පිරිවෙන් අධ්‍යක්ෂ ධුරයෙන් පිදුම් ලබන මාදෝවිට වජිරබුද්ධි නා හිමියෝ
රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති,
ආචාර්ය
පුස්සැල්ලාවේ ශීලවිසුද්ධි හිමි
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
(පිරිවෙන් - අභ්‍යන්තර පාලන )
පිරිවෙන් අධ්‍යාපනයේ නියමු වගකීම පැවරී ඇත්තේ තත් කාලීනව පත්වන අධ්‍යක්ෂ (පිරිවෙන්)
ධුරයට යි.
ඒ අනුව එකී ලක්දිව සම්භාව්‍යය අධ්‍යාපනයෙහි මුදුන් මල්කඩ ලෙස සැලකෙන පිරිවෙන්
අධ්‍යාපනයෙහි එකී භාරදූර වගකීම පසුගියදා හෝමාගම පුරාණ විහාරාධිපති, ලෝක තරුණ බෞද්ධ
සංඝ සභාවේ ජාතික මණ්ඩල සභික, හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, අධ්‍යාපන
අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි
මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, හේවාගම්
කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, පණ්ඩිත මාදෝවිට වජිරබුද්ධි නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පැවරුණි. සසුන් කෙත ශෝභාමත් කරමින් මනා
ශ්‍රමණශාරුප්‍යයකින් සුසැඳී උන්වහන්සේ පිළිබද මෙම ලිපිය පෙළ ගැස්වේ.
වසර 1968 ක් වූ ඔක්තෝබර් මස 11 වැනි දින ශ්‍රී ලංකාධරණී තලයෙහි ඌව පළාතේ බදුල්ල
දිස්ත්‍රික්කයට අයත් මාදෝවිට නම් සොඳුරු ගම් පියසෙහි විසූ එන්.එම්. ගුණසේකර සහ ටී.
ඇම්. ලීලාවතී නම් දම්පතීන්ට දාව පින්වත් කුමරකු ලෙසින් අප කතානායකයාණෝ මෙලොව උපත
ලැබූහ. පූර්වකෘත පුණ්‍යබල මහිමයෙන් ම කුඩා කල් සිට සසුන් ලැදි’ව 1983.01.13 වන දින,
වැලිමඩ බිබිළගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී, පණ්ඩිත රත්කරවුවේ මේධානන්ද නා
හිමි, මාදෝවිට පඤ්ඤාකිත්ති නා හිමි, පෝරේ සුමනසිරි නා හිමි, රුක්මලේ ධම්මකිත්ති නා
හිමි වැනි වියතුන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් “මාදෝවිට වජිරබුද්ධි” නමින්
සසුන් ගත වූහ. මාදෝවිට විද්‍යාලයෙන් බෝගහකුඹුර විද්‍යාලයෙන් මෙන්ම මාදෝවිට විජයාරාම
විහාරස්ථානයෙන් උගත් බණ දහමින් හා ශික්ෂණයෙන් ද පිරි උන්වහන්සේ ඒ වන විට පහළොස්වැනි
වියේ පසුවිය. වසර 1986 අගභාගයේ දී ස්වකීය ඥාතිවරයන් වහන්සේ නමක් වූ විශ්‍රාමික
පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට පඤ්ඤාකිත්ති නායක
ස්වාමිපාදයන් වහන්සේගේ අනුශාසකත්වය
ඇතිව හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කළ මාදෝවිට වජිරබුද්ධි ස්වාමින් වහන්සේ,
බෙල්ලන ධර්මපාල පිරිවෙන, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන යන විද්‍යස්ථානයන්ගෙන්
ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට දැනුමින් කුසලතාවෙන් ද පිරිපුන් පඬිරුවනක් බවට පත් වූහ.
