[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඇවිලෙන්න එපා නිවෙන්න....

ඇවිලෙන්න එපා නිවෙන්න....

ගතවෙන සෑම මොහොතක්ම ජීවත්වෙන්නට තිබෙන කාලයෙන් අඩුවී යයි.

පරමායුෂ වශයෙන් අවුරුදු සීයක කාලයක් නිශ්චිතයේ පැවතුණ ද, උපන් සියලුම මනුෂ්‍යයන්ට පරමායුෂ භුක්ති විඳින්නට නොලැබෙන බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත්, ජීවිතයේ වැඩිම කාලයක් ගතවෙන්නේ සසර පැවැත්මට ප්‍රත්‍ය වන සංස්කාර හෙවත් කර්ම රැස් කිරීමෙනි. මෙම සංස්කාරයන් ද කාය සංස්කාර, වචී සංස්කාර, මමෝ සංස්කාර වශයෙනි. කයින්, වචනයෙන්, මනසින් කර්ම රැස් කෙරේ.

මෙම ත්‍රිවිධ ආකාරයෙන් රැස්කරන කර්ම නැවතත් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙච්ජාභි සංස්කාර වශයෙන් කොටස් කෙරේ. එනම් පින් හෙවත් සුගතියට උපකාරවන කර්ම, පව් හෙවත් දුගතියට හේතුවන කර්ම සහ ධ්‍යාන උපදවා බඹ ලොව ඉපදීමට හේතුවන කර්ම ලෙසිනි. දුගතියේ ඉපදීම අති භයානක ය. සුගතිය, බඹලොව සැපතක් සේ හැඟුන ද පින් පිරිහීමෙන් සුගතියෙන් නික්මීම ද ධ්‍යානයෙන් පිරිහීමෙන් බඹලොවින් නික්මීම ද දුකකි. මේ නිසා සසර නිම කිරීම හෙවත් භවය අවසන් කිරීම හැර අන්‍ය වූ පරම සැපතක් බුදුදහමෙහි පෙන්වා දෙන්නේ නැත.

ජීවිතයේ ගතවෙන සෑම මොහොතක්ම අභාවිත සිත්වලට ඇවිලෙන මොහොතක් වන බව ධර්මයෙහි විස්තර කෙරේ. අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් නොගන්නා වූ අභාවිත සිත්හි අපුඤ්ඤාභි සංස්කාර හෙවත් අකුසල කර්ම බොහෝ සෙයින් සකස් කෙරෙති. මෙම අකුසල කර්ම රැස් කෙරෙන චිත්ත චෛතසික ඇවිළී ගන්නා බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. චිත්ත චෛතසිකයන්හි ඇවිළීගත් ගිනි නිවා ගැනීමට නොදත් අශ්‍රැතවත් පෘථග්ජනයා, ඇවිළීමට හේතුවන ප්‍රත්‍ය හෙවත් ආරම්මණ කෙරේම උපාදානයට යොමු වෙයි. එනම් සිතින් අරමුණුූ දැඩිව අල්ලා ගැනීමයි. මෙය ගිනි නිවීමක් වෙනුවට ගිනි තව තවත් අවුළවා ගැනීමකි. සසර දිගුකරමින් ගිනි අවුළවන මේ පරමාර්ථ ධර්ම කතාව නම් කුමක්ද?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් සූත්‍රානුසාරය මෙසේයි. (ආදිත්ත පරියාය සූත්‍රය)

“සියල්ල ඇවිළ ගන්නා ලදි. කවර සියල්ල ඇවිල ගන්නා ලදද? ඇස ඇවිළගන්නා ලද ය. රූපයෝ ද ඇවිළ ගන්නා ලදහ. චක්ඛු විඤ්ඤාණය ඇවිළ ගන්නා ලදහ. චක්ඛු සම්ඵස්සය ඇවිළ ගන්නා ලදහ. චක්ඛු සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ඇවිළගන්නා ලදහ. කුමකින් ඇවිළ ගන්නා ලද්දේද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළ ගන්නා ලද හ. ජාතියෙන්, ජරා මරණයෙන් ඇවිළ ගන්නා ලද හ. සෝකයෙන් පරිදේවයෙන් හෙවත් හඬා වැලපීමෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන් උපායාසය හෙවත් බලවත් සිත්තැවුලෙන් ඇවිළගන්නා ලදැයි කියමි.”

