[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මිනිසත් ගුණ පිරුණු මිනිසෙක් වන්න

මිනිසත් ගුණ පිරුණු මිනිසෙක් වන්න

“මහරජ, නුඹගේ වංශය ශාක්‍ය වංශය යි. එහෙත් මගේ වංශය බුද්ධ වංශය යි.” කුල භේදය පිළිබඳ අදහස් දැක්වීමේ දී අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතය කෙරෙහි මතකය අවදි කළ යුතු ම ය.

උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු තම නෑදෑ පිරිවර විසූ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ දී සුද්ධෝදන රජතුමා පැමිණ තම වංශයට නිගා කරමින් පිඬුසිඟා නොයන ලෙසත්, සංඝයා වහන්සේට දානයක් රජමාළිගාවේ ම පිළියෙළ කර දෙන බවටත් පැවසූ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මෙය යි.

එබැවින් මෙම කුල භේදය බුද්ධ කාලය දක්වාම දිවයන බව අපට පැහැදිලි වේ. පසුකාලීන ව දඹදිවෙන් හෙළදිව වෙත සම්ප්‍රාප්ත වූ මෙම කුල පරම්පරා අදටත් ගැමි ජනයාගේ හදවත් තුළ කිඳාබැස ඇති බව නොරහසකි.

මෙම ලිපිය කියවන ඔබ කිසියම් කුලයකට අයත් කෙනෙක් වනු නිසැක ය. එම කුලයට අයත් වීම නිසා යම් යම් අවස්ථාවල දී ඔබ ආඩම්බර වන්නට ඇත. එසේත් නොමැති නම් එක් ස්ථානයක එක් පිරිසක් ඉදිරියේ දී අභිමානයෙන් සිට තවත් ස්ථානයක තවත් පිරිසක් ඉදිරියේ හීනමානයෙන් සිටින්නට ඇත. හීනමානයෙන් සිටි අවස්ථාවල දී සමාජය කෙරෙහි අමනාපයක් ද ඔබේ සිතෙහි පැවතුණා වන්ට ඇත.

කුලය දැකිය හැකි සත්‍ය දෙයක් නොව දෘෂ්ටි මාත්‍රයකි. එම දෘෂ්ටිය පරම්පරාවෙන් පරම්පරාවට දෙමව්පියන් විසින් දරුවන්ගේ සිත් තුළට ඇතුළු කරනු ලබයි. එවිට දරුවෝ ද නොදැනුවත්ව ම එම දෘෂ්ටිය පිළිගෙන අපි අසවල් කුලයට අයත්වෙමු’යි විශ්වාසයට එළඹෙති.

ඕනෑම අසත්‍යයක් සත්‍ය බවට විශ්වාස කරගෙන කලක් පවතින විට එය විශ්වාස කරන්නාගේ සිත එයට නැඹුරු වී එයින් බැඳෙයි. ඉන්පසු ඔහුගේ හෝ ඇයගේ හෝ හැසිරීම, ක්‍රියාවන්, සිතුම් පැතුම් ආදිය ද එම බැඳීමට අනුගත වෙයි. ඇතැම් කුලවල සිරිත් විරිත් හා කතා ශෛලිය පවා විශේෂත්වයක් ගන්නේ එම බැඳීම තුළ දීර්ඝකාලීන ව වාසය කිරීම නිසාවෙන් මිස කුලය එම මනුෂ්‍යයන්ට ආවේණික නිසා නොවේ.

පුරාණ කාලවල කසේ වුව ද වර්තමානයේ දී කුල මඟින් සිදුකෙරෙන ප්‍රධානම කාර්යය වන්නේ මනුෂ්‍යයා උස් පහත් ලෙස වෙන් කර තැබීම ය. මෙහි පවතින විනාශකාරී භාවයත්, මෙය මනුෂ්‍ය සංහතිය තුළින් දුරු වී යායුතු බවත් අපට නොපෙනෙන්නේ කුලය උපතින් ම මිනිසාට උරුමවන බවට පවතින විශ්වාසය හේතු කොට ගෙන ය.

අභාග්‍යයකට මෙන් මෙම මිථ්‍යා විශ්වාසයේ පැවැත්මට ඇතැම් ආගම්වලින් ද සහය ලැබෙයි. කුල ධර්මය ආරක්ෂා කරමින් තමාගේ කුලයට අයත් යුතුකම් සහ චාරිත්‍ර වාරිත්‍ර නොපිරිහෙලා ඉටු කිරීමෙන් ස්වර්ගයට යෑමේ මාර්ගය විවර වනු ඇති බවට පිළිගන්නා ආගම් පවතී. ආගමේ නාමයෙන් මියයාම ද අනුමත කරන ආගම් තිබේ. උස් පහත් කුලවල ඉපදෙන්නේ පෙර ආත්ම භවයන්වල දී සිදුකරනු ලැබූ පින් පව් අනුව යැයි තවත් ආගමක කියවේ. මෙම ඉගැන්වීම් ධර්මය නොවන බව වටහා ගැනීමට එම දෘෂ්ටීන්ගෙන් බැඳී සිටින තැනැත්තන් අසමත් වේ. එබැවින් කුලයත්, ආගමත් අතර ද්වන්ධ සටනක යෙදෙමින් එම ද්විත්වය ම බේරා ගැනීමට නොයෙකුත් ආත්ම වංචනික තර්කවල යෙදීමට ඔවුන් පෙළඹේ.

