[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උතුම් ධර්මය ජීවිතයට පුරුදු කරමු

උතුම් ධර්මය ජීවිතයට පුරුදු කරමු

යමෙක් ඒ ධර්ම විනයට ගරු කරයි ද, ඔහු ශාස්තෘන් වහන්සේ ට ගරු කරන්නෙකි. යමෙක් ඒ ධර්ම විනය පුද දෙයි ද, හේ ශාස්තෘන් වහන්සේ පුද දෙන්නෙකි

කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයෙහි, අකලට පිපී ගිය මල් ඇති, යමක සාල වෘක්ෂයන් අතර පැනවූ යහනේ වැඩහිඳිමින්, පිරිනිවන් වඩින්නට සැරසෙන අප මහා කාරුණික ගෞතම සම්මා සම්බුදුරජාණෝ, අග්‍ර උපස්ථායක අනඳ තෙරුන් අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්දය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. දැන් මේ ශ්‍රී සද්ධර්මය අතීතයට ගිය ශාස්තෘවරයකුගේ ය. අප හට දැන් ශාස්තෘන් වහන්සේ නැතැ’යි. පින්වත් ආනන්දය, එය ඒ අයුරින් නොදැක්ක යුතු ය. ආනන්දය, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද, යම් විනයක් පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් ඒ ධර්මයත්, විනයත් ඔබට ශාස්තෘ වන්නේ ය.”

මේ අප සම්බුදුරජාණෝ දේශනා කළ දෙය යි. ශ්‍රී මුඛ බුද්ධ වචනය යි. ශාස්තෘන් වහන්සේගේ අවවාදය යි. උතුම් බුද්ධ ආඥාව යි. ඒ එසේ නම්, අප හට මේ ගැන අන් පැහැදිලි කිරීමක් කුමකට ද?

අප හට ශාස්තෘවරයෙක් ඇත්තේ ම ය. අප අසරණ වූ මහා අවාසනාවන්තයෝ නො වේ. අපගේ ඒ ශාස්තෘවරයාණෝ උතුම් ධර්ම විනය යි. යමෙක් ඒ ධර්ම විනයට ගරු කරයි ද, ඔහු ශාස්තෘන් වහන්සේ ට ගරු කරන්නෙකි. යමෙක් ඒ ධර්ම විනය පුද දෙයි ද, හේ ශාස්තෘන් වහන්සේ පුද දෙන්නෙකි.

මේ ධර්ම - විනය වනාහී අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේත්, ඒ තිලෝගුරු මුනිරජුන් ගුරු තන්හි පුද සත්කාර කළ දෙයයි. ඒ එසේ නම්, ශ්‍රාවකයෝ ධර්ම විනයට කෙසේ ගරු කළ යුත්තෝ ද? කෙසේ පුද සත්කාර කළ යුත්තෝ ද?

මාණික්‍යයක අගය වහා හඳුනා ගන්නා දක්ෂ ව්‍යාපාරිකයන් සේ, පින් ඇති ඤාණවන්තයෝ මේ ධර්ම - විනයේ අගය හඳුනාගත්තෝ ය. ඒ අනර්ඝ වූ ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ඔවුන් හට අත්හැරීමට, කැප කිරීමට නො හැකි දෙයක් නොමැත්තේ ය. ඒ ගැන ධර්මයේ මෙසේ සඳහන් වේ.

“යමෙක් ශරීරයේ අංග රැක ගැනීමට කැමැත්තෙන් ධනය අත් හරින්නේ ය. ජීවිතය රැක ගැනීමට අවැසි වූ විට ශරීරයේ අංගත් අත් හරින්නේ ය. ධර්මය සිහි කරන කෙනා ඒ ධර්මය වෙනුවෙන් ධනය වුව ද, ශරීරයේ අංග වුව ද, ජීවිතය වුව ද අත් හරින්නේ ය.”

