[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අරිය වචනයේ සංස්කෘතික වැදගත්කම

අරිය වචනයේ සංස්කෘතික වැදගත්කම

ඉන්දියාවේ මානව සංස්කෘතිය පිළිබඳව විද්වතුන් විසින් පර්යේෂණාත්මක ව ප්‍රකාශයට පත්කර තිබෙන කරුණු අනුව ආර්ය යන්න ඉපැරණි ශ්‍රේෂ්ඨ අපරාධීන සභ්‍යත්වයක් ඇති මනුෂ්‍ය වර්ගයක් සඳහා ව්‍යවහාර කළ සංස්කෘතික වචනයකි.

අවුරුදු දෙතුන් දහසකට පෙර මධ්‍ය ආසියාවෙන් භාරත දේශයට සංක්‍රමණය වූ ශිෂ්ට සම්පන්න, එහෙයින්ම බලසම්පන්න වූ මනුෂ්‍ය කොට්ඨාසයක් ගංගා නදී දෙපස වාසග්‍රහණය කොට එහි විසූ වැසියන් යටත් කිරීමෙන් හා පලවා හැරීමෙන් ජනපද රාජධානි පිහිටුවා සිදුකරන ලද ව්‍යාප්තිය ‘ආර්යාවතරණය’ නමින් ප්‍රකාශිත ව ඇත. එහෙයින්ම උතුරු ඉන්දියාව ‘ආර්ය වර්කය’ නමින් එදා භාවිත ය. එහි විසූ මගත් ජනයා ගති පැවතුම්, සිරිත් විරිත් හා කතාබහ අතින් ශිෂ්ටසම්පන්න වූ බැවින් ඔවුන් ආර්ය යනුවෙන් හැඳින්වූ අතර කලින් එහි විසූ ජනයා දාස, වහල් නමින් ව්‍යවහාර කරනු ලැබූහ. නිදහස්, ස්වාධීන, ශිෂ්ට උතුම් යන අරුතින් මානව වර්ගයකට ව්‍යවහාර කළ “ආර්ය” යන වචනය කල්යෑමෙන් මානවයන් වශයෙන් ඇතැමුන් කෙලෙසී ගියත් ධර්මතා වශයෙන් උත්තම අර්ථයක් ගෙනදෙන හෙයින් බුදුරජාණන් වහන්සේ විසින් තම අනුගාමික ශ්‍රාවක සමාජයත්, අනුශාසනා දහම් මගත් “අරිය” යන නමින් ව්‍යාප්ත කිරීමට අදහස් කළ සේක. එය මානව සංස්කෘතියේ පුනරුත්තාපනයක් වශයෙන් සැලකිය යුතු වේ. එනම් ආර්ය සමාජය පිහිටුවීමයි.

ලෝකයේ මානව වර්ගීකරණයට අනුව, චින්තනය, භාෂණය, හා ක්‍රියාකරණය අතින් ද කායික හා වාචසික සමානතා අතින් ද උතුම් නිවහල් ගති පැවතුම් ඇති, ආවේණිකව පැවත එන ජනයා “ආර්ය” නමින් ආසියාවේ හා යුරෝපයේ ව්‍යාප්ත වූ අතර, ඔවුන්ගේ භාෂා ‘ආර්ය’ භාෂා ගණයට අයත් විය. බුදුසමයට අනුව බුදුුරජාණන් වහන්සේ පිහිටුවා වදාළ “ආර්ය සමාජය” පිළිබඳ තාත්වික විවරණයක් කළ යුතුය. ආර්ය වුවත් අනාර්ය වුවත්, මනුෂ්‍ය වුවත් සියලු සත්ත්වයන්ගේ පරම අපේක්ෂාව විමුක්තියයි, මෝක්ෂයයි, මිදීමයි. දුකෙන් කරදරයෙන් මිදීමයි. ලණුවෙන් බැඳී හෝ කූඩුවල සිරවී හෝ සිටින සියලුම තිරිසන් සතුන් පවා නිතර තැත් කරන්නේ, පතන්නේ ඉන් මිදී යෑමයි. තිරිසනුන් ද එසේ නම්, මිනිසුන් ගැන කියනුම කවරේද? සදාතන සුවයකැයි දෙව් සැප විඳින දෙවියන්ද? බවුන් වඩන බඹුන් ද එහි අනිත්‍ය බව අන්තයේදි පෙනී යන විට මෝක්ෂය පැතීම ධර්මතාවකි. මෙසේ පවතින සංසාරයේ සංසාරික සත්ත්වයන් ඒකාන්තයෙන් දුකින් මිදෙන තත්ත්වය වූ නිවන අත්පත් කර ගැනීමට හෙවත් සාක්ෂාත් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළ මඟ ගමන් කිරීම ආර්යයන්ගේ හෙවත් ඒ මඟට පිළිපන් උතුමන්ගේ පරමාර්ථය යි. ඒ සඳහා අනුගමනය කළ යුතු එකම මඟ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය’ නමින් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එය වනාහි රෝගයක් සංසිඳවීමට, සුවවීමට අවශ්‍ය වූ නියම ඖෂධය මෙනි. එය වනාහි මිනිසාගේ සිත, කය, වචනය යන ද්වාරත්‍රය මෙහෙවීය යුතු හැටි පෙන්නුම් කරන යාන්ත්‍රික උපකරණයක් බඳු ක්‍රියාපද්ධතියකි.

ආර්යයන් වර්ග කිරීමේ දී බුදුසමයෙහි අභේද්‍රෙපචාර වශයෙන් සියලුම බුද්ධ ශ්‍රාවකයන් ‘ආර්ය’ වශයෙන් ව්‍යවහාර වන අතර එය සතර ආකාරයකින් වර්ග කොට ඇත්තේ ය. එනම් ආචාර අරිය නම්, අනාචාරය අත්හැර බුද්ධාදී ආර්යයන් විසින් පසස්නා ලද නිදොස් ආචාරසම්පත්තියෙහි යෙදුණු පුද්ගලයෝ ය.

දස්සන අරිය නම් දුටුවන් පහදින රූසපුවෙන් සහ ඉරියව්වලින් යුක්ත වූ පුද්ගලයෝය. ලිංග අරිය නම් පාසිවුරු දැරීම් ආදියෙන් ආර්යයන් මෙන් හැසිරෙන දුශ්ශීල අලජ්ජී පුද්ගලයෝය.

පටිවේධ අරිය නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට සෝවාන් ආදි මඟඵල ලත් උතුමෝය. මාර්ග ඵල නොලත් සිල්වත් නිර්දෝෂී පුද්ගලයෝ මෙයින් ආචාර අරිය කොටසට අයත් වෙති.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරිනි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස වෙසක් පුර අටවක පෝදා පත්‍රයේ පළවේ.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]