භේදය යනු බිඳීම ය. වෙන් කිරීම ය. වෙනස් කිරීම ය. කුලයෙහි නිසර්ගයෙන් ම මෙම භේදය ඇති බවට සැකයක් නොමැත. කුලයෙහි පවතින්නේ භේදකාරී ස්වභාවය පමණක් නොවේ. කුලය විනාශකාරී දෙයක් ද වෙයි. කුලය නිසා හටගන්නා චිත්ත වේදනාව හේතුකොට ගෙන විනාශය සිදුවෙයි.

“රේක්ක දැත්තෙන් ඇතිවන රිදුම දන්නේ පස යට සිටින මැඬියා ය.” යනුවෙන් ප්‍රසිද්ධ ඉංගී‍්‍රසි කියමනක් තිබේ. කුලය නිසා හටගන්නා රිදුම් දන්නේ පහත් යැයි සම්මත පීඩිත කුලයෙහි උපන් තැනැත්තන් පමණි. ඔවුන්ගේ එම වේදනාව පහසුවෙන් වෛරයට පරිවර්තනය වන්නකි. එනම් ඔවුන් එම පීඩාවන් විඳින්නේ ඉඩක් ලැබුණු වහාම පිළිගැනීමේ අභිලාෂයෙනි.

ඒ අනුව එම වෛරය ඇති කරවනු රිසි පුද්ගලයන් හට මෙවැනි පීඩිතයන් ඉතා පහසුවෙන් අත කොළුවක් ලෙස යොදාගත හැක. වර්තමානයේ නිතර අසන්නට ලැබෙන දේශපාලන සිදුවීම් මෙන් ම ඛේදජනක මනුෂ්‍ය ඝාතන සඳහා ද තුඩුදුන් කරුණු සූක්ෂමව සලකා බැලීමේ දී පෙනී යන්නේ තම වෛරය පිරිමසාගෙන ඇති බව ය. ශ්‍රී ලංකාව වැනි කුලයන් පිළිබඳ සලකන රටවල බොහෝ විට තරුණ තරුණියන් සිදුකර ගන්නා සංවේගජනක සියදිවි නසා ගැනීම් සඳහා ද මූලික වශයෙන් හේතුසාධක වන්නේ කුලය බව කිවහොත් එය වැරදි නොවේ. මම අසවල් කුලයට අයත් වෙමි’යි සිතන අපි සෑමදෙනම එක එල්ලේම මේ කාරණා සම්බන්ධයෙන් වගකිව යුත්තෝ වෙමු. එනම් කුලය පවතින්නේ කුලයක් ඇතැයි නිගමනය කරන්නවුන් බහුල නිසාවෙනි.

කුලයෙහි පවත්නා මෙම අර්ථ ශූන්‍ය භේදකාරී විනාශකාරී ස්වභාවය දකින බොහෝ දෙනා කුල භේදය නැති කරන්නට උත්සාහ කරති. ඒ සඳහා ව්‍යාපාර ආරම්භ කරති. සමහර අය කුලය ම නැතිකර දමන්නට පෙළඹෙන අවස්ථා ද දක්නට ලැබේ. එහෙත් එම සෑම ප්‍රයත්නයක් ම මෙන්ම සෑම ව්‍යාපාරයක් ම අවසන් වන්නේ අසාර්ථක වීමෙනි.

කුලයක් ඇති බව සිතීම පවා නුසුදුසු ය. එනම් අප යම් කුලයකට අයත් යැයි අමතක කළහොත් පමණි අපට කුල භේදය පිටුදැකිය හැකි වන්නේ, නැති කළ හැක්කේ තිබෙන දෙයක් පමණි. නැති දෙයක් නැති කළ නොහැකි ය. නිදසුනක් ලෙස ගතහොත් පෙනෙන්නට තිබෙන ගොඩනැඟිල්ලක් කඩාබිඳ දැමීමට පුළුවන. එහෙත් සිතෙන් පමණක් මවාගත් ගොඩනැඟිල්ලක් කඩාදැමිය හැකි ද?

කුලය ද සත්‍ය වශයෙන් ම නොමැති දෙයක් නිසා එය මොන යම් උපක්‍රමයකින් හෝ ව්‍යාපාරයකින් හෝ නැතිකළ නොහැකියි. එහෙත් එහි ඇති අසත්‍යතාවය, රැවටිල්ල දුටු විගස එය තමා තුළින් සම්පූර්ණයෙන් ම අතුරුදහන් වෙයි. ඉන්පසුව ඔහුට කුලයක් නැත. අන් අය තුළ ද කුලයක් ඔහු නොදකියි.

එවිට, කුලය නමැති බැම්මෙන් මිදුණු මෙම මිනිසා කුලයෙන් බැඳුණු සමාජයෙහි ජීවත් වන්නේ උමතු වූවන් රැසක් මැද සිහියෙන් යුත් මනුෂ්‍යයකු ජීවත්වන අයුරිනි. එවැනි තැනැත්තකු තේරුම් ගැනීමට උමතු සමාජය අපොහොසත් වන්නට පුළුවන. එහෙත් සමාජයට අවශ්‍ය ම වන්නේ මෙවැනි පුද්ගලයන් මෙන්ම පිරිහෙමින් පවතින සමාජයකට ඇති එකම පිහිට වන්නේ මෙම තැනැත්තන් බව කිව යුතු ය.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]