එය එසේ ම ය. සැවැත් නුවර හතළිස් කෙළක් ධනය ඇති සිටු පුත්‍රයෙක් වාසය කළේ ය. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය ඇසූ ඒ සිටු පුත්‍රයා, බුදු සසුනේ මහත් සේ සිත පහදවා ගත්තේ ය. කලක් ගත වෙද්දී ඔහුට මෙබඳු සිතක් ඇති විය.

“මේ ගෘහ ජීවිතය නම්, සම්බාධයෝ බහුල වූවක්. කෙලෙස් ම උපදින මාවතක්. මේ ගෘහ ජීවිතයේ සිටිමින් ම නම් මා හට පිරිසුදු බඹසරක් සුරකින එක පහසු දෙයක් නො වේ. හැබැයි පැවිද්ද නම් අහස වගේ. නිදහස් ඇත්තෙන්ම මාත් ඒ උතුම් පැවිදි දිවියට පත් වෙන්නට ඕනෑ.”

ඒ සිටු පුත්‍රයා තම මහා ධනස්කන්ධය අත් හළේ ය. ඥාති සමූහයා අත් හළේ ය. යොවුන් වියේ සිටි තම පි‍්‍රය බිරිඳ ද අත් හළේ ය. යදම් සිඳගෙන නිදහසේ වනයට පිවිසෙන මහා හස්තිරාජයකු සේ ඒ සියල්ල අත්හැර ධර්මයේ හැසිරෙන්නට නිදහස සොයා උතුම් පැවිද්දට පත්විය. පැවිදි උපසම්පදාව ලබා, ධර්ම - විනය ඉගෙනගත් උන්වහන්සේ සැවැත් නුවරට නුදුරු අන්ධ වනයේ වැඩ වාසය කළේ ය. කුටුම්බියපුත්ත තිස්ස තෙරුන් නමින් උන්වහන්සේ ප්‍රකට විය. සතළිස් කෙළක් මහා ධනයට අධිපතිනිය බවට පත් වූ ඒ තෙරුන්ගේ ගිහි කල බිරිඳ හිතු මනාපයේ ජීවත් වන්නට විය. නොයෙක් පුරුෂයන් ඇසුරු කරමින් අනාචාරයේ හැසිරෙන්නට විය. නොයෙක් පුරුෂයන් ඇසුරු කරමින් අනාචාරයේ හැසිරෙන්නට විය. මේ අතරේ ඈට මෙබඳු බියක් ඉපදුණි.

‘හප්පා මා දැන් ඉන්නේ කොයිතරම් විනෝදෙන් ද? කොයිතරම් නිදහසේ ද? පැවිද්දට ගිය මගේ මනුස්සයා බැරි වේලාවත් ආයේ සිවුරු හැර ආවෝතින්, මගේ මේ නිදහස නැතිවෙලා යාවි. ඒ හන්දා ඔය කැලෑවේ ඉන්න අතරේ, කැලෑවේ දී ම ඉවරයක් කරලා දැම්මානං හොඳයි.

මෙසේ සිතූ ඇය දරුණු සොරමුලකට තම ස්වාමියාගේ හැඩහුරුකම කියා පිටත් කොට හැරියා ය. අන්ධ වනයේ භාවනානුයෝගී ව වැඩවසන භික්ෂූන් අතරේ ඒ තිස්ස තෙරුන් හඳුනාගත් සොරු උන්වහන්සේ ඝාතනය කිරීමට සැරසුණි. ඒ තිස්ස තෙරණුවෝ සොරමුල අමතා මෙසේ කීහ.

“මම මේ පැවිද්දට ආවෙත්, මේ වනයට ආවේත් එක ම අරමුණක් ඉටු කර ගන්නටයි. මට ඒ දේ කර ගන්නට තාම බැරි වුණා. ඔබලාට පුළුවන් නම් හෙට අරුණ නැඟෙන තෙක් මට කාලය දෙන්න. ඉන් පස්සේ ඔබේ අදහස ඉටු කර ගන්න.”

“බෑ... බෑ... උඹ රාත්‍රියේ අපට වංචා කොට පැන යාවි. කල් දෙන්නට විදියක් නෑ. උඹ පැන යන්නේ නෑ කියලා අපි කොහොම ද සහතිකේට ම විශ්වාස කරන්නේ?” යි සොරු මොර දෙන්නට විය.