ඇවිළෙන්නේ ගිනි නිසා ය. පෘථග්ජන සිත්වල හටගන්නා වූ චෛතසික, ගිනි බවට පත්වන්නේ පරිලාහය නිසා ය. එනම් රාගාදී කෙලෙස්වල ඇති රත්වෙන, උණුසුම් වන පිච්චෙන ස්වභාවය නිසා ය. සවිඤ්ඤාණික හෝ අවිඤ්ඤාණික හෝ වස්තුවක් කෙරේ ඇතිවන උපාදානය, එනම් තද ඇල්ම රාගය නම් වෙයි. මෙය රූපයට, ශබ්දයට, ආඝ්‍රාණයට, රසයට, ස්පර්ශයට, සිතුවිලිවලට ඇතිවිය හැකි ය. එමෙන්ම එම රූපාදී ආරම්මණයන්ට එරෙහිව උපදින සිත් සහ සිතුවිලි ද්වේෂ නම් වෙයි. පටිඝ වූයේ ද මෙයයි. පඨවි (තදබව) ආදි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස්වන සියල්ලම සංඛත ලෙස හැඳින්වෙයි. මෙම සියලු සංඛත වස්තූන් අනිච්ච, දුක්ඛ, අනත්ත නම් ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට නුවණින් මෙනෙහි නොකිරීම ම මෝහය නම් වෙයි. මේ අනුව රාගය ගින්නකි. ඇවිළෙයි. ද්වේෂය ගින්නකි ඇවිළෙයි. මෝහය ගින්නකි. ඇවිළෙයි. මෙහිදී තවදුරටත් මෙසේ දැක්වෙයි. එනම් ඉපදීම නිසාද දිරාගෙන යාම, මරණය නිසාද ඇවිළෙයි. සෝකය නිසාද පරිදේවය නිසාද දුක්ඛ දෝමනස්ස නිසාද උපායාසය නිසා ද ඇවිළෙයි.

“නොවඩනා ලද සීලය, නොවඩනා ලද කය, නොවඩනා ලද සිත, නොවඩනා ලද නුවණ ඇත්තේ ය” යන අදහසින් දක්වන්නේ අවිද්‍යාවෙන් යුක්ත බව ය. අවිද්‍යාව හෙවත් මුළාව නිසා ස්කන්ධ) පඤ්චකය ම වගේම එහි රූපයට අයත් ඇසත්, කනත්, නාසයත්, දිවත්, කයත්, සක්කාය දිට්ඨිය (මම ය, මාගේ ය, නම් වූ දැක්ම) මුල්කොට ගත් ආත්ම සංඥාවෙන් මෙහෙය වෙයි. එහිදී මෙවැනි දෙයක් සිදු වෙයි.”

පිය රූපෙ රූපෙ සාරජ්ඣති......

පි‍්‍රය රූපයෙහි රාගයෙන් ඇලෙයි

පි‍්‍රය ශබ්දයෙහි රාගයෙන් ඇලෙයි

පි‍්‍රය ආඝ්‍රාණයෙහි රාගයෙන් ඇලෙයි

පි‍්‍රය රසයෙහි රාගයෙන් ඇලෙයි

පි‍්‍රය ස්පර්ශයෙහි රාගයෙන් ඇලෙයි

පි‍්‍රය සිතුවිල්ලෙහි රාගයෙන් ඇලෙයි

මෙම රූප, ශබ්ද ආදී ආරම්මණ සංඛත සංඛාර බැවින් එහි වෙනස්වීම, විසිරීම සිදු වෙයි. හටගෙන බිඳෙමින් භංගවීම ලෙසිනි. නොවඩනා ලද සීලය, කය, සිත්, නුවණ ඇති අශ්‍රැතවත් පෘථග්ජනයාට මෙය තර්ජනයකි. තැති ගැනීමකි. බිය හට ගැනීමකි. කම්පාවකි. මෙය දක්වන්නේ ඇවිළීම ලෙස ය. ඇස නිදසුනට ගත්විට මෙසේය. අවිද්‍යාව - සක්කාය දිට්ඨිය - ආත්ම සංඥාව, සත්ව පුද්ගල - මම ඇස අසරණ වෙයි. අනාථ වෙයි. කළ යුතු, කිවයුතු සිතිය යුතු යමක් නොදැනෙයි. මෙම අවස්ථාව මෙසේ දේශනාවෙහි විස්තර කෙරෙයි.

සෝචති - ශෝක කෙරෙයි

පරිදේවති - හඬා වැලපෙයි

උරත්තාළිං කන්දති - ළයෙහි අත්ගසා ගනියි

කිළමති - ක්ලාන්ත වෙයි

සම්මෝහං ආපජ්ජති - මුළාවට පැමිණෙයි

මෙසේ සකස්වෙන ඇවිළීම, භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබුවේ “සබ්බං භික්ඛවෙ ආදිත්තං මහණෙනි, සියල්ල ඇවිළ ගන්නා ලදි.” යනුවෙනි. “සියොළඟ” ඇවිළුණු ගිනි ඇත. ලෙසින් මෙය දැක්වෙයි. මේ සියල්ල ඇවිළීම මුළුමනින්ම දක්වන්නේ නම් මෙසේ ය. ඇස මුලින් දක්වන ලදි. මීළඟට කන ඇවිළ ගන්නා ලද ය. ශබ්දයෝ ඇවිළ ගන්නා ලදහ. සෝත විඤ්ඤාණය ඇවිල ගන්නා ලද ය. සෝත සම්ඵස්සය ඇවිල ගන්නා ලද ය. සෝත සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ හෝ යම් වේදනායෙක් උපදී නම්, එය ද ඇවිළ ගන්නා ලද හ. කුමකින් ඇවිළ ගන්නා ලද්දේද? රාග ගින්නෙන් දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළ ගන්නා ලදහ. ජාතියෙන්, ජරා මරණයෙන් ඇවිළගන්නා ලදහ. සෝක පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිළ ගන්නා ලදහ.

බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]