1990 වර්ෂයේ දී උගත් බණ දහමින් යුතුව වියත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේ කිහිප
නමකගේම ආශීර්වාදයෙන් යුතුව කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ රාජමහා
විහාරස්ථ සීමා මාලකයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උතුම් උපසම්පදාව ලබන්නට භාග්‍ය
සම්පන්න වූ අප කතානායකයා පිළිවෙළින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී
උපාධියෙන් ද, කැළණිය විශ්වවිද්‍යාලය හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන්
ශාස්ත්‍රපති උපාධි ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද
මැනවින් සමත් වන්නට වූයේ තවතවත් ස්වකීය පැවිදි දිවිය අර්ථවත් කර ගනිමිනි.
ස්වකීය ශාස්ත්‍රීය අධ්‍යාපනික සේවාව අරඹමින් පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි
උපගුරුවරයකු ලෙස වර්ෂ 1998 දී එක්වන උන්වහන්සේ එහිම නියෝජ්‍ය පරිවේනාධිපතීන් වහන්සේ
වශයෙන් වර්ෂ 2000 දී පත්වන ම ය. ස්වකීය අධ්‍යාපනික මෙහෙවර එක් ආයතනයකට පමණක් සීමා
නොවන පරිදි වර්ෂ 2010 සිට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරට හා පසුව
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරට පත් ව ලක්දිව සෑම පළාතක්ම ආවරණය වන
පරිදි ඒ හරහා සේවය කරමින් කා අතරත් “අපේ මාදෝවිට හාමුදුරුවෝ ” යන ගෞරවාන්විත
ජනාදරයට පත් වීමට සමත් වූහ.
තම සඟ පරපුරෙන් උරුම වූ දායාදයන් රක්ෂා කරමින් උතුම් සඟ සෝභන ගුණයෙන් ශාසනික වශයෙන්
මෙන්ම සාමාජීය වශයෙන් ද විවිධ තනතුරු දැරීය. දෙස් විදෙස් ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු
කරමින්, ලේඛනයෙන් මෙන්ම භාෂණයෙන් ස්වකීය ප්‍රතිභාව සමාජානුසරණය කරමින් සසුනඹරෙහි
දිලෙන පඬිරුවනක් විලෙස, අක්‍රෝධයෙන්, කායික මානසික නීරෝගිතාවෙන්, සත් සිත් දණන්
පුබුදුවන සුපැහැදුණු ඉන්ද්‍රියයන්ගෙන්, දයාවෙන්, අනුකම්පාවෙන්, ඉවසීමෙන්,
සියල්ලන්ගේම ජනප්‍රසාදයෙන්, සබුද්ධිමත් භික්ෂූ ආකල්පයෙන් වැඩ වෙසෙන අප කතානායකයාණන්
වහන්සේ, පිරිවෙන් අධ්‍යාපනය සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
මෙරට පිරිවෙන් අධ්‍යාපන ආයතන පැවිදි, ගිහි ගුරු භවතුන්, ශිෂ්‍ය ප්‍රජාව, මෙන්ම
මාණ්ඩලික නිළධාරීන් ප්‍රමුඛව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහිත විධිමත්
අධ්‍යාපන ප්‍රවාහයකට නායකත්වය දුන් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධියට කටයුතු
කළහ. වූ ශාසනයෙහි උල්පත ලෙස සැලකෙන පිරිවෙන් අධ්‍යාපනයෙහි අරමුණු සාධනය උදෙසා
කටයුතු කරනු පිණිස, හෝමාගම පුරාණ විහාරාධිපති, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාතික
මණ්ඩල සභික, හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා
නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, හේවාගම් කෝරළයේ
ප්‍රධාන සංඝනායක, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අභිනව,
අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), ශාස්ත්‍රපති පණ්ඩිත මාදෝවිට වජිරබුද්ධි නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේට ලෝ සසුන් වැඩ පිණිස නොනිමි මෙහෙවරක යෙදෙමින් හෙට ලොව
ඒකාලෝකමත් කරන්නට කන්ද උඩරට විරාජිත උතුම් දළදා සමිද්‍රන්ගේ ශුභාශීර්වාදය තිසරණාධාර
පෙරටුව ප්‍රාර්ථනය කරමි. |