත් ලෝභය, තරහ, අමනාපය ඊර්ෂ්‍යාව හා බිය යන ගතිවලින්
නිදහස් වේවා! මෛත්‍රී සහගත සිතිවිල්ල අප වැළඳගෙන වසාගනිත්වා! අපගේ සිරුරේ සෑම
සෛලයක් ම, සෑම ලේ බිඳුවක් ම, සෑම පරමාණුවක් ම සෑම අංශුවක් ම සහ අපගේ සිත් ද
මෛත්‍රියෙන් ශක්තිමත් වේවා!
මේ විශ්වය මුළුල්ලේ හැම දිසාවකම සිටින සියලු සත්ත්වයෝ යහපත් හදවත් ඇත්තෝ වෙත්වා!
ඔවුහු සතුටින් ජීවත් වෙත්වා! ඔවුන්ට වාසනාව ළඟාවේවා! ඔවුහු කාරුණික වෙත්වා! ඔවුන්ට
හිතවත් සුහද මිතුරන් ලැබේවා! සියලු තන්හි සිටින සියලු සත්ත්වයෝ අප්‍රමාණ වූ මාහැඟි
වූ අසීමිත වූ මෛත්‍රී සිතිවිලිවලින් පිරීයෙත්වා! ඔවුහු වෛරයෙන්, දුක්පීඩාවලින්
අසහනයෙන් නිදහස් වෙත්වා! ඔවුහු සුව සේ ජීවත් වෙත්වා!
අපේ ශරීර ශක්තිමත්ව තබා ගැනීම සඳහා අපි ඇවිදීම, දිවීම, පිහිනීම වැනි ව්‍යායාමවල
යෙදෙනවා මෙන්ම, අපේ හදවත් ශක්තිමත්ව තබා ගැනීම සඳහා නිතිපතා මෛත්‍රීය වැඩීම පුරුදු
කළ යුතු ය. මුලදී එය නිකම්ම ක්‍රියාකාරකම් රැසක් ලෙස පෙනී ගිය ද, නැවත නැවත මෙත්
සිතිවිලි සමඟ රැඳී සිටීම නිසා එය පුරුද්දක්, යහපත් පුරුද්දක් බවට පත් වේ.
කල්යාමේදී, අපේ හදවත් ශක්තිමත් වී මෙත් සිතිවිලි පහළ වීම නිරායාස ක්‍රියාවක් වේ.
හදවත් ශක්තිමත්වීමත් සමඟ දරදඬු පුද්ගලයන් වෙත වුවද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතු ව
සිටීමට ශක්තිය ලැබෙනු ඇත.
මගේ සතුරෝ සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් ජීවත් වෙත්වා! ඔවුන්ට අනතුරක් කරදරයක්
නොවේවා! වේදනාවක් නොවෙත්වා! හැමවිටම සාර්ථක වෙත්වා!
“සාර්ථකත්වය? අපගේ සතුරන් ය අප සාර්ථකත්වය පතන්නේ කෙසේ ද? ඔවුන් අපව මරන්නට තැත්
කළොත්?” සමහරු මෙසේ අසති, අපි අපගේ විරුද්ධවාදීන්ට සාර්ථකත්වය පතන විට ලෞකික
සාර්ථකත්වය හෝ අසනීප අශිෂ්ට යමකින් ලබන සාර්ථකත්වය හෝ අදහස් නොකරමු. අප අදහස්
කරන්නේ ආධ්‍යාත්මික සාර්ථකත්වයකි. අපේ සතුරෝ පැහැදිලි ලෙස ම ආධ්‍යාත්මික අතින්
සාර්ථක වූවෝ නොවෙති. එසේ වූවා නම් ඔවුන් අපට හිරිහැර වන ආකාරයට ක්‍රියා නො කරනු ඇත.
අපගේ සතුරෝ සුවපත් වෙත්වා’යි පතනවිට අප අදහස් කරන්නේ “මගේ සතුරෝ තරහ, ලෝභය,
ඊර්ෂ්‍යාව, නැත්තෝ වෙත්වා! ඔවුන්ට සාමය, සුවය හා සතුට ළඟාවෙත්වා” යන්නයි. කෙනකු
නපුරු හෝ අකාරුණික හෝ වන්නේ ඇයි? සමහර විට ඔහු ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ හැදී
වැඩෙන්නට ඇත. ඔහුගේ ජීවිතයේ අප නො දන්නා යම් යම් හේතු නිසා ඔහු හෝ ඇය හෝ නපුරු ලෙස
ක්‍රියා කරනවා විය හැකි ය. බුදුන් වහන්සේ අපට උගන්වා වදාළේ එබඳු පුද්ගලයන් පිළිබඳ
සිතන විට, අසාධ්‍ය රෝගයකින් පෙළෙන රෝගියකු ගැන සිතන ආකාරයට සිතන ලෙසයි. රෝගී වූ
කෙනකු කෙරෙහි අප තරහ ගන්නේ හෝ කලබල වන්නේ හෝ නැත. ඔවුන් කෙරෙහි කරුණාව හා අනුකම්පාව
දැක්වීමට අපට වුවමනා ය. ඇතැම්විට අපගේ හිතවතුන්ට වඩා අපේ කරුණාව අවශ්‍ය වන්නේ සතුරු
අයට ය. ඒ ඔවුන්ගේ දුක්පීඩා වඩාත් බරපතළ බැවිනි. මේ හේතු නිසා අප ඔවුන් කෙරෙහි සීමා
රහිතවම කරුණාව වැඩිය යුතු ය. අපගේ ලෙන්ගතු අය මෙන්ම ඔවුන් ද අපගේ හදවත් තුළට ඇතුළු
කර ගනිමු. |