[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සෑම මොහොතක ම සිහියෙන් සිටින්න

අපගේ පෞද්ගලික ජීවිතයේ දී හෝ සාමාජීය ජීවිතයේ දී හෝ වෘත්තීය ජීවිතයේ දී හෝ දවසේ වැඩවල දී කයින්, වචනයෙන් අප කරන සියලු දේ සිහියෙන් කිරීම සතර සතිපට්ඨානය වැඩීමයි. ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම, අඟපසඟ හැකිළීම, දිගු කිරීම, ඔබ මොබ බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම, නිහඬ වීම, ආහාරපාන ගැනීම, අනිකක් තබා මළ පහ කිරීම යනාදි හැම වැඩක් කරන මොහොතේ ම ඒ ගැන සම්පූර්ණයෙන් සිත යෙදිය යුතුයි. වෙන වචනවලින් කියතොත්, මේ මොහොතෙහි හෙවත් දැන් කරන වැඩෙහි ජීවත් විය යුතුයි. අතීතය හෝ අනාගතය ගැන කිසිසේත් නො සිති යුතු ය යනු මෙහි අදහස නො වේ. සැබැවින් ම දැන් කරන වැඩය හෙවත් මේ මොහොත පිළිබඳ අතීතයක් හෝ අනාගතයක් වේ නම් ඒ ගැන මොහොතට අනුව සුදුසු පරිදි සිතිය යුතු ය. මේ මොහොතේ අප බොහෝ විට ජීවත් වන්නේ අප කරන වැඩවල නොවේ. අපි අතීතයේ හෝ අනාගතයේ හෝ ජීවත් වෙමු. අප මෙතැන වැඩක යෙදෙන බවක් පෙනෙන නමුත්, අපේ සිතිවිලි පවත්නේ වෙන තැනක ය. සිතින් මවාගත් කරදරවල හෝ ප්‍රශ්නවල ය. බොහෝ විට මේ සිතිවිලි අතීතය පිළිබඳ හැඟීම්වලට හෝ අනාගතය පිළිබඳ කල්පනාවලට හා ප්‍රාර්ථනාවලට අයත් ය. එහෙයින් අපි මේ මොහොතේ කරන වැඩෙහි ජීවත් වන්මෝ නො වෙමු. එයින් සතුටු වන්නෝ නො වෙමු. මේ පවත්නා මොහොත හෙවත් දැන් කරන වැඩය සතුටට හේතු නො වන විට, එ වැඩේට සිත මුළුමනින් යොදන්නට බැරි වීම ස්වභාවික ය. බොජුන් හලක ආහාර ගන්නා මිනිසකු යමක් කියවනු සමහර විට අපට දක්නට ලැබේ. එවැන්නකු දුටු විට අප සිතන්නේ ඔහු අහර ගැනීමට පවා ඉඩක් නැති වැඩ අධික කෙනකු විය යුතු ය කියායි. ඔහු කරන්නේ අහර ගැනීම ද, නැතහොත් කියවීම දැයි අපට තේරුම් ගත නො හැකි ය. ඇතැම් විට ඔහු ඒ දෙක ම කරතැයි ද සිතිය හැකි ය. එහෙත් ඇත්ත නම් ඔහු එයින් එකක් වත් නො කරන බව ය. එකකින් වත් තෘප්තියක් නො ලබන බව ය. ඔහුගේ සිත කලබල සහිත ය. හේ දැන් කරන දෙයින් සතුටක් නො ලබයි. ඔහුගේ ජීවිතය මේ මොහොතට අයත් නො වෙයි. හේ ජීවිතයට මුහුණ නො පා මඟ හැරීමට අඥාන ලෙස, තමා නො දැන ම, යටි සිතින් උත්සාහ කරයි. (අහර ගන්නා අතර මිතුරකු සමඟ දෙඩීම නුසුදුසු යැයි මෙයින් අදහස් කරනු නො ලැබේ.) අප කොතරම් උත්සාහ දැරුව ද, ජීවිතය මඟ හරින්නට අපට බැරි ය.


අධි වෙසක් අමාවක

මැයි. 16 සෙනසුරාදා පූ.භා. 05.13න් අමාවක ලබා 17 ඉරිදා පූ.භා. 01.31න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]