ඒ තෙරුන් වහන්සේ නිහඬව ම ළඟ තිබූ තරමක් විශාල ගලක් ගෙන, දෙපා දිග හැර රුක් සෙවණේ වාඩි විය. ඒ ගලෙන් දණහිස් කුඩු වෙන්නට තලා දැමීය. විස්මයෙන් ඒ දෙස බලා සිටි සොරු අමතා “දැන් ඔබලාට ඒ ගැන සහතික වෙන්ට පුළුවන් නේ ද?” යි විමසී ය. ඒ සොරු නිහඬ විය.

ඒ සවස් කාලයේත්, නිහඬ රාත්‍රියේත් ධර්මයේ හැසිරීම වෙනුවෙන් තම දෙපා බිඳගත් තිස්ස තෙරුන් ඒ වේදනාවට සිත යට වෙන්නට නො දී ධර්මය ම සිහි කළේ ය. හෙට දිනයේ උදෑසන ම තමා ඝාතනය වන බව දැන දැන උන්වහන්සේට බියක් නැත්තේ ය. තම පි‍්‍රයාදර බිරිඳ මෙසේ කළේ යැයි දුකක්, කනගාටුවක් නැත්තේ ය. ‘හනේ මට උදේ වෙද්දී ධර්මාවබෝධ කර ගන්නට බැරිවේවිවත් ද?” යැයි සිතක් නැත්තේ ය.

අඳුරු රාත්‍රිය ගෙවී ගොස් අරුණ නැඟෙන විට ම, මේ දුක් සහිත සසරේ තමා ඇදගෙන ආ අවිදු අඳුර නසා ඒ තිස්ස තෙරණුවෝ උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළ සේක. මරණය නම් වූ රෝගයෙන් සුවපත් වූ ඒ කුටුම්බිය පුත්ත තිස්ස මහරහතන් වහන්සේ සොරුන්ගේ අසිපත් පහරින් පිරිනිවන් පා වදාළ සේක.

අපගේ මේ සිරි ලක්දිව ද ධර්ම - විනයට දිවි පිදූ එබඳු මහා පින් ඇති වීරෝදාර පුරුෂයන් වැඩ සිටියෝ ම ය. මහා වනයේ වැඩ සිටි ඒ තෙරුන් වහන්සේ එක්තරා සොර මුලකට දැක ගන්නට ලැබුණි. මේ තෙරුන් ළඟ සොරා ගන්නට යමක් නැත්තේ ය. එහෙත් සොරු ‘මේ ශ්‍රමණයා අපිව දැක්කා නොවැ. මේකා ගමට පිවිසිලා අපි ගැන කීවෝතින් ආයේ අපට විසුමක් වෙන්නේ නෑ යි සිතා උන්වහන්සේ අල්ලා අමු රසකිඳ වැල්වලින් බැඳ දමා ගියේ ය.

හදිසියේ ම ඒ වනයේ ලැව් ගින්නක් හට ගත්තේ ය. එය වේගයෙන් පැතිරී තෙරුන් බැඳ සිටි දෙසට ද එන්නට විය. ඒ දුර්වල රසකිඳ වැල සිඳගෙන උන්වහන්සේට පණ බේරා ගන්නට පුළුවන. ඒත්, ශාස්තෘන් වහන්සේගේ වචනය ඉක්මවා යන්නේ කෙසේද? ගස් කොළන් සිඳලීම අපගේ ශාස්තෘන් වහන්සේ අකැප යැයි පනවන ලදහ. ශ්‍රේෂ්ඨ වන්නේ ඒ ශාස්තෘන් වහන්සේගේ වචනයයි. මගේ ජීවිතය නො වෙයි.” යැයි සිතූ ඒ තෙරුන් වහන්සේ ධර්මය සිහි කරමින් එහි ම නො සැලී සිටියහ. ලැව් ගින්නට දැවී ඒ තෙරණුවෝ පිරින්වන් පා වදාළ සේක.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]